රාජ්‍ය යාන්ත්‍ර­ණයේ අභි­මා­නය | සිළුමිණ

රාජ්‍ය යාන්ත්‍ර­ණයේ අභි­මා­නය

‘ලංකා සිවිල් සේවා පරි­පා­ල­නය‘ නම් කෘතියේ රාජ්‍ය නිල­ධා­රියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන පුද්ගලයා ලෙස අර්ථ ගන්වා ඇත. රාජ්‍ය මුදල් භාවිත කිරීමේ අව­ස­රය ඇති රාජ්‍ය නිල­ධා­රීන් වෙන කිසි­යම්ම හෝ බන්ධ­න­ය­කට, බල­පෑ­ම­කට යටත් නොවිය යුතු බව මින් ගම්‍ය වේ. ඔවුන්ගේ ක්‍රියා­පා­ටි­පා­ටිය සැක­සිය යුතු වන්නේ ව්‍යව­ස්ථා­දා­යක අණ පනත් සහ රාජ්‍ය මූල්‍ය චක්‍ර­ලේ­ඛ­ පදනම් කරගෙන ය. ඒ අනුව රාජ්‍ය නිල­ධා­රීන්, පාර්ලි­මේ­න්තු­වට, විධා­ය­ක­යට, අධි­ක­ර­ණ­යට හා ජන­තා­වට ඍජුව වග­කිව යුතු වෙයි. සිය වග­කීම් අතර ලැදි­කම, බිය හෝ වෙනත් බල­පෑ­ම්ව­ලට නතුව සිදු කෙරෙන රාජ­කාරි පිළි­බ­ඳ ව කිසිදු රාජ්‍ය නිල­ධා­රි­ය­කුට නිද­හස් හෝ නිදොස් විය නොහැ­කිය.

මේ කතාව යථා­ර්ථ­යක් වීමට අවශ්‍ය පසු­බිම පසු­ගි­යදා නව අමා­ත්‍යාංශ ලේක­ම්වරු පත් වූ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කර තිබිණි. ශක්ති­මත් රාජ්‍ය සේව­ය­කට අවැසි දෑ නිර්මා­ණය කිරීමෙහි ලා බාධා වන ඕනෑම දෙයක් ඒ අනුව නිශේ­ධ­නය වීමේ හැකි­යාව පව­තින බවට වන සහ­ති­කය සියලු රාජ්‍ය නිල­ධා­රීන්ට ලැබු­ණේය. එය ඓති­හා­සික ප්‍රවේ­ශ­යකි. පසු­ගිය කාලය පුරා රාජ්‍ය සේවය දේශ­පා­ල­ඥ­යන් විසින් හීලෑ කර­ගෙන තිබිණි. රාජ්‍ය නිල­ධා­රීන්ට අන­වශ්‍ය සුදු­සු­කම් මත තන­තුරු ලබා දීම නිසා බොහෝ­දු­රට මේ තත්ත්වය උද්ගත විය. සිද්ධි එකින් එක ගෙන ඒවා හුදෙ­කලා සිද්ධි සේ දඩ­මස් කිරී­මෙන් ඵලක් නොවූ­වද ධනා­ත්මක ප්‍රවේ­ශ­යක් සඳහා ඒ අව­බෝ­ධා­ත්මක කති­කාව ඇති විය යුතුය. මේ ඒ සඳහා ලැබුණු ස්වර්ණ­මය අව­ස්ථා­වකි.

රාජ්‍ය සේවය ප්‍රසා­ර­ණය වී ඇති ප්‍රමා­ණ­යට සාපේ­ක්ෂව එහි ඵල­දා­යි­තා­වක් තිබේ ද යන්න විවා­දිත කරු­ණකි. රාජ්‍ය නාය­කයා පවා කියන්නේ රාජ්‍ය සේවය දූෂිත බව ය. පොදු ජන­තාව කියන්නේ රාජ්‍ය සේවය දේශ­පා­ල­නී­ක­ර­ණය වී ඇති අතර ඒ නිසාම එය අකා­ර්ය­ක්ෂම බව ය. මේ කියන කාර­ණා­වල කිසි­යම් සත්‍ය­යක් ඇතත් රාජ්‍ය සේව­යට සාධා­රණ විනි­ශ්ච­යක් දිය හැක්කේ රාජ්‍ය සේවය අද පව­තින තත්ත්ව­යට හේතු නිවැ­ර­දිව අව­බෝධ කර­ග­ත­හොත් පමණ ය.

එදා මෙදා තුර රාජ්‍ය සේවයේ තිබූ අභි­මා­නය, කීර්තිය මෙන්ම ශක්තිය ද බිඳ දැමූ තීර­ණා­ත්මක අව­ස්ථාව වූයේ 1980 ජූලි වැඩ වර්ජ­න­යයි. මෙහිදී ජේ. ආර්. ගේ ආණ්ඩුව අසූ­ද­හ­සක පමණ පිරි­සක් එක රැයින් සේව­යෙන් නෙරපා හැරි­යේය. මේ නිසා පළ­පු­රුද්ද හා අත්දැ­කීම් ඇති පරි­ණත රාජ්‍ය සේව­ක­යන් අති විශාල පිරි­සක් රාජ්‍ය සේව­යට අහිමි වූ අතර, සුදු­සු­කම් විම­සී­ම­කින් තොරව පුර­ප්පාඩු සඳහා බඳවා ගැනුණේ දේශ­පා­ලන අනු­ගා­මි­ක­යන් ය. ඉන්පසු බල­යට පැමිණි බොහෝ ආණ්ඩු අඩු වැඩි වශ­යෙන් තමන්ගේ පැවැත්ම සඳහා මේ තත්ත්වය පවත්වා ගෙන ගිය අතර, එනි­සාම රාජ්‍ය සේවය අකා­ර්ය­ක්ෂම බවට පත් විණි. මේ තත්ත්වය සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් කිරීමේ අඩි­තා­ලම දම­මින් අභි­නව ආණ්ඩුව එක­වර හැට­ද­හ­ස­කට රාජ්‍ය සේවයේ දොරටු විවර කළේ ශක්ති­මත් රාජ්‍ය­යක් ගොඩ­නංවා ගැනීමේ අර­මු­ණිනි. එය ඓති­හා­සික අව­ස්ථා­වක් වන්නේ, රටක රාජ්‍ය සේවයේ ස්ථාව­ර­ත්වය මත ඒ රාජ්‍යයේ සමෘ­ද්ධිය තීර­ණය වන බැවිනි.

මේ රට සංව­ර්ධ­නය කිරී­මට යමකු අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ශක්ති­මත් රාජ්‍ය සේව­යක් අත්‍ය­වශ්‍ය ය. රාජ්‍ය සේව­ක­ය­න්ගෙන් ප්‍රශස්ත සේව­යක් ලබා ගැනී­මට බල­පාන්නා වූ වැද­ගත් ම කාර­ණ­යක් තිබේ. එනම් රාජ්‍ය සේවය දේශ­පා­ල­න­යෙන් ස්වාධීන කිරීම ය. එසේම දේශ­පා­ල­ක­යන්ගේ තීන්දු තීර­ණ­ව­ලට රජයේ සේව­ක­යන්ට වන්දි ගෙවී­මට සිදු­වීම වළ­ක්වා­ලීම ය. මෑත­කා­ලීන ව රජයේ සේව­කයා අක­ර්මණ්‍ය කර­න්නට බලපෑ ප්‍රධා­න­තම හේතු­වක් වූයේ දේශ­පා­ල­ක­යාගේ තීන්දු සඳහා ලොකු කුඩා භේද­ය­කින් තොරව රජයේ සේව­ක­යාට වන්දි ගෙවී­මට සිදු­වීම ය.

සිංග­ප්පු­රුවේ ආර්ථික සංව­ර්ධන නිර්මාතෘ, හිටපු අග­මැ­ති­ව­රයා වූ ලී ක්වාන් යු ලංකා­වට පැමිණි පසු කොළඹ නග­රයේ එව­කට පැවති දියුණු තත්ත්වය පිළි­බඳ විශ්ම­යට පත්ව සිංග­ප්පු­රුව ද එවැනි රටක් බවට පත් කරන බවට කළ ප්‍රකා­ශය පසු­ගිය කාලයේ මෙන්ම වර්ත­මා­නයේ ද නිර­න්තර කතා­බ­හට ලක් වන්නෙකි. මැලේ­සි­යා­වෙන් වෙන් වු පසුව ස්වභා­වික සම්පත් පවා නැතිව කෙටි කාල­යක් ඇතුළත ගෝලීය වශ­යෙන් අනි­කුත් රටවල් අබි­බවා යමින් සංව­ර්ධ­නය වූ රටක් බවට පත්වීමේ දී අනු­ග­ම­නය කළ රාජ්‍ය සේවය සම්බන්ධ උපාය මාර්ග බොහො­ම­යක්, දැන් ලංකා­වට ද වැද­ගත් වන බැව් අප අම­තක කළ යුතු නැත.

සිංග­ප්පු­රුවේ රාජ්‍ය සේවය ප්‍රශස්ථ මට්ට­ම­කට ගෙන ඒම වෙනු­වෙන් ක්‍රියා­ත්මක කළ PS 21 – Future- Oriented Reform කළ­ම­නා­ක­රණ ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන, මුල්‍ය සහ අය­වැය ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන, මෙන්ම ප්‍රශස්ථ මට්ටමේ රාජ්‍ය සේව­යක් නිර්මා­ණය කිරීම වෙනු­වෙන් මැලේ­සි­යාවේ හිටපු අග­මැති මහ­තීර් මොහො­මඩ්ගේ රාජ්‍ය පාලන කාලයේ දී ක්‍රියා­ත්මක කළ රාජ්‍ය ප්‍රති­නි­ර්මාණ වැඩ­ස­ට­හන මෙහිදී අධ්‍ය­ය­න­යට වැද­ගත් ය. ලංකාව ආස­න්නයේ පිහිටි රටක් වශ­යෙන් ඉන්දි­යාවේ ප්‍රාන්ත කිහි­ප­ය­කම හඳු­න්වාදී ඇති තොර­තුරු තාක්ෂ­ණය පද­නම් කර­ගත් පුර­වැ­සි­යාගේ දෘෂ්ටි කෝණ­ය විශ්ලේ­ෂ­ණය කර ක්‍රියා­ත්මක කරන ලද ව්‍යාපෘති රැසක් ද තිබෙන නිසා එවැනි යහ­පත් අත්දැ­කීම් පූර්වා­ද­ර්ශ­යට ගනි­මින් ජාතික සංව­ර්ධ­නයේ අර­මුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කාර්ය­ක්ෂම වූත් ප්‍රති­ඵ­ල­දා­යක වූත් රාජ්‍ය සේව­යක් බිහි කිරී­මට හැකි­යාව අපට ඇත. මේ සඳහා වන දැක්ම හා නාය­ක­ත්වය දැන් අප සතු බැවින් ඉදි­රිය පැහැ­බර ය.

එහිදී රටේ දේශ­පා­ල­නික ස්ථාවර බව ඉතා­මත් වැද­ගත් සාධ­ක­යක් විය යුතු අතර, අනා­ග­තය පුරෝ­ක­ථ­නය කර­මින් ජන­තා­වගේ සමාජ, ආර්ථික, සංස්කෘ­තික සුබ­සි­ද්ධිය වෙනු­වෙන් සකස් කළ දිගුකාලීන වූ ප්‍රති­පත්ති හා වැඩ­ස­ට­හන් සම්පා­ද­නය කිරීම ද අවශ්‍ය කරු­ණකි. මෙහිදී රජ­යක් වශ­යෙන් සකස් කරන්නා වූ එකී ප්‍රති­පත්ති ක්‍රියා­වට නැංවී­මේලා රාජ්‍ය සේව­යට පැව­රෙන වගකීම්, කාර්ය­භාර්ය මැන­වින් අර්ථ­ක­ථ­නය කර­ගෙන පුර­වැ­සි­යාගේ අපේක්ෂා ඉටු­වන ආකා­රයේ සේවා සම්පා­ද­නය සැලැ­ස්විය යුතුව තිබේ. ලෝකයේ තොර­තුරු තාක්ෂ­ණයේ ඇති වී ඇති නව ප්‍රව­ණතා ද ආදේශ කර රාජ්‍ය සේවා යාන්ත්‍ර­ණය නව්‍යක­ර­ණය කිරීම පිළි­බඳ අව­ධා­නය යොමු විය යුතුය.

රාජ්‍ය සේවය සඳහා බලපෑ මූලික ගැටලු කිහි­ප­යක් තිබිණි. එක; ඔවුන්ගේ වැටුප් හා දීමනා ප්‍රමා­ණ­වත් නො වීම ය. දෙක; උසස් වීමේ ක්‍රියා පටි­පා­ටිය නිසි ලෙස ක්‍රියා­ත්මක නොවීම ය. තුන; රාජ්‍ය ‍සේවය සඳහා වූ දේශ­පා­ලන බල­පෑම උත්සන්න වී තිබීම ය. වත්මන් ආණ්ඩුව ඉහත ගැටලු තුනට ම විසැ­ඳුම් ලබාදී ඇති බව කිව යුතු ය. සමස්ත රාජ්‍ය සේව­යේම වැටුප් තත්ත්වය සතු­ටු­දා­යක ය. උස­ස්වීම් සඳහා වූ ක්‍රියා පටි­පා­ටිය නිසි ලෙස ක්‍රියා­ත්මක වෙයි. දේශ­පා­ලන බල­පෑම් සිදු කිරී­මට කිසි­වකු ඉදි­රි­පත් වන්නේ නැත. නූතන රාජ්‍ය සේවය නිද­හස් හා ස්වාධීන එකක් සේ සැලැ­කිය හැකි ය.

අපේ රාජ්‍ය සේව­කයා බුද්ධි­මත් ය. ඔවුන්ට රටේ අනා­ග­තය පිළි­බඳ හැඟී­මක් තිබේ. ඒ අනුව බුද්ධි­මත් තීන්දු - තීරණ ඔස්සේ රටේ අනා­ග­ත­යට හවු­ල්වී­මට ඔවුන් තීර­ණය කරනු ඇත.

Comments