
පුංචි වයිරසයක් විසින් ලෝකය වෙනස් කළ පළමු වතාව මෙය නොවේ. එහෙත් මේ තරම් ශීඝ්‍රයෙන් ලෝකය බියෙන් තැති ගැන්වූ වයිරසයක් මෙතෙක් තිබුණේ නැත. ලෝක ඉතිහාසය විමසන විට පෙනී යන්නේ වරින්වර මීටත් වඩා බරපතළ වසංගතවලට මිනිස් සමාජය ගොදුරුවී ඇති බව ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක වසංගත කිහිපයක් පැතිර ගියේය. ලක්ෂ ගණන් ජනතාව මරණයට පත්වූ අවස්ථා ද තිබිණි. එහෙත් වසංගත මුළුමනින් ම පරාජය කොට යළිත් නැඟී සිටින්නට ලෝක ප්‍රජාව සමත් වූහ.
දකුණේ මිනිසුන් සතියකින් සියල්ල අමතක කරන බව කියා සිටියේ වේළුපිල්ලේ ප්රභාකරන් ය. ප්රභාකරන් එදා අපේ මිනිසුන්ගේ දුර්වලතාවෙන් හොඳ හැටි ප්‍රයෝජන ගත්තේ ය. කොරෝනා අමතක වීමට ද අපට වැඩි දවසක් ගත වූයේ නැත. කොරෝනා ලෝක අර්බුදයකි. එහි අවදානම තවත් වසර දෙක තුනක් යනතුරු පහව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හැඟවීම් කර තිබේ.
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට කඩාවැදුණු මුල් අවස්ථාවේ අපේ ජනතාවගේ හැසිරීම ඉතා බුද්ධිමත් විය. කිසිවකු මුඛ ආවරණ නැතිව ගෙයින් එළියට ගියේ නැත. සංචාර නැවතිණි; උත්සව නැවැතිණි; වෛද්‍ය උපදේශන අකුරට ම පිළිපැදීමට සියල්ලෝ ම එකඟ වී සිටියහ. සියල්ලෝ සිීරුවෙන් සිටියහ. මේ වන විට ලෝකයේ සෑම 10 දෙනකුගෙන් එක් අයකු කොරෝනා රෝගියකු බවට පත් වීමේ සම්භාවිතාවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ තරම් අවධානමක් අබියස තවමත් පොලිසියට බයේ හෙල්මට් පළඳින යතුරුපැදි රියැදුරන් සේ අප ද මුඛ ආවරණය පළඳින්නේ පොලිසිය සිටින විට පමණී; නැත්නම් එය නීතියක් වූ නිසා පමණී. මුඛ ආවරණ ඇත්තේ සාක්කුවල ය. නැතහොත් බෑග්වල ය. කාර්යාල ඉදිරිපිට ඇති වතුර බේසම් හා විෂබීජ නාශක මේ ආසන්න දින කිහිපයේ හැරෙන්නට ඊට පෙර පාවිච්චි කරනු පෙනුණේ නැත. මේ සියල්ල නිරීක්ෂණය කරන කල මේ ඇතිවූ තත්ත්වය පුදුම සහගත නැත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය, ආරක්ෂක අංශ හා රජය බලවත් කැපවීමකින් යුතුව අර්බුදය ජය ගැනීමේ ක්‍රියාවලියේ නිරතවී සිටිති. ඉතිහාසයේ අත්දැකීම් අපට ලබා දෙන උත්තේජනය වන්නේ කොරෝනා අර්බුදය මුළුමනින් ම පරාජය කළ හැකිය යන්න ය. ඒ සඳහා විශ්වාසයෙන් ක්‍රියා කිරීම අතිශය වැදගත් ය. අපට අවශ්‍ය වන්නේ පරාජිතව මුළුගැන්වුණු ජීවිත නොව, ප්‍රබෝධයෙන් අර්බුදයට මුහුණ දෙන ජීවිත ය. කොයි මොහොතේ නැති වී යා දැයි විශ්වාස නැති ජීවිතයකට අවධානම දරා ගනිමින් තෙරපෙමින් බඩු ගොඩ ගසා ගන්නා සමාජයක් වෙනුවට අවශ්‍ය වන්නේ සබුද්ධික ජනතාවකි.
කොවිඩ් 19 වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති මුල් අවදියේ ම රට ඊට සූදානම් කිරීමට ජනාධිපතිවරයා සමත් විය. රෝග ව්‍යාප්තිය වැළකිණි. මහජනයා ඉතා හොඳ සෞඛ්‍ය පිළිවෙත් ගණනාවක් පවත්වා ගෙන ගියේය. ජනජීවිතය යථා පරිදි ගෙන යෑමට ද, මැතිවරණ පැවැත්වීමට ද අවස්ථාව එළැඹිණි. කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව පරාජිත වූයේ නැතැයි කිව හැකිය. මේ තුන්වැනි පොකුර නිර්මාණය වූ අවස්ථාවේ ද අප අබියස විසල් අභියෝගයක් තිබේ. ඒ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ පරිදි ම නැවත පැවැත්වීම ය. මේ තීරණය ගැනීමට පෙර රජය දෙවතාවක් මේ විභාග කල් දමා තිබිණි. මේ නිසා නැවත වාරයක් කල් නොදමා විභාගය පැවැත්වීමට රජය ගත් තීරණය පැසසුම් කටයුතු ය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා තුන්ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූහතරක් දරුවන් පෙනී සිටීමට නියමිත ය. ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 2,936ක් සැලසුම් කර තිබේ. අද ඒ දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දවසයි. උසස්පෙළ විභාගය සඳහා තුන් ලක්ෂ හැට දෙදහස් අටසිය විසිහතර දෙනෙක් පෙනී සිටීමට නියමිත ය. ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 2,648ක් සූදානම් කර තිබේ. එක මධ්‍යස්ථානයකට අවම වශයෙන් සිසුන් 160ත් 165ත් අතර ප්‍රමාණයක් එක්රැස් වෙති. උසස්පෙළ හෙට සිට නොවැම්බර් 02 දක්වා පැවැත්වීමට නියමිත ය. මේ දීර්ඝ විභාග කාලය සැලසුම් කර ගැනීම පහසු කාර්යයක් නොවේ. එහෙත් අසීරුතා ජයගැනීමේ විශේෂ හැකියාවක් තමන් සතු බව පසුගිය කාලය පුරා රජය ක්‍රියාවෙන් පෙන්නුම් කළේ ය.
එකිනෙක ආණ්ඩු විවිධ හේතු නිසා ජාතික විභාග කල් තබා ඇත. විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පමා කර ඇත. පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම පවා කල් තැබූ අවස්ථා තිබේ. මේ සෑම අවස්ථාවකදී ම සිදු වී ඇත්තේ අපේ ඉදිරි ගමන වැළැක්වීම ය. අධ්‍යාපනයේ ගැටලුවක් ඇති වූ විට එය ජීවිතයේ පසුබෑමක් බවට පොදුවේ සමාජයේ පසුගාමී බවට ද රූපාන්තරණය වෙයි. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පමා වන විට ඇතිවන බුද්ධි ගලනය ගැන දැන් බොහෝ කතා වෙති. විශ්වවිද්‍යාල වරින් - වර වසා දැමීම නිසා වයස්ගත උපාධිධාරීන් බිහි වන තත්ත්වයක් ද ශ්‍රී ලංකාවේ පැවැතිණි. කුමන තත්ත්වයක් යටතේ වුව අධ්‍යාපන ක්‍රියාවලිය සක්‍රිය නම්, එය රටක සාධනීය ලක්ෂණයකි. වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සඳහා බොහෝ දේවල් කරයි. දහසක් බාධක මැද්දේ වුව මේ විභාගය පැවැත්වීමට අප සැම සහාය දිය යුතු බැව් අපගේ අදහස වන්නේ ඒ නිසා ය.
වසංගතයෙන් පසු අප මුහුණ දෙන බරපතළ අභියෝගය වන්නේ ආර්ථිකය යථාවත් කිරීමය. පවතින තත්ත්වය යටතේ ලෝක ආර්ථික ගනුදෙනු සීමා වී ඇත. ණය හා ආධාර වැඩසටහන් ඇනහිට ඇත. මේ අනුව ස්ව - ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් ආර්ථිකය ගොඩනැඟීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඒ සඳහා බලවත් පරිශ්රමයක යෙදී සිටිති. මේ අභියෝගය ජය ගත හැක්කේ ජනතාවගේ පාර්ශ්වයෙන් ද උපරිම සහයෝගයක් හා කැපවීමක් ලැබුණ හොත් පමණි. එම කැප වීම සිදු කිරීමට නම් පොදු ජනයා නීරෝගි විය යුතුය.
කොවිඩ් 19 සමඟ ජීවත් වන්න; ආරක්ෂාව හා පරිස්සම තබා ගන්න! විශේෂඥයන්ගේ උපදේශනය එය වී තිබේ. කොරෝනා වසංගත රෝගයක් මිස අනාචාරයක් නිසා වැළදෙන්නක් නොවේ. යම් හෙයකින් ඔබට රෝගී ලක්ෂණ ඇත්නම් අන් අය ගැන මානව දයාවෙන් ඒ ගැන දැනුම් දීම විනා පැන යෑම හෝ වහන් වීම අනුචිත ය. අප සැම අපගේ වගකීම හා යුතුකම නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් කොරෝනාවෙන් ගැලවීම අපහසු කරුණක් නොවේ.