
මයික් පොම්පියෝ මේ වනවිට බොහෝ දෙනාගේ මුවඟ රැඳි නාමයක් වී තිබේ. ඔහු ස්වකීය කාල සටහන බින්දුවකදු එහා මෙහා නොකර පැය 18ක් මෙහි ගත කර නැවත ගියේය. ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක් සමඟ කෙටි සාකච්ඡා කිහිපයක් කිරීම හැරුණු කල, ඔහු ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත යෑම පමණක් මේ කෙටි කාලය ඇතුළත සිදු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මතක ගොන්නක් සිතේ තෙරපාගෙන නොවියැකුණු කඳුළින් යුත් කතෝලික ප්‍රජාව වෙත සිය කණගාටුව පළ කරනු වස් ඔහු කොච්චිකඩේ පල්ලිය වෙත යෑම පොම්පියෝගේ හදවතේ තෙතමනයක් ඇතැයි ඔප්පු කරන්නට සාධකයක් විණි. ඔහු ගත කළේ පැය 18ක් වුවද ඔහුගේ සංචාරය බොහෝ කාලයක් මෙරට දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකාවක් වනු ඇති බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ.
මයික් පොම්පියෝ යනු ඇමරිකා එක්සත් ජනපදයේ 70වැනි රාජ්‍ය ලේකම්වරයා ය. ඇමරිකාවේ දේශපාලන බල ධූරාවලිය අනුව රාජ්‍ය ලේකම් ධූරය සමාන වන්නේ අපේ රටේ විදේශ අමාත්‍ය ධූරයට ය. ඇමෙරිකාවේ දේශපාලන බල ධූරාවලිය අනුව බලවත් ම පුද්ගලයා ජනාධිපතිවරයා වන අතර, රාජ්‍ය ලේකම්වරයාට ද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එයට හේතුව රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලොව බොහෝ රටවල තීන්දු තීරණ, ගිවිසුම් යනාදිය ස්ථාපිත කෙරුණු බැවිනි. සැබවින් ම ඇමරිකානු ජනාධිපතිවරයාට පසුව ලෝකයේ සෙසු රටවල ජනප්‍රියම චරිතය බවට පත් වන්නේ රාජ්‍ය ලේකම්වරයා ය. මයික් පොම්පියෝ සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් සතුව විශේෂ වැඩපිළිවෙළක් විය. මයික් පොම්පියෝගේ හැකියාවන් කෙරෙහි අවබෝධයෙන් සිටි ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ දක්ෂතාවන්ට අවස්ථාව දෙමින් ප්‍රථමයෙන් ම ඔහු ඇමරිකානු ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා බවට පත් කරන්නේ ය. ඔහු ඒ ධූරයට සමු දෙන්නේ එයටත් වඩා වැදගත්කමකින් යුතු රාජ්‍ය ලේකම් ධූරය වෙනුවෙනි. ඒ අනුව එතැන් සිට මේ දක්වා ඔහු ඇමරිකාවේ 70වැනි රාජ්‍ය ලේකම් ලෙස තම සේවය සපයමින් සිටින්නේ ය. ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන කාලයේදී ඇමරිකාව වෙනුවෙන් කැපී පෙනෙන වැඩකොටසක් කිරීමට ස්වකීය දායකත්වය ලබා දුන් මයික් පොම්පියෝ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ව්‍යාපෘතියේ සභාපතිවරයා ද වේ. වර්තමාන ලෝක දේශපාලන සන්දර්භය ඇතුළත කිසිදු රටකට තනි පැවැත්මක් නැත. ඒනිසා ගිවිසුම්, එකඟතා යනු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සාමාන්‍ය දෑ ය. ඇමෙරිකාව එදා සිට ම උත්සාහ ගත්තේ ලෝකයේ පොලිස් කාරයා වන්නට ය. එනිසා කුඩා රටවල් පාලනය කිරීමට අවශ්‍ය දේශපාලන හා ආර්ථික උපක්‍රම ඇමෙරිකාව හැමදාමත් විටින් විට ක්‍රියාත්මක කළේ ය. එහෙත් ඇමෙරිකාව ගහන ගහන පදේට නටන්නට අප සූදානම් නැති බව අපේ ජනාධිපති ප්‍රමුඛ රාජ්‍ය නායකයන්ගේ සාකච්ඡාවලින් මනා ව පැහැදිලි විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියානු කලාපයේ තවත් රටවල් කිහිපයක සංචාරයක් අතරතුර ලංකාවට පැමිණීම ගැන චීනය බෙහෙවින් කලබල ය. ඇෙමරිකාව හා චීනය කලක පටන් ම ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිටින්නේ පසමිතුරුව ය.
රාජ්‍ය ලේකම්වරයා චීනය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ කිහිපයට චීනයෙන් හැරෙන තැපෑලෙන් උත්තර ද පැමිණ තිබේ. මේ කරුණු වලින් සනාථ වන්නේ ඇමෙරිකාවට මෙන්ම චීනයට ද අවශ්‍ය ව ඇත්තේ ශ්‍රී ලංකාව තම බලකඳවුරේ කොටසක් කර ගැනීමට ය. ඒ දෙක අතර සිටින ලංකාවට මෙය හොඳ අවස්ථාවක් බැව් අපේ අදහසයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ කරන ලද සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් බැව් විදේශ කටයුතු ඇමැතිවරයා අවධාරණය කළේ ය. සිහි නුවණින් යුක්තව මේ බලවතුන් දෙදෙනා ම අපගේ හිතසුව පිණිස යොදා ගැනීමට අප රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ නම් එය රටේ අනාගතයට සුබවාදී වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. වාසනාවකට මෙන් මේ දක්වා අපේ රාජ්‍ය නායකයෝ එසේ කිරීමට සමත්ව සිටිති. ඒ නිසා ඇමෙරිකානු- චීන ගැටුමේදී කොස්ඇට බාන බළලා වීමට ශ්‍රී ලංකාව සූදානම් නැත.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ අපේ රටට සංචාරය කිරීම සඳහා ආගන්තුකයෙක් පැමිණෙන්නට අසන විටදී එපා කියන්න හැකිද කියා ය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එන්නේ සුහද සාකච්ඡාවකට මිස විපක්ෂය කියන ගිවිසුම් අත්සන් කිරීමට නොවේ ය.
ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රකට ව ඇත්තේ ආගන්තුක සත්කාරය අගයන සුහදශීලී ජනතාවක් වාසය කරන රාජ්‍යයක් හැටියට ය. විදේශීය සංචාරකයෝ ශ්‍රී ලාංකිකයාගේ සුහද සිනාව හා ආගන්තුක සත්කාරය ගැන නිතර සඳහන් කරති. ලෝක සංචාරවලදී හොඳම ගමනාන්තයක් ලෙස ලොව ප්‍රකට සඟරා ශ්‍රී ලංකාව නම් කරන්නේ ද ඒ නිසාය. පොම්පියෝ එන්නට හදන විට විපක්ෂය කියන පරිදි අනේ එන්න එපා යැයි කියන්නට රජයට නොහැකිය. විපක්ෂයේ මේ ළදරු මානසිකත්වය ඇත්තට ම ලැජ්ජා සහගත ය.
පොම්පියෝ ගැන බියවූ විපක්ෂය දිගින් දිගට ම කියා සිටියේ ඔහු පැමිණෙන්නේ එම්. සී. සී. ගිවිසුම අත්සන් කරන්නට කියා ය. එහෙත් එවැන්නක් සිදුවූ බවට කිසිදු ලකුණක් නැත. හැමදාමත් බිල්ලා එනවා යැයි බය කරමින් ජනතාව මුලා කරන්නට විපක්ෂයට බැරි ය. වත්මන් ආණ්ඩුවට; ජනතාවට කොළේ හංගා හොරෙන් අත්සන් කරන්නට ගිවිසුම් නැත; එසේ කරන්නේ ද නැත. එසේ කරාවි යැයි අඹමල් රේණුවක සැකයක් තිබුණා නම් ජනතාව තුනෙන් දෙකක ජනවරමක් දෙන්නේ ද නැත. ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීවේ ද එම්. සී. සී ගිවිසුම අත්සන් කරනවා ද නැද්ද යන තීරණය ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි. විපක්ෂය දකින හීනයෙන් දැන් නැගිටින්නට වෙලාව ඇවිත් ය. පොම්පියෝ කර තියාගෙන තවමත් දුවන විපක්ෂයට දැන් අලුත් මාතෘකාවක් සොයා ගන්නවා විනා වෙන විකල්පයක් නැත.
කොරහේ කිඹුල්ලු දැකීමට විපක්ෂය කොහොමත් දක්ෂ බව මහජනතාව දන්නේ අද ඊයෙක නොවේ ය.