
ගෝලීය ආර්ථිකය 1930 දශකයේ ඇතිවූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම පසුබෑමට මුහුණ දෙමින් සිටියි. සියවසක මහා භීතිය ඇති කළ කොවිඩ් 19 ඉගැන්වූ පාඩම් අතර ආර්ථික පාඩම තරම් බලවත් පාඩමක් නැත. ඒ පාඩම අතර තිබෙන ප්‍රධානම අනතුරු ඇඟවීම ගෝලීයකරණයේ වන අන්ත්‍රාවයි. ලෝකය එකම යායක් යැයි කියූ බොහෝ දෙනෙක් දැන් එවැනි කතා කියන්නේ නැත.
එනිසාම අන් කවරදාටත් වඩා අද වන විට ගෝලීයකරණය කෙරෙහි බොහෝ පර්ශ්ව විවේචනාත්මකව කතා කරති. රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීයකරණයේ අනුහස නිසා ලෝකයේ ධනවත් ම පුද්ගලයන් 8 දෙනාගේ වත්කම ගෝලීය දුගී ජනගහණයෙන් 1/2 කොටසක් වන බිලියන 3.6 ක ජනයාගේ වත්කමට සමාන වන බව ය. ගෝලීයකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට උර දුන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපියානු රටවල්, වාර්තමානය වන විට ඒ ක්‍රමවේද හා ප්‍රතිපත්ති කෙරෙහි සැකසංකා මතුකරමින් සිටී. ගෝලීයකරණ විරෝධී කණ්ඩායම් බටහිර රටවල බිහිව ඇත්තේ මේ අනර්ථ සඳහා වූ විරෝධය මතු කිරීමට ය.
ශ්‍රී ලංකාව වෙත ගෝලීයකරණයෙහි අභියෝගවලට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ රාජ්‍ය අවපාලනයක අමිහිරි ප්‍රතිඵල සමඟ ය. ක්‍රමානුකූල ව සිදු නොවූ ආර්ථික ලිහිල්කරණය හා ආනයන ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදකයා තිරයෙන් ඉවත් වී තිබේ. කුඩා ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ගෝලීය වෙෙළදාමේ සාධාරණ කොටසක් හිමිකර ගැනීමට තවමත් නොහැකි ව ඇත. අප අන්තර්ජාතික වෙෙළඳාම සඳහා වන බාධක ලිහිල් කිරීමෙන් චිනය, ඉන්දියාව වැනි ඉහළ නිෂ්පාදන පරිමානුකූල පිරිමැසුමක් සහිත රටවල් වෙතින් කෙරෙන ආනයන හමු වේ. දේශීය නිෂ්පාදන මරණ මංචකය වෙත ගෙන යන ලදී. ඒ රටවල් සමඟ කරනු ලබන වෙෙළදාමේදී අපගේ අපනයන ආදායමට වඩා හතර පස් ගුණයකින් වැඩි ආනයන වියදමක් දැරීම, වර්තමානයේදී ශ්‍රී ලාංකේය ආර්ථිකය වෙත ඉතා අහිතකර තත්ත්වයක් ගෙන දී ඇත. අනෙක් අතට අප රටෙහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි වූ ආයෝජනයන්හි තිබෙන දැඩි පසුබැසීම් හේතුවෙන් අන්තර්ජාතික වෙළදාමේ දී ඉහළ ලාබදායි අංශ වෙත ළඟා වීමට නොහැකි ව ඇත. සීමිත සම්පත් සහිත රටවල් වන ජපානය, තායිවානය හා සිංගප්පුරුව වැනි රටවල් පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලින් අධි තාක්ෂණික උපාංග නිෂ්පාදනය වෙත පිවිස තම ආර්ථිකය ඉහළ වර්ධනයක් දෙසට ගෙන යන ලදී.
සරල තැනකින් පටන් ගන්න යැයි ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට දුන් උපදෙස වටින්නේ මේ කරුණු පසුබිමේ ලා සලකද්දී ය. සරල හා පුංචි තැන්වලින් පටන් ගැනීම ආර්ථික න්‍යායෙකි. ශ්‍රී ලංකාව වැනි දේශීය පරිභෝජනයක් ඇති රටවලට ඒ න්‍යාය ඉතා හොඳින් ගළපා ගත හැකිය. ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුම මෙහි ප්‍රායෝගික වැදගත්කම පෙන්වා දී ඇත. බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු ව්‍යාපාරයෙහි පදනම සරල හා පුංචි තැනින් පටන් ගැනීම ය. එහි නිර්මාතෘ මහාචාර්ය මොහොමඩ් යුනුස් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයෙකි. නොබෙල් ත්‍යාගලාභී තවත් ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඊ.එෆ්. ෂූමාකර් ‘පුංචි දේ ලස්සනයි’ නමින් පොතක් ද ලියා ඇත. ජනාධිපතිවරයා කියන්නේ ලෝක පූජිත මේ සත්‍ය ගැන ය.
ලොව විද්‍යාවන් අතර වඩාත් පෙරමුණ ගන්නේ ආර්ථික විද්‍යාව ය. එය නූතන ලෝකයේ වැදගත් ම විද්‍යාවයි. රටක ඉදිරි ගමන තීන්දු කරන ප්‍රධාන සාධකය එරට ආර්ථික ප්‍රතිපත්තියයි. රාජ්‍ය නායකයකුගේ සාර්ථකත්වය තීන්දු කරන ප්‍රධාන සාධකය වන්නේ ද ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය හා දැක්මයි. ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ ඉතා පැහැදිලි ය; ඒ දිගු ගමක මූලාරම්භය ය. එය මිනිසුන් වැදගත්කොට සලකන හා දේශීය සම්පත් කෙරෙහි වැඩි විශ්වාසය තබන ප්‍රායෝගික ආර්ථික දර්ශනයකි.
සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් ආර්ථිකයක් යනු පොළොවේ දර්ශනයයි. එනිසාම එය මේ භූමියේ නිරායාසයෙන් පැළ කළ හැකි ආර්ථික දර්ශනයකි. මහ පැරකුම්බා රජ සමය මෙන් හාල් පිටරට යවන්නට තවමත් බැරි බව සත්‍යයකි. හාල් බලේ පෙන්නන්නට මැතිනියගේ සමයේ මෙන් හර්තාල් කරන්නට කාටවත් සිදු වී නැත. ඒත් හාලේ බලේ ලොවට ම පෙන්වන්නට අපට කැපෙන පාරේ සුඛෝපභෝගීව නැතත්, දුක් ගැහැටක් නැතිව යන්නට ලැබෙන බව නම් ස්ථීර ය. එනිසා පාර කාපට් කර ගැනීමේ අවශ්‍යතාව අප ඉදිරියේ ඇත; එනම් සාමාන්‍ය ජනයා වන අපට මේ ක්‍රමය පැළ කරගන්නට අවැසි පොහොර රජයට සැපයීමේ වගකීමක් ඇත.
භෞතික සම්පත් ලෝකය පුරා එක සමාන ලෙස ව්‍යාප්ත වී නැත. බොරතෙල් ඇත්තේ එක තැනක ය; තිරිඟු ඇත්තේ තව තැනක ය; දියමන්ති ඇත්තේ තවත් තැනක ය; ඇතැම් ප්‍රදේශ කාන්තාර ය; තව ප්‍රදේශ වැසි වනාන්තර ය; තවත් ප්‍රදේශ මුඩු බිම් ය; තිබෙන සම්පත් ප්‍රමාණවත් තරමින් පරිභෝජනයට ගත යුතුය. උවමනාකම් සිහි බුද්ධියෙන් යුක්තව සපුරා ගත යුතුය. ප්‍රාදේශීය සම්පත්වලින් ප්‍රාදේශීය වුවමනාකම් සපුරා ගැනීම බුද්ධිමය ජීවන ක්‍රමයක් බව නූතන ආර්ථික විද්‍යාව සඳහන් කරයි. ආනයන සිදු විය යුත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි. අපේ සම්පත්, අපේ උවමනාකම් සඳහා හොඳටම ප්‍රමාණවත්ය. අවශ්‍ය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානගත කිරීමය.
ශ්‍රී ලංකාවේ පිහිටීම, භූ - විෂමතාව, දේශගුණික රටාව හා පස අගනා ස්වභාවික සම්පත් ලෙස හඳුන්වනු ලැබේ. පිහිටීමට අනුව විශේෂ සාගර කලාපයක් අපට අයත් ය. දකුණු ආසියාවේ කේන්ද්‍රීය ස්ථානයක රට පිහිටා ඇත. එහෙත් පිහිටීමෙන් නිසි ප්‍රතිලාභ ලබන්නට තව ම අපි සමත් වී නැත. රට වටා මුහුදක් පැවැතිය ද පරිභෝජනයට අවශ්‍ය මාළු ටික හෝ සපයා ගන්නට අපි තවමත් අසමත් ය. අපි මෙතෙක් අනුගමනය කර ඇති ආර්ථික උපාය මාර්ග හා ආර්ථික ප්‍රතිපත්ති වැරදි බව පෙනී යයි. රටට ගැළපෙන හා ජනතාවට ඔරොත්තු දෙන වැඩසටහන් අපට අවශ්‍ය වේ. ඒවා මහවැලි ව්‍යාපාරය මෙන් විශාල ව්‍යාපෘති නොවූවාට කමක් නැත. ජනාධිපතිවරයා සරල තැනින් පටන් ගන්න යැයි කියන්නේ ඒ නිසා ය.
කිතුල් ගහට, ගම්මිරිස්වලට, අලි වැටට වග කියන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම අලුත් අත්දැකීමකි. එහි ඇත්තේ යථාර්ථවාදී තෝරා ගැනීමකි. අපේ විභව සම්පත් ආවරණය වන අයුරින් රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතු අතර, සෑම ක්ෂේත්‍රයක් සඳහා ම වගකීම් දරන්නකු හා වගකීම් දරන ආයතනයක් පැවැතීම ඉතා වටී. නිදි වර්ජිතව වැඩකරන පුංචි මිනිසුන්ගෙන් ලෝකය වෙනස් කළ හැකිය. එහෙත් ඔවුන් විධිමත් කළමනාකරණ ක්‍රියාවලියකට හසු කර ගත යුතුය. ඒ වෙනුවෙන් වගකීම් හා යුතුකම් ඉටු කරන නායකයකු සිටීම ඉතා වැදගත් ය. ජනාධිපතිවරයා මේ තත්ත්වය හොඳින් වටහාගෙන ක්‍රියාත්මක වීම වටින්නේ ඒ නිසා ය.