
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැති බව දැන් අපි කී වතාවක් කියා ඇත්තැයි මතක නැත. ඒත් නැවත නැවත කියන්නට සිදුව තිබේ. ඒ කියද්දීත් පෙරහැර ගොස් අවසාන ය. ජීවිත තුනක් පොළව යට වැළලී හමාර ය. ඒ එක් ජීවිතයක් මෙලොව එළිය දැක ගෙවුණේ දවස් 49 ක් පමණී. ඛේදවාචකයට වැඩි වචනයක් එයට කිව හැකි නම් මේ සිද්ධියට කියන්නට වන්නේ ඒ වචනය ය.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් හෝටල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරේ උණුසුම තවත් පහ ව ගොස් නැත. ඇසට නැඟුණු කඳුළු බිඳු වල බර තවමත් බරකි. මෙවැනි සිදුවීම් ගණනාවක් ම සිදු වී ඒවා වෙනුවෙන් කම්පා වී, ඒ මොහොතේ ඒ ගැන උරණ වූවා මිස ඒවා අමතක වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. කුප්‍රකට කියමනක කියැවෙන්නේ ද සිංහලයාට අමතක වන්නට වැඩි කාලයක් ගත නොවන බව ය. එය ඇත්තක් බව පෙනෙන්නේ කලින් කලට කවර දෑ සිදුවුව ද ඒ මොහොතේ විනා ඊට පසු ඒ ගැන අමතක කරන නිසා ය.
ඒ සඳහා කියන්නට බැරි තරම් උදාහරණ ප්‍රමාණයක් තිබේ. තිස් අවුරුදු මහවැලි යෝජනා ක්‍රමය ජේ. ආර් ආණ්ඩුව පස් අවුරුද්දකින් නිම කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී නැත. වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටී තිදෙනෙක් මිය යෑමේ මතකය තවමත් බැහැර වූයේ නැත.
ජීවිතය අහිමි වූවන් වෙනුවෙන් අහස් කුස අරා ඇදුණු සුදු කොඩි දිනක කිහිපයකින් දුර්වර්ණ වී දිරාපත් වනු ඇත. පෙටිටි වටා තනි රැකි සුන්දර මල් පෙති හැලී නටුවෙන් ගිලිහී යෑමට එතරම්වත් දිනක් ගත නො වනු ඇත. තරුණ යුවළ හා කිරිකැටි බිලිඳා ගැන කියැවෙන අනුවේදනීය කතා මුවින් මුව නැඟී වා තලයට ම මුසුවී යෑමට දිගු කලක් ගත නොවේ. නෙතඟ නැඟි කඳුළු බිඳුවල බර පවා සහෘදයත්වයේ තරම අනුව වියැළී යන වේගය වැඩි වනු ඇත. ජීවිතය යනු මෙය වුව ද ඒ ඛේදවාචකය එවැනි හෘදයාංගම වචන පෙළකින් හෝ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යට විය යුතු නොවේ. නොමළ වුන් නිදිගත් බිමක මළවුන් සඳහා යුක්තිය ඉටු නොවන බව ඔබ දැනටමත් දනී. එනිසා මේ සිද්ධිය සැහැල්ලුවට නොගන්නා මෙන් හා අමතක නොකරන මෙන් අපි උදක් ම ඉල්ලා සිටිමු.
ඉකුත් අගෝස්තු 29 වැනිදා හා සැප්තැම්බර් 2 දා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබිණි. මේ විනාශයට පත් වූ ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ බූවැලිකඩ ප්‍රදේශයට කිලෝමීටර් 15ක් 20 ක් දුරිනි. එ් දිනයන්හි සිදු කළ අනතුරු ඇඟවීම් ගැන කිසිවකුත් අවධානයට ගත්තේ නැත. මහනුවර අනිවත්ත ප්‍රදේශයේ ඇති වූ නායයෑම් ගැන ද අවශ්‍ය තරම් අවධානයක් යොමු වූයේ නැත. නුවර වැනි තෙත් කලාපයේ ප්‍රදේශවල ගොඩනැගිලි හදන විට SOIL TEST නම් පාංශු පරීක්ෂණය කරනු ලබයි. මෙහිදී එ් පොළොවෙහි පිහිටි ගල හෙවත් යටින්ම පිහිටි භූ ස්ථරයේ තැටිය ගැන තක්සේරුවක් ලබා ගන්නා අතර, ඉදිකිරීමේ අත්තිවාරම පිහිටි ගලට සම්බන්ද කළ යුතු තැන ගැන අදහසක් ලබා ගැනීම සිදු වෙයි. මෙවැනි පරීක්ෂණයක් කළේ නම් අතහැර දැමුණු කඳුරක් මත අත්තිවාරමක් නො දමන බවට සැකයක් නැත. මෙයින් පෙනී යන්නේ එක්කෝ මේ වැනි භූ ගර්භ පරීක්ෂණයක් මේ භූමිය සම්බන්ධයෙන් කර නැත; නැතිනම් ඒ සහතික බොහෝ රාජ්‍ය ආයතනවල කෙරෙන්නා සේ හොර පාරෙන් අදාල අවසරය ගෙන ඇති බව ය. මේ වැනි කාරණා ගැන වගකිව යුත්තෝ තම අවධානය යොමු කළ යුතු වෙති; අවධානය යොමු කර පමණක් වැඩක් නැත. ඊට අදාළ නීතිය උපරිම ක්‍රියාත්මක කළ යුතුය.
වර්තමාන ව්‍යාපාරික පැලැන්තියේ ඇතැමුන් මුදල ගැන මිස ප්‍රමිතිය ගැන කල්පනා කරන්නේ නැත. කුමන හෝ ගොඩනැඟිල්ලක් අටවා, එය ව්‍යාපාරික ස්ථානයක් බවට පත් කර ගැනීමේ හදිස්සිය ඔවුන්ට තිබේ. ඇතැම් විට සැලසුම සකස් කරන්නේ ව්‍යාපාරිකයාය. ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගන්නේ ව්‍යාපාරිකයා ය. ඇතැම් විට ඉදිකිරීම් නිරීක්ෂණය කරන්නේ ද, අධීක්ෂණය කරන්නේ ද ව්‍යාපාරිකයා ය. මෙබඳු ක්‍රියාවලියක් තුළ ස්ථාවර ගොඩනැඟිල්ලක් ඉදිවීමට හේතු සාධක නැත. සිමෙන්ති ගල්වලින් මහල් නිවාස ඉදිකිරීම මේ වන විට මෝස්තරයක් වී ඇත. එය ලස්සන ය; ලාභදායක ය; පහසු ය; වේගවත් ය; එහෙත් සවි ශක්තියෙන් හා ඔරොත්තු දීමෙන් දුර්වල ය. ව්‍යාපාරිකයන් සිමෙන්ති ගල්වල ප්‍රමිතිය සොයා බලන්නේ ද නැත.
විනාශයට පත් පස් මහල් හෝටල් ගොඩනැගිල්ල ඉදි කර ඇත්තේ අස්ථාවර භූමියක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පෙන්වාදී ඇත. අදාළ ප්‍රදේශයේ නාය යෑම් ලක්ෂණ පෙන්නුම් කළ ස්ථාන කිහිපයක් ඇති බව ද සඳහන් ය. එහි අර්ථය වන්නේ මේ භූමිය ඉදිකිරීම් සඳහා නුසුදුසු බව ය. අස්ථාවර භූමියක ගොඩනැඟිල්ලක් ඉදි කරන්නේ නම් ඒ සඳහා භාවිත කළ යුතු විශේෂ තාක්ෂණික උපාය මාර්ග තිබේ. එහෙත් මේ ගොඩනැඟිල්ල ඉදි කර ඇත්තේ ඒ කිසිදු තාක්ෂණයක් හා උපදේශනයකින් තොර ව ය. රටේ මහජනයා එක අතකින් රටේ නීතියට ගරු කළ යුතු ය. තව අතකින් රාජ්‍ය ආයතන ලබා දෙන උපදේශන අනුගමනය කළ යුතු ය. ඉහත ගොඩනැඟිල්ලේ හිමිකරු ඒ සියල්ල බැලුවා යැයි කීව ද ඒවාට සහතික ගෙන ඇත ද ඔහු ඒවා ගත් ආකාරය ගැන නම් බොහෝ සැක සංකා මතු වෙන්නේ ය.
බූවැලිකඩ සිද්ධිය උගන්වන පාඩම නම් ලංකාවේ බොහෝ තැන්වල ප්‍රමිතියෙන් තොර තවත් ගොඩනැගිලි තිබෙන බව ය. එබැවින් ඒවා ගවේෂණය කර සොයා බලා ඉදිරියේදී සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම රජය සතු වගකීමකි. නැතිනම් අතමාරුවක් ගෙන සුවසේ සිටින සමහර රාජ්‍ය නිලධාරීන්ගේ හා බල්ලො මරා හරි සල්ලි හම්බු කිරීමට දත කන නිර්ලජ්ජිත ඇතැම් ව්‍යාපාරිකයන්ගේ සුවපහසුව වෙනුවෙන් වන්දි ගෙවන්නට වන්නේ අසරණ මිනිසුන්ට ය. ඒ මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීම වැළැක්වීමට නම් වංචා දූෂණ වලින් තොර රාජ්‍ය සේවයක් සේම වගකීම් සහගත දේශපාලනයක් ද අවැසි ය.