වැටත් නියරත් දෙකම රැකදුන්නෝ! | සිළුමිණ

වැටත් නියරත් දෙකම රැකදුන්නෝ!

හිවාතක නම් වසංගත රෝගය සැඳුණු විටෙක නගරවාසීන් ගෙයි බිත්තියක් බිඳ පළා ගියේ යැයි බෞද්ධ ඉතිහාසයට අනුව ඉගෙන ගත් අපි අද කොරෝනා වසංගතය පැතිරෙන මොහොතේ බිත්ති හතරට ජීවිතය බාර කර බලා සිටින්නෙමු. එදා අහිවාතක වසංගතයෙන් ගැලවෙන්නට මිනිසුන් පැන ගියේ කැලයට ය. අද එසේ සොයා ගොස් සැනහෙන්නට කෙම්බිම් නැත; කෙම්බිම් සොයා මහමඟට බසින්නට අවසර ද නැත. ලෝකය ම දණ ගැස්වූ වයිරසයක් හමුවේ ලොව කොතැනක හෝ බලවතුන්ට පමණක් හෝ යා හැකි කෙම්බිම් නැත. වසංගත සමහරකට ගෙයින් පැන ගොස් බේරිය හැකිමුත් මේ වැනි වසංගතවලින් බේරිය හැක්කේ නිවෙසේ සිටියහොත් පමණක් ය.

සමස්ත මානව සංස්කෘතියේ ම පැවැත්මට අභියෝග කරන පුංචි වයිරසයක් ලෝකයේ චින්තන ස්වරූපයක්, ඇගයීම් හා වටිනාකම්වල මෙතෙක් කියැවීම වෙනස් කර ඇත්තේ එලෙසිනි. ලෝකයම බිහිසුණු ව්‍යසනයකට පත්ව සිටින මොහොතක මෙතෙක් සමස්තය නීර්ණය කළ ආර්ථික වටිනාකම් රැස ක්‍රමයෙන් මානුෂික ඇගයුම් ක්‍රමයක් දක්වා රූපාන්තරණය වෙමින් තිබේ. ඒ සොබාදහමේ කියැවීම මනුෂ්‍ය වර්ගයාගේ ආධ්‍යාත්මික සුබ සිද්ධිය වෙනුවෙන් වුව ද; භෞතික අභිවෘද්ධිය සලසන ආර්ථිකයට නම් හොඳ කලදවසක් උදා වී නැත.

පැහැදිලි දිශානතියක් හා දැක්මක් ඔස්සේ ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි. ඉඳින් ඉතිහාසය යළිත් පුනරුච්ඡාරණය වෙමින් ඇත.

සොබාදහමේ යථාර්ථය ගෝලීය මානව සමාජයේ අධිමාණී ෆැන්ටසිය බිඳ දමමින් සිටී. මේ ව්‍යසනය යම් මොහොතක නිමා වනු ඇත. අනතුරුව ශේෂ වනු ඇත්තේ ලෝකය අලුතින් නිර්වචනය කළ හැකි අප්‍රමාණ අත්දැකීමක් සහිත මිනිස් සමූහයකි. ඒ චින්තන ප්‍රවාහය වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනඟනු ඇති බවට වන සුබවාදී අදහස දරමින් මේ මොහොතේ ජීවත් වීම පමණක් ප්‍රමාණවත් ය.

ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන මේ මොහොත වනවිට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. ස්ථිර ව හෝ තාවකාලික ව මේවායෙහි වැඩකරන සේවකයන් සමහරක් ද ඉවත් කර ඇත. ඔවුන්ගේ රැකියාවේ පැවැත්ම තහවරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොත්තුවක් නැත. මේ අනුව දළ ඇස්තමේන්තු ප්‍රකාර ව රැකියා අහිමි වන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන පරිද්දෙන් කෝටි 20කට අධික ය.

ලංකාවේ ආර්ථික තත්ත්වය ද මීට නොදැවෙනි නැත. ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 85කි. ඉන් ලක්ෂ 36 ක් පුද්ගලික අංශයේ වන අතර; ලක්ෂ 34ක් ස්වයං රැකියාවල නිරත වෙති. ලක්ෂ 16 ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරති. ආර්ථිකය අඩපණ වීමේ මූලික ස්වරූපය ලෙස පුද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අවදානමට ලක් වී තිබේ. මේ වනවිට ඇගලුම් ක්ෂේත්‍රයේ සෘජු ශ්‍රමික බලකාය ලක්ෂ හතර ඉක්මවන අතර; වක්‍ර ශ්‍රම බලකාය ලක්ෂ 15ක් පමණ වේ.

නොවැම්බර් 9 වැනිදායින් පසු කොරෝනා මර්දනය කිරීම සඳහා බස්නාහිර පළාත ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයකට ක‍්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත් බව ය. රටේ වැඩි ම ජන ඝනත්වයක් ඇති බස්නාහිර පළාතේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පැවතුණු බැවින් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කළ බවත්, ඉදිරියේදී පී. සී. ආර්. පරීක්ෂණ ඉහළ දමමින් වයිරසය ව්‍යාප්ත වීම අවම කිරීමට සෑම පියවරක්ම ගන්නා බවත් යුද හමුදාපතිවරයා පවසයි. මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ඉතා ඉක්මනින් අවදානම් කලාප හඳුනා ගනිමින්, පී. සී. ආර්. පරීක්ෂණ ඉහළ දමමින් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීම ය.

ඒත් සමඟ ම රටේ ආර්ථිකයට වැඩි ම දායකත්වය ලබා දෙන බස්නාහිර පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුව ඇත. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර එනම් 2018 වසරේ බස්නාහිර පළාතෙන් ජාතික ආර්ථිකයට උපයා දුන් ආදායම රුපියල් බිලියන 5558 කි.

මෙය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 38ක දායකත්වයකි. ඒ නිසා රට ඉදිරියට ගෙන යෑමට නම් මේ ආර්ථිකය ආරක්ෂා කර ගත යුතුය. එමෙන්ම මහ බැංකු වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් දෛනික වැටුප් උපයන්නන් ය. කෙටියෙන් කිවහොත් එදා වේල හම්බ කරගෙන කන පුද්ගලයන් ය. මේ පිරිසෙන් බහුතරයක් ජීවත් වන්නේ බස්නාහිර පළාතේ ය. එ් නිසා මේ ආර්ථික අර්බුද සුළුවෙන් බැහැර කළ නොහැකිය. රට වහගෙන මේ අර්බුදවලට පිළියම් සෙවිය නොහැකි.

පොදුජන පෙරමුණ පිහිටුවා තවමත් ගතවී ඇත්තේ වසර 4ක් වුව ද; ඒ වසර 4ට වසර 40ක වැඩ කර තිබේ. පොදු ජනතාවගේ හඬින් ම කියන්නේ නම් ‘යහපාලන‘ ආණ්ඩුව සමයේ මේ වසංගතය පැමිණියේ නම් පාරක් පාරක් ගානේ තම සමීපතමයන් මිය යෑම වැළැක්විය නොහැකි ය. මේ තරම් ව්‍යසනයක් ලෝකයේ ම අවධානයට ලක්වීමට තරම් හොඳින් මැඬ පැවැත්වීමට හැකිවූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව එය නිසිපරිදි කළමනාකරණය කළ නිසා බැව් ජනතාව දනිති.

අරුන්දතී රෝයි පසුගියදා හරි අපූරු කතාවක් කීවේ ය. ඒ “ඉතිහාසය පුරා ම වසංගත නිසා මිනිසුන්ට අතීතය බිඳ දමා ඔවුන්ගේ ලෝකය අලුතෙන් මවා ගැනීමට බල කෙරී ඇත. කොවිඩ් 19 ඊට නොවෙනස් තත්ත්වයකි. එය ලෝකයක් සහ තවත් ලෝකයක් අතර වන ද්වාරයකි“ යනුවෙනි.

ලෝකයක් හා තවත් ලෝකයක් අතර වන ද්වාරයට යෑමට රජය පමණක් උත්සුක වීමෙන් පලක් නැත. ඒ සඳහා ප්‍රමුඛතම වගකීම ඇත්තේ ජනතාව අත ය. කොරෝනාවට මුලින් ම මුහුණ දුන් චීනය අද කොරෝනාව මැඬ පවත්වා ගන්නා ආකාරය ගැන ලෝකයට ආදර්ශ දෙමින් සිටී. ජනතාවක් වශයෙන් ඔවුහු එකාවන් ව සෞඛ්‍ය උපදේශ වත්පිළිවෙත් සේ රකිති.

සියල්ලෝ ම මුලින් ම තමන්ගෙන් මේ වයිරසය තවකකුට යෑම වළක්වති. මේ ආදර්ශය ගෙන හෝ මානව සම්පත රැක ගැනීමේ ලා අතිවිශිෂ්ට කැපවීමක් කළ රජයට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමේ ලා ශක්තිය සැපයීම අප සැමගේ වගකීමකි. එනිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ යම් කැපවීමක් කර හෝ අප මානව සම්පතට උදාවීමට නියමිත ආර්ථික ගැටලුවලට ශක්තියක් වන්නට හැකි නම්; වසංගතයෙන් පසු සිටියාටත් වඩා ශක්තිමත් ව අපට නැඟී සිටීමට හැකියාව ලැබෙනු නොඅනුමානය.

Comments