
පොළොන්නරු ජල ගැලීම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට ඉඩ ලබා දෙන ලෙස වනජීවි නිලධාරීන්ට බලපෑම් කරමින් වනජීවි අමාත්‍යවරයා කළ තර්ජනයට විරෝධය පාමින් පසුගිය සිකුරාදා දිවයින පුරා වනජීවි නිලධාරීන් විරෝධතාවක නිරත වූහ. වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියක් මේ විරෝධතාවට මූලිකවම බලපෑම් කළේ ය.
ගෘහස්ථ ගවයන් රක්ෂිතයට ඇතුළු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනිව කටයුතු කරන බව වන ජීවී නිලධාරීන්ගේ විරෝධතාවට හේතු විය. මහවැලි කලාපයේ පොළොන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරයෙන් පුද්ගලයන්ට ඇතුළුවීමට හා අනවසර හෙළි පෙහෙළි කිරීම්වලට අවසර ලබාදෙන ලෙසට බලධාරීන්ට තර්ජනය කිරීම මේ විරෝධතාවට හේතු වූ බැව් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මාධ්‍යයට හෙළි කර තිබිණි.
ඇමැතිවරයාට අවශ්‍ය වූයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට ය. එය තේරුම් ගැනීම අසීරු නැත. එහෙත් සියල්ල දෙස ජනතාකෝණී වුවත්, ආවේගශීලීව බැලිය නොහැකි බව ඇමතිවරයා ද තේරුම් ගත යුතුව ඇත. මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය දෙකඩ කරමින් මාර්ගයක් ඉදිකිරීම පාරිසරික ගැටලු රැසක් ඇති වීමට හේතුකාරක විය හැකි බව වනජීවී නිලධාරීහු සකරුණු ව පහදති.
ලොව පුරා සිදුවන පරිසර විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියඟයෙන් හා ගංවතුරෙන් එකවිට බැට කන ජාතියක් බවට අප පත් වී ඇති බැවින් මේ සුන්දර දිවයින යළිත් හරිත වර්ණයෙන් බබළන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනයේ පරමාදර්ශය බවට පත් කිරීමේ වගකීම ද අපට පැවරී තිබේ, යනුවෙන් ගෝඨාභය රාජපක්ෂයන් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටුවේ සඳහන් කරයි.
ඒ ප්‍රකාශයේ ‘දස වැදෑරුම් ප්‍රතිපත්ති’ අතර ‘තිරසර පරිසර කළමනාකරණය’ සඳහා ද ඉඩක් වෙන් වී ඇති අතර ‘තිරසර පරිසර ප්‍රතිපත්තියක්’ ලෙස නම් කර ඇති එහි 08 වෙනි කොටසේ පරිසරය සුරැකීමට ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබේ. පසුගිය කාලවකවානුවේ සිදුවූ පරිසර විනාශ පිළිබඳ අපට කතා කරන්නට සිදු වන්නේ එකී පසුබිමේ සිට ය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබඳ ව පිහිටි ඉඩම් අක්කර 1500 ක 'කෝමාරිකා' වගා ව්‍යාපෘතියක් දියත් කිරීම මෙන්ම ආනවිලුන්දාව, වනාතවිල්ලුව සහ කල්පිටිය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුව ඇති පරිසර විනාශ ගණනාවක් පිළිබඳ කතිකා ද ඒ අතර ප්‍රධාන වේ. සංවර්ධනය අවැසි වුව ද එය කළ යුතුව ඇත්තේ මහපොළවට බරක් නොවන පරිදි යැයි අපි සිතන්නෙමු. ධරණීය සංවර්ධනය යනු එයයි.
වැසි වනාන්තර වලට ප්‍රධාන වශයෙන් තර්ජන එල්ල වන්නේ ඒ වටා පිහිටා ඇති ගම්මාන වල වෙසෙන ජනතාවගෙනි. ඔවුන් ආහාර, බෙහෙත්, ඉන්ධන හා සත්ව ආහාර එක්රැස් කර ගැනීමට ද කෘෂි කර්මාන්තය සඳහා ඉඩම් ලබා ගැනිමටද පාරම්පරිකව මෙම වනාන්තර යොදා ගනු ලබයි. සිංහරාජ වනයේ කරන ලද අධ්‍යයනයකදී එම වනාන්තරයේ හා ආරක්ෂක කලාපයේ ඇති ශාක විශේෂ 75% ක් පමණ ඉහත කී ප්‍රයෝජන සඳහා යොදා ගන්නා බව පෙනී ගොස් ඇත.
එලෙසම පවත්නා සෑම රජයක් ම වනාන්තර ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබීම වැදගත් වේ. කෙසේ වෙතත් පනවන නීති අණපනත් අබිබවා මානව වර්ගයා තම පැවැත්ම උදෙසා පරිසරය විනාශ කිරීම දින දින ඉහළ යෑම වහා නතර කළ යුතු වේ. ලංකාවේ නිරිත දිග පිහිටා ඇති වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත ජීවත්වන මුළු මහත් ශාක හා සත්ව ප්‍රජාව ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පතකි.
මේ කතාව ඔබට මතක් කරන්නේ රාජ්‍ය පාලනයේදී පරිසරය පිළිබඳ කෙතරම් සූක්ෂ්ම හා සංවේදී විය යුතු දැ යි කියන්නටය.
ක්‍රිස්තු වර්ෂ 64 දී දින හයක් පුරා පැතිර ගිය මහා ගින්නකින් රෝම නගරය 70% ක් විනාශ වී පුරවැසියන් අඩකට නිවාස අහිමි විය. ජනප්‍රවාදයට අනුව රෝමය ගිනගෙන දැවෙන විට පාලක නිරෝ වියෝලාවක් වාදන කළා යැයි සඳහන් වේ. එහෙත් සිය ජනයා පීඩා විඳින විට නීරෝ එසේ කළා යැයි පිළිගත නොහැකිය. නමුත් ඉතා ක්‍රෑර අසමත් පාලකයකු වූ නීරෝ රෝමය ගිනිගන්නා විට ට්‍රෝයි පුරවර විනාශය ගැන ලියවුණ ගීයක් ගායන කළ වග ඉතිහාසඥ තසිටස් සටහන් කරයි. රෝමය ගිනිගන්නා විට නීරෝ සැතපුම් 35 ක් එපිට අන්ටියුම් හි වාසය කළේය. ගින්නෙන් පසු එම ප්‍රදේශයේ රුවන් මාළිගාවක් ගොඩනැඟීමට අවශ්‍ය හෙයින් ඔහු පුරවරයට ගිනි තැබූවේ යැයි ජනයා විශ්වාස කළහ. ව්‍යසනය ක්‍රිස්තියානි භක්තිකයන් මත පවරා හෙතෙම ඔවුන්ට දොස් පැවරීය. ඇතමෙක් අත්අඩංගුවට ගෙන මරා දැමිණි.
කෙසේවුව ද රෝමය ගොඩනැඟූවන්ට වඩා එය විනාශ කළ නීරෝ පුරාවෘත්තයක් ලෙස ජනප්‍රිය විය. ලෝකයේ හැටි එහෙම ය. වර්තමානයේ ද බොහෝ පාලකයෝ දේශගුණික වෙනස සහ ගෝලීය උණුසුම හමුවේ එම අභියෝග මඟහරිමින් බලදේශපාලනික වියෝලා වාදනය කරති. ලොව වඩාත් උණුසුම්ව විවිධ වසංගත පතුරමින් මානවයාට අහිතකර ලෙස ක්‍රියාත්මක වීම ඇරඹී ඇත්තේ
ඒ නිසා ය.
අප ඒ තත්ත්වයට තවමත් වැටී නැත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා ඒ ගැන විධිමත්ව සටහන් වී ඇති බව අප මුලින් ම පැවසුවේ එනිසා ය. වනජීවී නිලධාරීන්ගේ මේ ප්‍රවේශය අප දකින්නේ සාධනීයව ය. රට ගැන සිතන රාජ්‍ය නිලධාරීන් රටට සම්පතක් වන්නේ ඒ නිසා ය. දේවානිලාගේ පරම්පරාව තව තවත් ඉදිරියට යන්නේ නම් සියැටල් පැතූ ‘ මේ මහපොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහපොළවට අයිතිය‘ යන්න සනාතන ධර්මයක් වනු ඇත.