
දළදා වහන්සේගේ ආශීර්වාදය රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය අංගයක් බැව් සිංහල අපට පැහැදිලි කරන්නට අටුවා ටීකා අවැසි නැත. අතීතයේ රට පාලනය කළ රජ අමාත්‍යවරුන් ආදීන් රට සුඛිත මුදිත දේශයක් කරන බවට ප්‍රතිඥා දුන්නේ ද දළඳා වහන්සේ ඉදිරිපිටය. එවන් ආශීර්වාදාත්මක ස්ථානයක සිට පසුගියදා දිව්රුම් දුන් රට කරවන ඇත්තන්ගේ ඉදිරි ක්‍රියා පිළිවෙත ගැන ඉතිහාසයෙන් හා සොබාදහමෙන් සාක්ෂි පෙළ ගැසුණේය.
අභිනව රජයේ කැබිනට් මණ්ඩලය හා සෙසු ඇමැති මණ්ඩලය අගෝස්තු 12දා දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීම සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන්නේ ඒ පසුබිමේය. අවසන් (19 වැනි) ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව මේ අනුව කැබිනට් මණ්ඩල සාමාජිකයන් 30 ක් හා රාජ්‍ය ඇමැතිවරු 40 ක් මෙවර ආණ්ඩුවට අයත් වන අතර, දැනටමත් ඉන් කැබිනට් සාමාජිකයන් 25 දෙනකු හා රාජ්‍ය ඇමැතිවරු 39 දෙනකු පත්කර තිබේ. වෙනදා මෙන් සාටෝපවත් වියදම් සැර, ‘අභිමානවත්’ යැයි නිරන්තරයෙන් මුමුණන දිවුරුම් දීමක් වෙනුවට මෙවර අපට දකින්නට ලැබුණේ ආගමික වතාවත්වලට මුල්තැන දී සිදු කළ චාම්, සරල එහෙත් හිතට සංහිඳියාවක්, බලාපොරොත්තුවක් දනවන දිවුරුම් දීමේ උළෙලකි.
ඉතිහාසයේ කිසිදා නොදුටු තවත් සුවිශේෂී වෙනස්කමක් ද මෙවර අපට දකින්නට ලැබිණි. එනම් ඇමැතිකම් ලබන පුද්ගල නාමයන්ට පෙර ඇමැතිකම් මොනවාද යන්න ගැසට් නිවේදනයක් මඟින් කලින්ම මහජනයා වෙත රජය ප්‍රකාශයට පත්කිරීමය. මේ අනුව ඇමැති විෂය පථ පිළිබඳව යම් තක්සේරුවකට හා සංසන්දනාත්මක විග්රහයකට සහභාගි වන්නට ජනතාවට ද අවස්ථාවක් හිමි වූ අතර, ආණ්ඩුව ඇමැතිකම් දෙන්නට ප්‍රථම ජනතාව ඒ සඳහා සුදුසු පාර්ලිමේන්තු නියෝජිතයන් කවුරුන්ද යන්න මත පළ කරමින් සිටි බවක් ද දක්නට ලැබුණේය. ඒ පළ කළ මතවලට බෙහෙවින් සමාන හා සමගාමී පත් කිරීම් සිදුවූ බැව් මහජනතාවගෙන් ම අසන්නට ලැබීම එක්තරා අන්දමකට කාලයකට පසු අසන්නට ලැබුණු සුබවාදී අදහසක් විය. කෙසේ හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අදාළ පත්කිරීම් යම් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදුකරන්නට කටයුතු යොදා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒවායෙහි වගකීම් පැහැර හැරිය නොහැකි තත්ත්වයක තිබෙන බවද විද්‍යමානය.
මෙවර අමාත්‍යාංශ බෙදීමේ පැහැදිලි ක්‍රමවේදයක් හා වෙනසක් තිබේ. වෙනදා කිසිලෙසකත් අවධානයට පාත්‍ර නොවන අප සුළු යැයි අවතක්සේරු කරන බොහෝ කාරණා වචනාර්ථය දක්වාම පැහැදිලි කරමින් ඇමතිවරුන්ට පවරා දී තිබේ. රා, ගම්මිරිස්, මිරිස්, අත්යන්ත්‍ර, බුලත්, උක්, හකුරු වැනි දෑ පවා වෙනම ගෙන අමාත්‍යාංශ යටතට පත් කර තිබේ. අපනයන බෝග, අලි මිනිස් ගැටුම වැනි මෙතෙක් අදාළ අවස්ථාවේ පමණක් කතාබහට ලක්වෙන, නමුත් සදාකාලික ප්‍රශ්න ගැන රජයේ අවධානය යොමු වී තිබේ. මේ සාධනීය ප්රවේශයකි; එළැඹුමකි. විපක්ෂය නම් නානා ප්‍රකාර කතා කියන්නේය. ඔවුන් දේශීය ආර්ථිකයක්, සංස්කෘතියක් ගැන අබැටකුදු නොදන්නා, හා විශ්වාසයක් නැතිව කියූ කෙරූ දෑ නිසා සිදුවූ ව්‍යසනයට පසුගිය කාලය පුරා අපි මුහුණ දුන්නෙමු. එනිසා දේශීය සංස්කෘතියක සිහිනය අපට සිහිනයක්ම නොවී යථාර්ථයක් වීමට යන මේ ගමනට ජනතාව ලෙස අප ආශීර්වාද කිරීමට පෙළ ගැසිය යුතුව තිබේ. දේශීය නිෂ්පාදන ක්ෂේත්රය පණ ගැන්වීමට අව්‍යාජ වැඩපිළිවලකට රජය අවතීර්ණ වන බවට ලැබුණු පළමු සංඥාව ගැන අප සතුටු විය යුත්තේ ඒ නිසාය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් අරමුණු කරා එකින් එක එළැඹෙමින් රට සෞභාග්‍ය කරා ගෙන යෑමට රජය දරන ප්රයත්නයට අතිමහත් බහුතරය තම ඉහළම ප්‍රසාදය ලබා දුන්නේය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂයන් කළ මෙහෙවර ඇගයුම් කටයුතුය. ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ නොසිට ආණ්ඩු හැදීමේ පමණක් නොව ශක්තිමත් ආණ්ඩු හැදීමේ මූලෝපායික සාධකයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුය. ඒ බැසිල් රාජපක්ෂ සාධකය ය. ඔහු ඡන්දය ඉල්ලන ක්‍රමවේදයට, ක්‍රියාවලියට නොබැස ජනාධිපතිවරණය හා මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම බාර ගත්තේය. ඊට අදාළව බැසිල් රාජපක්ෂ සිදු කළ ග්‍රාම සේවා වසමේ සිට ජාතික මට්ටම දක්වා වූ මැතිවරණ ජාලගත සංවිධාන ක්‍රියාදාමය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට කිසිසේත් තේරුම් ගත නොහැකි තරම් ජනතාවාදී විය. ජනතාව බලමුළු ගැන්වීම ලේසි පහසුවෙන් කළ හැක්කක් නොවේ. රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එකක් වන එජාපය බිමටම හාන්සි වූයේ එකී පක්ෂයේ වූ අදූරදර්ශී නායකත්වය මේ මහ පොළොවේ අවැසිතා තේරුම් නොගත් නිසාය. ජනතා විමුක්ති පෙරමුණට තමන්ට පැවැති 3%ක ඡන්ද ප්‍රතිශතයවත් ලැබුණේ නැත. මේ නිසා දේශපාලන අස්ථාවරත්වයකින් තොරව, එහෙන් මෙහෙන් එල්ලා ගත් කෑලිවල සරණ නොපතමින් ශක්තිමත් ස්ථාවර රජයක් යටතේ රට සංවර්ධනය කරා ගෙන යෑමේ විශිෂ්ට වරමක් රජයට ලැබී තිබේ. එනිසා මේ ඇමැතිවරුන් ඉදිරියේ ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම යථාවත් කිරීමට පෙළ ගැසීම පමණී.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සුදුස්සාට සුදුසු තැන දෙන්නට ගත් තීරණය අබියස රටේ පැහැබර අනාගතය දිස් වේ. වසා දැමූ තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළෙඳපලට නිකුත් වූයේ මහ මැතිවරණය පැවැත්වෙන්නටත් කලිනි. සීනි කම්හලද යළි ඇරඹීමට රජය පියවර ගෙන අවසන්ය. බතික් කර්මාන්තය දියුණු කිරීමේ අභිලාෂය ජනාධිපතිවරයා පැවසූයේ ජනාධිපතිවරණය කාලේ සිටය. මේවා සිහින නොවී යථාර්ථයක් කිරීමේ බලවේගය දැන් ඇත්තේ නව අමාත්‍ය ධූර ලැබූවන් අතය. රජය පවසන පරිද්දෙන් අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, ක්‍රීඩා ආදී සෑම ක්ෂේත්රයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. මින්පෙර මෙතරම් අවධානයෙන් සියලු කරුණු සලකා බලා අමාත්‍ය මණ්ඩලයක් පත් කළ ඉතිහාසයක් අපට නැත. දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ගම් දනව් අස්වද්දන්නටත්, නිෂ්පාදන ආර්ථිකයක් ග්‍රාමීය මට්ටමින් ඇති කරන්නටත්, ගොවියා යළි රජ කරවන්නටත් මේ කාලය පැමිණ ඇති බැව් අප නිබයව කියන්නේ ඒ නිසාය. වරප්‍රසාද වෙනුවට වැඩ කරන, කළ යුතු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ජනපතිතුමන්ට හා අගමැතිතුමන්ට ජනතාව කෘතඥ වෙන බැව් නිරනුමානය.