ඔවුහු අපට අලුත් අත්දැකීමක් ගෙන ආහ! | සිළුමිණ

ඔවුහු අපට අලුත් අත්දැකීමක් ගෙන ආහ!

නිදහස පිළිබඳ අරගලවලින් මානව ඉතිහාසය පිරී පවතී. ඒ අරගල මිනිස් ශිෂ්ටාචාරයේ සන්ධිස්ථාන හැටියට ද පිළිගත හැකි ය. පහළොස්වන සියවසේ සිට බටහිර අධිරාජ්‍යවාදය ලෝකය පුරා පැතිර ගියේ ය. එහි බලපෑම දහනම වන සියවස තෙක් පැවැති අතර විසිවන සියවස වන විට මිනිසාගේ නිදහස අහෝසි කරන අලුත් ප්‍රවණතාව ලෙස ත්‍රස්තවාදය හා අන්තවාදය පෙරට පැමිණියේ ය. ශ්‍රී ලංකාව යනු අධිරාජ්‍යවාදයෙන්, ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් බැට කෑ රාජ්‍යයකි. එබැවින් නිදහස හා එහි අගය පිළිබඳ අලුත් අර්ථකථන ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය නොවේ. වසංගත, කැරලි කෝලාහල අපට අමුතු නැත. ඒ සෑම කල්හිම එකී විජාතික බලවේග, වසංගත මර්දනය කිරීමේ ලා ඓතිහාසික පෙරගමන්කරුවකු බිහි විණි. මේද එවන් සමයෙකි; එවන් නායකත්වයක් බිහි වුණු කාලයකි.

ලොව දැවැන්තම මානුෂීය මෙහෙවරට වසර 11ක් සැපිරුණේ පසුගිය මැයි 18 දා ය. ඒ මහ මෙහෙයුමට නායකත්වය දුන් එදා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අද අගමැතිවරයා ය. එදා ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂයන් අද ජනපතිවරයාය. යුද හමුදාවේ සේනාංක නායකයන් ලෙස යුද පෙරමුණේ පෙරමුණ ගත් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද ආරක්ෂක ලේකම්වරයා ය; එදා යුද පෙරමුණේ මුල්පෙළේ සිටි ශවේන්ද්‍ර සිල්වා අද යුද හමුදාපතිවරයාය. එකී පූර්වාපර සන්ධි ගැළපෙන මේ මොහොත වඩාත් වැදගත් වන්නේ ලොව පුරා පැතිරෙන වසංගතයක් කළමනාකරණය කර ගැනීමේ ආයාසකර හා දෘඪමය ව්‍යායාමයක රජය නිරත ව සිටින බැවිනි.

ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන මේ මොහොතේ එකී වසරෙන් පුරා මාස නවයක් ම ජනාධිපතිවරයා ඇතුළු රජයට සිදුවූයේ කොරෝනාව සමඟ ජීවත් වන්නට ය; සටන් කරන්නට ය. කුමක් කළත් කරන්නේ කුමක්ද යන්න ගැන හා ඒ කරන ක්‍රියාවේ ඇදයක් විපක්ෂයට තිබුණේ ය. එය කවදත් වැඩ කරන මිනිසුන් වෙනුවෙන් හැමදාමත් ගොඩනැඟෙන නොනිමෙන ගින්නකි. ඉදිරියට තබන හැම අඩියක්ම ආපස්සට ඇද්ද ද තිස්වසරක මානුෂීය මෙහෙයුමක් සාර්ථකව නිමා කළ නායකත්වයකට ඒවා ගැටලු නොවේය. 19 න් කොතරම් පසුපසට ඇද්දත්, ජනාධිපතිවරයා සැලුණේ නැත. වැඩකාරයාට බොරු බැරිය යන්නට ඊට වඩා උදාහරණ නැත. දහසක් බාධක මැද්දේ ලොව විශිෂ්ටතම කොරෝනා මර්දන රාජ්‍ය අතරට වැටුණු අප රජයට මේ කරුණු සාර්ථකව හා බාධාවකින් තොර ව කරගෙන යෑමට සුවිසල් ජන වරමක් ජනතාව දුන්නේ ඒ නිසාය. මේ ඒ ආ ගමනේ ස්වර්ණමය මොහොතයි. ජාතිකත්වය ගොඩනැංවීමේ ලා ලැබුණු මේ ජනවරම සිය වැඩිමහල් සොහොයුරු පස්වන විධායක ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය දා සමරන්නට ලැබීම ඊටත් වඩා වාසනාවකි. හැත්තෑපස් වැනි වියට එළැඹෙන තම සොයුරු අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය දා සිය හත්වැනි විධායක ජනපතිධූරයේ පළමු පදවි ප්‍රාප්තිය සමරන්නට සිදුවීම දෛවය විසින් දුන් අගනා තිළිණයකි.

අප මෙන්ම සෑම රටක් ම මුහුණ දෙන සැබෑ අභියෝගය ඇත්තේ කොරෝනා වසංගතය පාලනයෙහි නොව කොරෝනා නිසා අඩපණ ව කඩා වැටුණු තම තමන්ගේ ආර්ථිකය යථාවත් කර ගැනීමෙහිය. අප මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අපි සියලු දෙනා මේ අවස්ථාවේ කල්පනා කළ යුතු කාරණයක් වන්නේ ඒ නිසා ය. මේ අභියෝගයට මුහුණ දීම ආණ්ඩුවේ වගකීමක් පමණක් යැයි කල්පනා කළහොත් අප රටක් ලෙස පරාජයට පත්වීම වළක්වනු නොහැකි වනු ඇත.

රටකට කුමන අභියෝගයකට මුහුණ දීමට සිදු වුවත් එහිදී පෙරමුණ ගත යුත්තේ ද, ඒ සඳහා ජනතාව පෙළ ගැස්විය යුත්තේ ද පවතින ආණ්ඩුව විසිනි. එය ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුවට ඒ වගකීම ඉටු කළ හැක්කේ ජනතා සහාය ලැබුණහොත් පමණකි. ජනතා සහාය ලබා ගැනීමට ආණ්ඩුව කළ යුතු මූලික ම කාරණාව නම් තමන් පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ගොඩනැඟීමය. යුද්ධය ජය ගැනීමට හැකි බවට වූ විශ්වාසයත්, ඒ හරහා ලැබුණු ජනතා සහායත් තිස් වසරක යුද්ධය ජය ගැනීමට විශාල පිටිවහලක් වූ බව නොරහසකි. සුවිසල් ජනවරම ඒ විශ්වාසයට කදිම නිදර්ශනයකි.

අපි පුංචි රටක් වන්නේ අපි පුංචියට සිතන නිසා ය. අපට මතු නොව ලෝකයේ බොහෝ රටවලට තමන් පුංචි බව සිතන්නට බලවත් රටවල් සලස්වා ඇත්තේ ය. ආර්ථික, දේශපාලන, සංවර්ධන, ගුණධර්ම මිනුම් දඬු ඔවුහු හදා දෙති. අපි ඒ මිනුම් දඬුවලින් අපිව මැන ගනිමු. ඔවුන්ට අනුව මාධ්‍යවේදියා අකුරු ගළපන්න ඕනෑත් ජාත්‍යන්තර මිනුම් අනුව ය; රාජ්‍ය නායකයා කතා කරන්න ඕනෑත් ඔවුන්ගේ මිනුමට අනුව ය. යුරෝපීයන් කැලේ ජරා කර කැලෑ කොළයෙන් පස්ස පිසදා ගන්නා යුගයේ අනුරාධපුර රාජධානියේ ජල මුද්‍රිත වැසිකිළි තිබූ බව අපට අමතක ය. නිවැරදි ව සිතන්නට සම්මා සතියක් ද, නිවැරදි ව කතා කරන්නට සම්මා වාචා ද වූ බව අපට අමතක ය. එහෙත් ඒ වහල් චින්තනයට මේ නායකත්වයෙන් ඉඩක් නැත. අපට අප වෙන්නටත්, අපේ ම ආර්ථිකයක් ගොඩනඟා ගන්නටත් අවැසි සියල්ල සම්පාදනයේ ලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වසර ඇතුළත ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය ය.

අප ජීවත් විය යුතු අන්දම අපේ ස්වාධීන චින්තනයේ තිබේ. ගෝඨාභය ජනාධිපතිවරයා ඉගෙන ගත් ආනන්දයේ ම ගුරුවරයකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කවියෙන් කියා ඇත්තේ ඒ චින්තනය ය.

මිතුරුව එතොත් දුහුවිලි වුව වැලඳ ගනු 
සතුරුව එතොත් මෙර ගිර වුව පසිද ලනු 
හිතුවක්කාර කමකැයි එය නො අදහනු 
යුතුකම එයයි එබැවින් එය පුරුදු වෙනූ

සැබැවින්ම යුතුකම එය ය. එය ජාතියටම පුරුදු කරමු යන්න ජනාධිපතිවරයාගේ ආප්තෝපදේශයක් සේ වී ඇත්තේ එබැවිනි. එකී ජාතියක පැවැත්ම සහතික කරන වසරක් ගතවී තිබේ. ජාතිකත්වය කැලෑ වැදුණු විජාතිකයන් ස්වජාතිකයන් සේ බඩ පිනුම් ගැසූ කාලවකවානුවක් අපි පසු කර ඇත්තෙමු. මේ අපේ ස්වජාතිකත්වය, සභ්‍යත්වයට අවැසි වටිනාකම ලැබුණු ස්වර්ණමය කාලපරිච්ඡේදයකි. තබන තබන පය පස්සට අදින මිනිසුන්ගේ චින්තන අවභාවිතයට තිත තැබුණු වසරකි. කොටින් ම කියන්නේ නම් රටක් ලෙස අපට අපේ වටිනාකම ලැබුණු වසරකි.

ලබන සතියේ සමරන ජනාධිපතිවරයාගේ පළමු පදවි ප්‍රාප්තියත්, අගමැතිවරයාගේ හැත්තෑපස්වන ජන්ම දිනයත් අපට අපේ ම උරුවකින් හා සභ්‍යත්ව චින්තනයෙන් යුතුව අභිමානවත්ව සැමරිය හැක්කේ පෙරකී ශක්තිමත් පදනමේ සිට ය.

Comments