
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 156 ක් ලබා ගනිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් ( ඡන්ද 150 ක්) අවශ්‍ය වූ අතර ඊට ඡන්ද 156 ක් ම ලැබුණි. විපක්ෂයේ මන්ත්‍රීවරු 08 ක් පක්ෂව ඡන්දය දුන්හ. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්ද 65 ක් ප්‍රකාශ විය. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ ද්‍රවිඩ පක්ෂ විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. දැඩි මතභේදයකට තුඩු දී තිබූ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සංශෝධනය සම්මත වූයේ ඡන්ද 157ක් ලබා ගනිමිනි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රී ෆයිසාල් මුෂාරෆ් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදුන් නමුත්, ද්විත්ව පුරවැසිභාවයට අදාළ සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත. වතුකරයේ ජන්ද ටික බලාගෙන ඉන්දියාවට යැවීමට සිටි වතු දමිළ ජනතාවට ලංකාවේ පුරවැසිභාවය ලෝස් නැතුව දුන් යූ.එන්.පී. ය, 2015 දී ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ඉදිරිපත් කළේ සද්භාවයෙන් නොවේ; වත්මන් ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂයන් ඡන්දයට ඉදිරිපත් වීම වළක්වාලන්ටය. 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එක් ඡන්දයක් ලබා ගත් ද්විත්ව පුරවැසි සංශෝධනය දුන්නේ අන් යමක් නොව, එදා කරන්නට හැදු බාල වැඩේට කදිම උත්තරයකි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, ඊෂාක් රහුමාන්, මොහොමඩ් නසීර් අහමඩ්, මොහොමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, මොහොමඩ් තවුෆික්, මොහොමඩ අලි සබ්රි, යන මන්ත්‍රීවරු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූහ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙදින විවාදය 22 දා රාත්‍රි 7.30 ට අවසන් වූයේ අධිකරණ ඇමැති අලි සබ්රි විසින් සිදු කළ පිළිතුරු කතාව සමඟිනි.
විවාදය අවසන් වූ පසු පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පත්කරනු ලැබීය. එහිදී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සංශෝධන ඉදිරිපත් කළේය. ආණ්ඩුව විසින් සංශෝධන 60ක්ද විපක්ෂය සංශෝධන 57ක්ද ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩු පක්ෂයේ සංශෝධන සියල්ල පිළිගත් අතර
විපක්ෂයේ සංශෝධන රැසක් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්වී සංශෝධන සහිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්දය විමසන ලදී. ආණ්ඩු පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 150 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 145ක්, ඊපීඩීපී ආසන 02 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 01 ක් හා විනයාගමූර්ති මුරලිදරන් (පිල්ලෙයාන් ) සහ ඒ. එල්. එම් අතාවුල්ලා යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ආණ්ඩුවේ මන්ත්‍රී සංයුතිය සකස්වී ඇත.
විපක්ෂය සතු සමස්ත ආසන සංඛ්‍යාව 75 කි. ඉන් ආසන 02 ක් පුරප්පාඩුව පවතී.
ඉතිරි ආසන සමගි ජන බලවේගයට ආසන 54 ක්, ජාතික ජන බලවේගයට ආසන 03 ක්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 10 ක් දෙමළ එක්සත් ජනතා පෙරමුණ ( ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්) ආසන 02 ක්, දෙමළ ජනතා ජාතික සන්ධානය ( සී.වී. විග්නේෂ්වරන්) ආසන 01 ක්, සහ මුස්ලිම් කොංග්‍රසය ( නසීර් අහමඩ්) ආසන 01, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස්( මොහොමඩ් මුෂාරෆ්) ආසන 01, සහ මුස්ලිම් ජාතික සන්ධානය (මොහොමඩ් අලි සබ්රි) ආසන 01ක් ලෙස බෙදී ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ගණන 08 කි. ඒ, 1833 දී කෝල්බෲක් - කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය, 1910 කෲව් - මැකලම් ආණ්‌ඩු ක්‍රමය, 1920 පළමුවන මැනිං ආණ්‌ඩු ක්‍රමය, 1924 දෙවන මැනිං ආණ්‌ඩු ක්‍රමය, 1931 ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය, 1947 සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සහ 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ආදී වශයෙනි.
නූතනයේ රටක ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වන්නේ ඒ රටේ ජනතාවගේ දේශපාලන සහභාගීත්වය තීරණය කරන මහජන ඡන්දය මඟිනි. 1931 ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ ලංකාවට සර්ව ජන ඡන්ද බලය හිමි විය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති වරයා වූ ජේ. ආර් ජයවර්ධන විසින් 1978 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන් අතර; විවිධ සංශෝධන ඇතුළත් ව මේ දක්වා ක්‍රියාත්මක වන්නේ එකී ව්‍යවස්ථාවයි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමට පෙර මෙරට පැවතියේ ඩොමීනියන් ව්‍යවස්ථාවකි. (එනම් කිසියම් රටක පාලන බලය බාහිර පාර්ශ්වයක් මඟින් විධායකය හෝ එකී විධායකය විසින් පත් කරන නියෝජිතයකු යටතේ පාලනය කිරීමය.) 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සිට මේ දක්වා සංශෝධන 19ක් සිදුව ඇත. මේ සම්මත වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි.
රටක් වේගයෙන් දියුණු කරන්නට ශක්තිමත් ආණ්ඩු ක්‍රමයක් තිබිය යුතු වීම ගැන විවාදයක් නැත. එය ජන සම්මතවාදී ලෙස සම්මත කරගන්නට පසුබිමක්ද සකසා ගත යුතුය. මේ සියලු ජයග්‍රහණයන් මෙහෙය වූ මහ මොලකරු වූයේ බැසිල් රාජපක්ෂයන්ය. 2015 දී පරාජය බාර ගෙන ගෞරවනීය ලෙස පැත්තකට වුව ද; ඔහු නිකම් සිටියේ නැත; අලුත් පක්ෂයක් පටන් ගත්තේ ය. මේ රටේ අලුතින් පටන් ගන්නා වෙනත් පක්ෂ අවුරුද්දක් යන විට වළපල්ලට යන මුත් බැසිල් රාජපක්ෂ හැදූ නව පක්ෂය වසරක් ගිය විට පළාත් පාලන ජන්දය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. ඔහු ඉන් පසු ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් මහ ඉහළින් ජයග්‍රහණය කර පෙන්වීය. අනතුරුව 20 වැනි සංශෝධනය පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් සම්මත කරගත්තේය.
ඕනෑම අයකුට පක්ෂ හැදිය හැකි වුවත් පක්ෂයක් ජයග්‍රහණය කරවන යාන්ත්‍රණය, එසේත් නැත්නම් ඒ ගේම් එක ගහන ආකාරය පිහිටන්නේ නැත.
ජනාධිපතිවරයාට ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නේ නිකම්ම නොවේ; රට හදන්නට ය; රට රකින්නට ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිවරයාගේ බලතල කප්පාදු වූ අතර, එහි රඟ අපි පසුගිය කාලය පුරා අත්වින්ඳෙමු. වසර තිහක යුද්ධයක් අවසන් කර, ලෝකය පුරා පැතිරෙන කොවිඩ් 19 වයිරසයෙන් මානව සම්පත විශිෂ්ට ලෙස රැක ගනිමින් ලොව විශිෂ්ටතම නායකයන් අතරට ගිය ජනපතිවරයකුට රට හදන්නට අමුතුවෙන් කියා දිය යුතු නැත.
එහෙත් බලය දී අතපය බැඳ තබා පලක් නැත. එනිසා ජනතාව දෙවරක් නොසිතා තුනෙන් දෙකක් ලබා දුන්නේ මේ 19 මර උගුලෙන් ගැලවෙන්නටය. දැන් ජනපතිවරයා ඉදිරියේ ඇත්තේ ජනාතාභිලාෂයන් ඉටු කිරීම පමණකි. ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබෙන පිටිවහල පැසසුම් කටයුතුය.