
රටක සාක්ෂරතාව මනින මිනුම්දඬු කිහිපයක් වේ. ඒ මිනුම් දඬු අදාළ වන්නේ අකුරු යන සංකේතයට පමණක් නොව හැදියාව, අචාරශීලීත්වය, අනෙකාට ගරු කිරීම ආදී වශයෙන් වන තවත් බොහෝ කාරණා මත්තෙනි. පාරට බසින කල බොහෝ හොඳ වාහනවල ගමන් කරන හැදියාව බින්දුවටම බැස ඇති ටයි කෝට් දමා ගත් නමට මහත්වරු නෝනලා බොහොමයක් මුණ ගැසෙති. ඒ සමහර අය ප්‍රසන්න පෙනුමැති ය; වැදගත් බව පෙන්වන ලක්ෂණ සහිත ය; බොහෝ වටිනා වාහන පාව්ච්චි කරන බව පෙනෙති. එහෙත් මාර්ගයට බැසි කල වාහනය ධාවනය කරන්නේ නම් ඒ කිසිවකට ගැළපෙන පරිද්දෙන් නොවේ ය. එක් තීරුවක ධාවනය කරන වාහනය ඊළඟ තීරුවේ කුඩා හිදෙසක් දුටු කල්හි රිංගවා ගැනීමට දෙවරක් නොසිතති. පැති කණ්ණාඩි තිබුණ ද ඒවා ඇත්තේ අලංකාරයට පමණකි. සමහර යතුරුපැදිවල පැති කණ්ණාඩිවලින් පෙනෙන්නේ අහස්තලය ය. සමහරුන්ට පැති කණ්ණාඩි ඇත්තේ ම නැත. පොලිසියට ද පැති කණ්ණාඩි රහිත වීම බරපතළ වැරැද්දක් සේ නොපෙන්නේ ඇයි දැයි අපට ගැටලුවක් තිබේ. හරිහමන් මාර්ග හා රියැදුරු සාක්ෂරතාවක් ඇත්තකුට පැති කණ්ණාඩියක් නැතිව ධාවනය කළ නොහැකි බව අපේ විශ්වාසයයි.
මේ සියල්ලම හේතු කාරණා සේ ගොඩනැඟී; මාර්ග නීති කඩන්නන් සේම ඒවා විවිධ මට්ටමින් බලපෑම් කර මාර්ග තදබදයක් නිර්මාණය වීම ද කලක් තිස්සේ ම සිදු වූවකි.
‘නැවත අරඹමු මහමඟ විනය‘ යන මං තීරු නීතිය වැදගත් වන්නේ මේ සියල්ල පසුබිමේ ලා සලකද්දී ය. මං තීරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ උදය වරුවේ දැඩි ව පවතින මහාමාර්ග තදබදය අවම කිරීමේ පියවරක් වශයෙනි. පාසල් පද්ධතිය නැවත තිබූ පරිද්දෙන් සක්‍රිය වීම නිසාත්; කොරෝනා නිසා අඩාළ වී තිබුණු ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් සිටින නිසාත් මාර්ග තදබදය දැන් දැන් පැවැති ලෙසට ම වර්ධනය වී ඇත. මේ නිසා උදය වරුව පුරාත් සවස් වරුවත් අධික මාර්ග තදබදයකට ලක් වෙන්නට ජනතාවට සිදු ව තිබේ. මාර්ග නීති අමුඅමුවේ උල්ලංඝනය කරන රියැදුරන් නිසා මේ අර්බුදය තවදුරටත් වර්ධනය වී ඇත. ‘නැවත අරඹමු මහමඟ විනය‘ යන හේතු පාඨය ම මෙහිදී අවධානයට ලක්විය යුතුය. බස් සඳහා බස් මං තීරුවක් හඳුන්වා දී ඇතත් පුද්ගලික බස් රියැදුරෝ බහුතරයක් මේ නීති රකින්නෝ නොවෙති; පොලිසිය දකිද්දී පමණක් නිවැරදි මං තීරුවට එන ඔවුහු තැන නොතැන බලා පදිකයන් නංවා ගැනීම නිසා ඇතිවී ඇති ගැටලු අප්‍රමාණ වෙති. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට ද බොහෝ දුරට විනයක් නැත; බස් නැවතුම් පොළක් තිබුණ ද නොතිබුණ ද ඔවුහු බස් රථයක් දුටු විට එයට අත දමති. එසේ තැන තැන නවතන බස් නිසා මහමඟ ඇතිවන වාහන තදබදය අනන්තය. පොලිසිය නැති තැන්වල කරන මෙවැනි වැරදි අල්ලා ගැනීමට තාක්ෂණය භාවිත කිරීමේ වරදක් නැතැයි අපි ද සිතන්නෙමු. උදෑසන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මෙකී වරද අල්ලන්නට උත්සාහ කරන පොලිස් නිලධාරීන් දුටු විට බොහෝ වාහන හිමියෝ සමච්චලයට මෙන් සිනහ වෙති. එහෙත් මේ සියලු අත්හදා බැලීම් කරන්නේ මඟීන් වන අප වෙනුවෙන් බැව් ඔවුහු අමතක කරති. රියදුරන් කරන වැරදි අවම වන්නේ නම් එය බොහෝ දුරට මාර්ග තදබදය වළක්වා ගැනීමට හේතු වනු ඇත.
බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක් වන්නේ මං තීරු නීතිය පිළිබඳ නීතියක් ඇත්තට ම සඳහන් වන්නේ ද යන්න ය. 1951 දරන මෝටර් රථ වාහන පනතේ 148 වැනි වගන්තියේ මේ මං තීරු නීතිය ගැන සවිස්තරාත්මක ව සඳහන් ය. මෙතෙක් කල් පොතට නීතියක් ව තිබී, වරින් වර ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්ත ද ලොප් වූ දෙයක් ක්‍රියාත්මක කිරීමට රජය දරන උත්සාහයට අප කෘතඥ වන්නේ ඒ නිසා ය. මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම නීත්‍යානුකූල දැ යි අසන අයට කියන්නට තිබෙන්නේ මේ පනත කියවා ගන්නා ලෙස ය. මහාමාර්ග දියුණු කරන්න යැයි කියන උදවිය නොදන්නා කරුණ වන්නේ කියන ඉක්මනට ඒවා කළ නොහැකි බව ය. කඩිනමින් කළ හැකි දෙය වන්නේ විනය පවත්වා ගැනීමයි.
දැනට ලංකාවේ දිගින් කිලෝමීටර් 123,000ක් වූ මාර්ග පද්ධතිය, පරිහරණය කිරීමට හැත්තෑ හත් ලක්ෂයක් පමණ වූ වාහන සඳහා ප්‍රමාණවත් වුවත්; ඒ වාහන ප්‍රධාන නගරය වෙත කේන්ද්‍රණය වී තිබීම හේතුවෙන් වාහන තදබදය වැඩි වී ඇත. උදෑසන කොළඹ නගරයට එන වාහනයක සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 12 දක්වා අඩු වී තිබීම මේ සඳහා උදාහරණයකි. මේ නිසා නඩත්තු වියදම් හා ඉන්ධන වියදම් වැය වන්නේ විදේශ විනිමය ලෙසිනි. ලංකාවේ ඉන්ධන වියදම සඳහා වැයවන මුදල රටේ සමස්ත ආනයන වියදමෙන් 12%ක් වන අතර වාහන ඉන්ධන සඳහා 10%ක් වැය වේ. ලංකාවේ වාහන වැඩිවීමේ සීඝ්‍රතාව අනුව තව වසර 8කින් දක්ෂිණ අධිවේගී මාර්ගය ද තදබද වනු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති. එබැවින් තාවකාලික පැලැස්තර දමා පලක් නැත.
දැනට ලංකාවේ මගී ප්‍රවාහනයෙන් 80%ක් හා භාණ්ඩ ප්‍රවාහනයෙන් 98%ක් මාර්ග ප්‍රවාහනය මඟින් සිදු කරයි. මාර්ගගත මගී ප්‍රවාහනයෙන් 60% ක් බස් රථවලින් සිය අවශ්‍යතා ඉටු කරගනී. ඉතිරි 40%ක් පමණ වූ ප්‍රමාණය තනි පුද්ගලයන් හෝ දෙදෙනකු පමණක් පැමිණෙන වාහන වේ. එය මාර්ග තදබදයට සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නකි.
ආකල්ප දියුණු කිරීම තරම් ජාතියක් නංවාලීමේ වෙනත් ක්‍රියාමාර්ගයක් නැත. දියුණු ආකල්ප යනු දියුණු ජාතියක සමාරම්භයයි. ‘සෞභාග්‍යයේ දැක්ම‘ නිර්මාණය වන්නේ ම ආකල්ප දියුණුව උදෙසා ය. එහි දිගුවක් ලෙසින් ක්‍රියාත්මක ‘නැවත අරඹමු මහමඟ විනය‘ අපගේ සුබ සිද්ධිය සඳහා මිස අන් යමක් වෙනුවෙන් නොවේ. රියැදුරන්, පදිකයන්, මගීන් විනයවත් වීම නිසා රටට වන ප්‍රතිලාභය ගණනය වන්නේ භෞතික පදනමෙන් පමණක් නොවේ; මානව සම්පත ද සුරැකීමෙනි. දිනකට පුද්ගලයන් අටකට අධික ප්‍රමාණයක් මහමග මිය යන්නේ නොසැලකිලිමත් විනය විරෝධි රියදුරන් නිසා ය. ශ්‍රම බළකායෙන් වැඩි පිරිසක් මහමඟ නිකරුණේ කාලය ගෙවා දමන්නේ ආතතියට ලක් වෙමිනි. එයින් ගිලිහෙන මානව ශ්‍රමය සේ ම, නිකරුණේ දහනය වන ඉන්ධනත්, ඒ නිසාම වන පරිසර හානියත් පිළිබඳ විශ්ලේෂකයෝ බොහෝ කලෙක සිට අනතුරු අඟවති. එනිසාම මේ වනාහි විනයවත් පරිසරයක්, මාර්ග පද්ධතියක් ඇති කිරීමට ගන්නා ලද ස්වර්ණමය ක්රියාදාමයකි. පොලිසිය හිටියත් නැතත් විනය ගරුක මාර්ග භාවිතයක් ගොඩනැගිය හැකි නම් එය මේ අර්බුදයට පිළියමකි; මානව සම්පතට සුවසෙතට හේතුවකි. හැකි පමණින් එයට අනුගත වීම සැමගේ යුතුකම වන්නේ ඒ නිසා ය.