මෙවැනි කම්පන ස්ථීර ඒවා නොවේ | සිළුමිණ

මෙවැනි කම්පන ස්ථීර ඒවා නොවේ

කෝවිඩ් 19 අපේ සමීපතම ගමන් සගයා වෙයිද යන සංශයවාදී හැඟීමෙන් යුතුව ගෙවෙනා අටවන මාසයේ ද දින හෙමිහිට අතීතය කරා පල්ලම් බසිමින් තිබේ. මුහුණු වැස්මේ ඇතුළත සිට අනෙකා අපට සිනාවෙන්නේ ද රවන්නේ ද නොදැන අපි විවිධ අභිනයන් පාන්නෙමු.

අප දැන් වෙළී සිටින්නේ ජීවතුන් අතර සිටින කිසිවකුට හෝ මතක ඇති අන් යමකට වඩා වෙනස් වසංගතයකිනි. එන්නතක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටිය ද අපගේ මුතුන් මිත්තන් මුහුණ දුන් ආසාදන බොහොමයක් තවමත් අප සමඟ රැඳී තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්තා වූ පළමු කෝවිඩ් 19 රෝගියා ලෙස චීනයේ හුබෙයි පළාතෙන් ආ 44 හැවිරිදි චීන කාන්තාවක් ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයට (අයි. ඩී. එච්) 2020 ජනවාරි 27 වන දින ඇතුළත් කිරීමේ සිට බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් මතුවූ පොකුර හමුවන තුරු ශ්‍රී ලංකාව, වසංගත තත්ත්වය ඉතා කාර්යක්ෂමව කළමනාකරණය කළ රටවල් කිහිපයෙන් එකක් ලෙස හැඳින්විණි. එහෙත් එකසිය තිස් ගණන් වල සිට 125 වැනි ස්ථානය දක්වා කොරෝනා ආසාදිත වාර්තාගත රටවල් අතරට මේ ලියන මොහොතේ ශ්‍රී ලංකාව යළිත් එක් වී තිබේ.

මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන රෝහල් 14ක් යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට රෝහල් 14ක 2400ක් ඉක්ම වූ ඇඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට වෙන්කර ඇති බව ද වාර්තා වේ. ඊට අමතර ව දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 146ක් ද කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇත. මේ දක්වා මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හමුවූ කිසිදු ආසාදිතයකු දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නැත.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 අවසන් වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 1000කට ගිලන් ඇඳන් 3.5ක් තිබූ අතර රජයේ රෝහල් 613ක් තිබුණි. පුද්ගලයන් 1,035කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ රජයේ රෝහල්වල පුද්ගලයන් 599කට එක් හෙදියක් විණි. රජයේ රෝහල්වල ගිලන් ඇඳන් 7644ක් ඇත. ඇඳන් 5120ක් පෞද්ගලික රෝහල් 200ක තිබේ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ ලියන මොහොත වනවිට ලංකාවේ රෝහල් 14ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබිණි.

කොරෝනා වසංගතය, ලෝකයේ මෙතෙක් දැක ඇති දේශපාලන නායකත්වයේ විශාලතම පරීක්ෂණය විය හැකිය. ලෝකයේ සෑම නායකයෙක් ම සිය හැකියාව පිළිබඳ එකම ආකාරයේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී. ඇමෙරිකානු දේශපාලන විශේෂඥයකු වන වෑන් ජැක්සන්ගේ අදහස මෙහිලා උපුටා දැක්වීම උචිත යැයි සිතේ.

“උපායමාර්ගික තීරණ ගැනීම සහ අර්බුදයකදී තීරණ ගැනීම බෙහෙවින් වෙනස් ය. ඉදිරි වසරවලදී ලෝකය බොහෝ දුරට නරක අතට හැරෙනු ඇත. විශාල මානසික අවපීඩන නොවැළැක්විය හැකිය. චීනයේ උපායමාර්ගික අවස්ථාවාදයට සීමාවක් නැත. සෑම තැනකම ඒකාධිපතියෝ සමාජ පාලනය කිරීම සඳහා වසංගත භාවිත කරති. පොරොන්දු වූ පරිදි බහුපාර්ශ්වීය ආයතනවලට බාර දීම නොකෙරේ. මේ අර්බුදයෙන් මිදීම, නිර්භීත නව ලොවක් කරා යන දිගු ක්‍රියාවලියක එක් පියවරක් පමණි.”

සෑම නායකයෙක් ම වෙනස් ආකාරයකින්, ඔහුගේ හෝ ඇයගේ ශෛලිය අනුව ප්‍රතිචාර දක්වයි. සෑම නායකයකු ම විනිශ්චය කරනු ලබන්නේ එහි ප්‍රතිඵලය මගිනි. කොරෝනාවට කිසිවිටෙකත් අපේ ජන ජීවිතය පාලනය කරන්නට අපේ නායකත්වය ඉඩ දුන්නේ නැත. කඩිනම් හා හොඳ ම විසඳුම් සැමවිට ම අපට ආගන්තුක නොවූයේ ඒ නිසා ය. නිවැරදි කළමනාකරණය හා මානව සම්පත් සංරක්ෂණය එහිදී වැදගත් ය.

මෙය නායකයන් බිහි කරන හෝ බිඳ දැමිය හැකි ආකාරයේ අර්බුදයක් ද විය හැකි බව අප නිරන්තරයෙන් කියන්නේ මේ නිසා ය. කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම යනු වයිරසයට බියේ සියලු කටයුතු නවත්වා සැඟවී සිටීම නොවේ. එසේ කරන්නට සිතීම ම අපරිණත බොළඳකමකි. ආර්ථිකය ආරක්ෂා කර නොගතහොත්, නූතන සමාජයට පැවැත්මක් නැත. එසේම, කොවිඩ් 19 ඕනෑවට වඩා ඇඟට ගෙන විෂබීජවලින් තොර ලෝකයක ජීවත් වන්නට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ අපට ලැබුණු ජීවිතය නීරස වී යෑමයි.

අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි. එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි අපට ම සැක සහිත ය. කොරෝනා වයිරසය අපගේ ජීවිතවල පදනම් සලිත කරනු ඇත. ඒ අති මහත් ප්‍රමාණයක් දුක් වේදනා ජනිත කිරීමෙන් පමණක් නොවේ; 1929 මහා ආර්ථික අවපාතයට ද වඩා දරුණු වූ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීම මඟිනි. එනිසා යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යෑම පහසු නැත. නව සාමාන්‍ය තත්ත්වය තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. මේ වසංගතය අවාසනාවන්ත අහඹුවක් ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ; එහි ප්‍රති විපාකවලින් මිදී ඇතැම්විට අපගේ සෞඛ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් සිදු කොට පැරණි ආකාරයෙන් ම දේවල් කිරීමේ සුඛනම්‍ය ක්‍රියාකාරීත්වයට ආපසු යෑමට ලෙහෙසියෙන් නොහැකි වනු ඇත.

ජීවිතය යනු අරගලයකි. අප ද රැකෙන ගමන්, අපේ ප්‍රියයන්, රෝගීන්, මහලු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම ඒ අරගලයේ කොටසකි. අප කොවිඩ් 19 වැළඳ නොගත යුත්තේ ඒ නිසා ය. එහෙත්, වයිරසයට බියෙන් සැඟවෙන්නට ද අපට බැරි ය. කොවිඩ් 19 හමුවේ අප දන්නා සත්‍ය එය ය. එය ජීවන විලාසයක් වී තිබේ. අප අද මේ මොහොතේ පවා අරගල කරන්නේ ඒ වෙනුවෙනි.

ධනවාදී ගෝලීයකරණයට එරෙහි කැනේඩියානු ක්‍රියාකාරී චින්තිකාවක් වන නයෝමි ක්ලයින් පවසන්නේ කොරෝනා අර්බුදය යම් අයුරක ‘පරිණාමීය පිම්මකට’ උත්තේජනයක් විය හැකි බවයි.

“ඉතිහාසය අපට උගන්වන එක් දෙයක් තිබේ නම් එය වනාහී මෙවැනි කම්පන අවස්ථා ගැඹුරු ලෙසම ස්ථිර නොවේය යන්නයි. එක්කෝ අපගේ පොළොව අපට නැති වී, ප්‍රභූ පන්තීන්ට හසුව දශක ගණනක් තිස්සේ ඊට මිල ගෙවන්නෙමු. එසේ නොවේ නම් සති කිහිපයකට පෙර කළ නොහැකි යැයි පෙනුණු ප්‍රගතිශීලී ජයග්‍රහණ දිනා ගන්නෙමු. මෙය අපගේ එළැඹි සිහිය නැති කරගැනීමට කාලය නොවෙයි. අනාගතය තීරණය කෙරෙනු ඇත්තේ එකී සිය අදහස් සඳහා දෘඪ ලෙස සටන් කිරීමට කැමති අය විසිනි”

මේ තීරණාත්මක මොහොතේ අප සැම අනෙකා ගැන සවිඥානික වීම වැදගත් ය. ඔබ අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන තරමට අපට සෞඛ්‍ය සම්පන්න විය හැකිය.

Comments