මවා­පෑම් හා රඟ­පෑම්! | සිළුමිණ

මවා­පෑම් හා රඟ­පෑම්!

ලංකාව මේ අර්බු­දය කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මේදී සාධ­නීය පාර්ශ්ව­යෙන් ඉදි­රි­යෙන්ම සිටින්නේ යැයි ලොවම පිළි­ගෙන තිබේ. දෙවැනි කොවිඩ් 19 රැල්ලක් ගැන කතා කර­මින් අනිසි බියක් මව­න්නට තත­නන ගෝනි­බි­ල්ලන් නොදන්නා කරුණ වන්නේ අපට තව­මත් පළමු රැල්ල­ක්වත් ඇවිත් නැති බවය. රැල්ලක් යන්නට ඔබට උදා­හ­රණ අවැසි නම් මේ මොහොතේ ඇමෙ­රි­කාව දෙස හෝ ඉන්දි­යාව දෙස බැලිය හැකිය. ඒවායේ පාල­නය කර­ගත නොහැකි ලෙසින් කොවිඩ් 19 පැතිර යයි. අප කොවිඩ් 19 ගැන දැන­ගත් වහා කළ මැඬ පැවැ­ත්වීම් හා පාල­නය කිරීම් විධි­මත්ව කළ නිසා අපට ගසා­ගෙන යන රැල්ලක් ආවේ නැත. නාය­ක­ත්වය යන්න අර්බුද කළ­ම­නා­ක­ර­ණ­යේදී වඩාත් සවි­ඥා­නි­කව වටහා ගත යුත්තක් නම්; අපේ රට තරම් ඊට වෙනත් උදා­හ­රණ ඇත්තේ නැත. රාජ්‍ය නාය­ක­ත්වට විප­ක්ෂය පැල් බැඳ­ගෙන විවිධ චෝදනා නඟද්දී අව­ලාද කර­න්නන්ට කෑ ගස­න්නන්ට ඕනෑ තරම් කෑ ගස­න්නට දී වැඩ කර පෙන්වූ­යේය. ඔවුන් පාර්ලි­මේ­න්තුව කැඳ­වන්නේ කෙසේ­දැයි මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කර­මින් සිටි­යදී ජනා­ධි­ප­ති­ව­රයා වසං­ගත අර්බූ­දය මනාව කළ­ම­නා­ක­ර­ණය කර ජන­තා­වට සහන සැල­සු‍වේය; ඒ භෞතික සහන පම­ණක් නොවේ. විශ්වා­සය නැමැති ආධ්‍යා­ත්මික සහ­න­යද සම­ඟය. වචන සහ ක්‍රියාව අතර වන පර­ත­රය මෙදා තරම් කව­ර­දා­වත් ජන­තාව අත්ද­කි­න්නට, අත්වි­ඳි­න්නට නැත.

විප­ක්ෂ­යට දැන් යළිත් මාතෘ­කා­වක් ලැබී තිබේ. දැන් දැන් පෙර කළ දෑ මතක නෑ සේ මේ මතු වූ පොකුර ගැන ඔවුහු කොරහේ කිඹුල්ලු දකිති. කොරෝනා පාල­නය කරන සැටිත්, පාල­නය කර රට සංව­ර්ධ­නය කරන සැටිත් සම­හරු වාග් චිත්‍ර නඟන්නේ පළිඟු මාළිගා මවා පාමිනි. අනා­ගත නාය­කයා එන්නට පරක්කු වෙන බැවින් ආර්යාව ලෙස මේ ස්ථාන­යට තමා පැමිණි බව පව­සන ආර්යාවෝ මෙන්ම, වෙළෙ­ඳ­සැලේ තමන්ගේ වාරය එන­තෙක් බිල ගෙවී­මට බලා සිටින සැබෑ නාය­ක­යන්ගේ බිරි­න්දෑ­ව­රුත් දකින කල; මවන සිහින මාළි­ගා­වල දිග පළල මැන ගන්නට සාමාන්‍ය මිනි­සුන්ට නොහැකි වන්නට ඉඩ නැත. කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන කඳ­වුර මුල් කර­ග­නි­මින් මතුවූ කොවිඩ් 19 රැල්ල රටේ මානව සම්ප­තට හෝ ආර්ථි­ක­යට අබැ­ටක් තරම් හානි වන්නට නොදී තමා පාල­නය කර­ගන්නා බව ජනා­ධි­ප­ති­ව­රයා රටම ඉදි­රියේ පැව­සුවේ තමන්ගේ ක්‍රියා කලා­පය කෙරෙහි වන අති­ම­හත් විශ්වා­ස­යෙනි. මේ වැනි අව­ස්ථා­වක ජන­තා­වගේ මනස විශ්වා­ස­යෙන් සුව­පත් කිරීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යකි. තමන් මුඛ ආව­රණ පල­ඳින්නේ නැතැයි වහසි බස් දෙඩූ ලෝක බල­වතා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කොරෝනා අබි­යස දුර්මු­ඛව මුඛ ආව­රණ පැලඳ සිටින සේයාරූ සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙ­වින් සංස­ර­ණය විණි. ප්‍රාන්ත ආණ්ඩු­කා­ර­යාගේ සිට ලෝකයේ වෙනත් ජන­නා­ය­ක­යන් සමඟ පවා කොරෝනා නිසා ආර­වුල් ඇති කර­ගත් ට්‍රම්ප් වැනි නාය­ක­යන් ඉදි­රියේ අප ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සැල­සුම් සහ­ගත බව ආද­ර්ශ­යකි. පළමු පොකුර මතු වූ සැණින් සෞඛ්‍ය අංශය සමඟ දැඩි විශ්වා­ස­ය­කින් හා ක්‍රම­වත්ව මෙකී ලෝක අර්බුද තත්ත්වය පවා මැන­වින් පාල­නය කිරී­මම, මේ දෙවැනි පොකුර සම්බ­න්ධ­යෙන්ද අපට ආද­ර්ශ­යකි. එනිසා ජන­තා­වට බිය වන්නට අබැ­ටක හෝ දෙයක් නැත.

පළ­මුව රෝග ව්‍යාප්තිය හඳු­නා­ග­නි­මින් ආශ්‍රි­ත­යන් හැකි ඉක්ම­නින් සොයා නිරෝ­ධා­ය­නය කිරී­මෙන් රෝග ව්‍යාප්තිය පාල­නය කර ගැනී­මට රජය සමත්වී තිබේ. එකී නිරෝ­ධා­යන ක්‍රියා­ව­ලිය රටේ ආර්ථි­ක­යට හානි­යක් නොවන පරි­ද්දෙන් සක්‍රිය නිෂ්පා­දන ආර්ථි­ක­යක් ක්‍රියා­වට නංව­මින් ක්‍රියා­ත්මක කළ යුතුව තිබේ. එනි­සාම බොහෝ අය කටට එන පරි­ද්දෙන් ලොක්ඩ­වුන් කිරී­මක් ගැන කතා කළත්, එසේ ලොක්ඩ­වුන් කිරී­මෙන් වන ආර්ථික කඩා­වැ­ටීම ගැන එසේ කියන අය සවි­ඥා­නික නැත. එනිසා මේ කරුණු දෙකම එකි­නෙ­කට නොදැ­වැනි සේ සංතු­ල­නය කළ යුතුව තිබේ. එසේ කොරෝ­නා­වට මුහුණ දෙන ගමන්ම බිඳ වැටුණු ආර්ථි­කයේ බිය­කරු සෙව­ණැ­ලි­ව­ලින් ද ගැල­වී­මට සිදුව ඇත. මේ සියල්ල ක්‍රම­වත්ව හා විධි­මත්ව කර ගන්නේ නම් මොන වසං­ග­තය ආවත් කිසි­වකු හෝ බිය විය යුතු නැත.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන කඳ­වුරේ සිද්ධිය සම්පූ­ර්ණ­යෙන්ම අහ­ම්බ­යකි. එය කිසි­වකු හෝ හිතා මතා කරන ලද්දක් නොවන අත­රම; පරි­ස්සම් නොවීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස බිහි වූවකි. එනි­සාම අප සියලු දෙනාගේ වග­කීම විය යුත්තේ ඇතිව තිබෙන අව­දා­නම් තත්ත්වය තව­දු­ර­ටත් ව්‍යාප්ත වීම අවම කර ගැනී­මය. ලොව කොවිඩ් වසං­ග­ත­යට මුහුණ දුන් රට­වල් අතර එකී අව­දා­නම නිසි­ ප­රිදි කළ­ම­නා­ක­ර­ණය කර­ගත් රටක් ලෙස මෙය අපට අප­හසු නැත. ආණ්ඩුවේ නිවැ­රදි දැක්ම මෙන්ම පොදු ජන­තා­වගේ අසී­මිත කැප­වීම හා වග­කී­මද මෙහිදී අත්‍ය­වශ්‍ය කාරණා වෙයි. මෙවර පෙර පොකුර හමුවූ විට පරි­ස්සම් වූවා­ටත් වඩා පරි­ස්සම් විය යුතු යැයි අප කියන්නේ ඒ නිසාය. මේ වන­විට සංච­ර­ණ­යට සීමා පනවා නැතත්, අන­වශ්‍ය ගමන් බිමන් වලින් වැළ­කී­ම­ටත්, සෞඛ්‍ය උප­දෙස් නොපි­රි­හෙළා ඉටු කිරී­ම­ටත් වග­බලා ගැනීම අප සැම­දෙ­නාගේ යුතු­ක­මකි.

රටක් ලෙස සාමාන්‍ය තත්ත්ව­යට පත්වූ විගස සිදුවූ කොරෝ­නාවේ නැවත නැගි­ටීම අපට පසක් කරන්නේ එය පාල­නය කළ හැකි වුවත් සම්පූ­ර්ණ­යෙන්ම තුරන් කිරීම අප­හසු බවය. ජර්ම­නිය, දකුණු කොරි­යාව එසේ දෙවැනි මතු­වී­මක් පෙන්නුම් කළ රට­වල්ය. එනිසා මේ ලොව වෙසෙන සකල මනුෂ්‍ය වර්ග­යා­ටම මේ වයි­රස බල­පෑම හේතු­වෙන් මුව ආව­රණ දමා, නිතර දෑත් සෝදා, මීටරේ දුර ආරක්ෂා කර ගනි­මින් සිටී­මට සිදු­වීම නොවැ­ළැ­ක්විය හැකිය. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂයන් සමඟ පැවති පුවත්පත් කතුවරු හමුවේදී ඵතුමා පැවසුවේ දෙවැනි රැල්ලක් ගැන කිසිම බියක් ඇති නොකර ගත යුතු බවයි.

මෙරට දැනට ක්‍රියා­ත්මක කරන්නේ ද එවන් වැඩ­පි­ළි­ව­ලකි. ඒ, රටේ මෙන්ම අපේද යහ­පත වෙනු­වෙනි. එනම් වයි­ර­සය සමඟ ජීවත් වීමේ ක්‍රමය අප සොයා ගත යුතුව ඇත. කොරෝ­නා­වට අත­වැ­නීම නවතා මඟ හැරීම කරන්න යැයි ඔබට අප උදක්ම කියන්නේ ඒ නිසාය.

සෞඛ්‍ය නිර්දේශ අකු­ර­ටම පිළි­ප­දි­මින් ඡන්දය පැවැ­ත්වී­මට සියල්ල සූදා­නම් කෙරෙ­මින් තිබේ. නිරෝ­ධා­යන ක්‍රියා­ව­ලි­යට අනු­ගත කර සිටි­න්නන්ට ජංගම ඡන්ද දැමීමේ ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරීමේ සාක­ච්ඡා­වක් මේ ලියන මොහො­තේත් පැවැ­ත්වෙ­මින් ඇත. මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා පව­සන පරි­ද්දෙන් සියලු සෞඛ්‍ය ආර­ක්ෂිත ක්‍රම මුළු­ම­නින්ම ඡන්ද පොළෙහි ක්‍රියා­ත්ම­කය. එනිසා ඡන්දය දැමී­මට පැමි­ණී­මට අනිසි බියක් ඇති කර­ගත යුතු නැත. ආණ්ඩුව අප­හ­සු­තා­වට පත් කිරීමේ අභි­ලා­ෂ­යෙන් සම­හරු අසත්‍ය ප්‍රකාශ ප්‍රචා­රය කරති. එයින් අප­හ­සු­තා­වට පත්වන්නේ රට­වැ­සි­යන් ලෙස අප සැවො­මය. එනිසා මේ වන­විට වයි­ර­ස­යෙන් මෙන්ම වයි­ර­ස­ය­ටත් වඩා වැඩි වේග­යෙන් පැතිර යන බොරු තොර­තු­රු­ව­ලින්ද ආරක්ෂා වීමට ජන­තාව සවි­ඥා­නික විය යුතුව ඇත.

Comments