යුතුකමේ අනාගතය වෙනුවෙන් පෙළගැසෙමු | සිළුමිණ

යුතුකමේ අනාගතය වෙනුවෙන් පෙළගැසෙමු

ලෙකින් අනාගතයක් ගැන බලාපොරොත්තුවේ සේයාවක් මතු වෙමින් තිබේ. මෙතෙක් ගෙවී ගිය අතීතය ගැන කම්පාවෙන්, වත්මන ගැන තුෂ්නිම්භූතව, අනාගතය ගැන බියෙන් අපි කල් ගෙව්වෙමු. එය කෙතරම් පීඩාකාරී සිතිවිල්ලක්ද යන්න පසුගිය කාලය පුරා අපට ඕනෑවටත් වඩා දැනුණේය. එනිසාම මේ ගතවෙමින් පවතින කාලයේ සිදුවන බොහෝ දෑ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් සිතේ ජනිත කර ඇත.

මේ අපූරු කියමන හමුවන්නේ හද්දා නොදියුණු අප්‍රිකාවේ මසායි මාරා නම් ගෝත්‍රයකිනි. එහෙත් එහි සියවසක අර්ථයක් තිබේ.

“ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දසකයකට නම් ගස් සිටුවන්න‍. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න.”

මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ජනතාවට තමන්ගේ ආර්ථිකයක්, දැනුමක් හා සවිඥානිකත්වයක් ඇති කිරීමේ ක්‍රමවේදයකි. එනම් අද නොව හෙට සම්පාදනය කිරීමකි. හෙටක් නැති අදක් ගෙවමින් සිටි අපට බලාපොරොත්තුවේ අරුණලු උදා වී තිබේ. පිටරට ගොස් ඉගෙනීම හෝ රැකියාව කිරීම ජීවිතයේ පරම සිහිනයක් කරගත් බොහොමයකට අද තම දේශයේ අගය වැටහී තිබේ.

හතර වටේ මුහුද තිබෙන රටක ලුණු කැටයත් ගෙන්වන්නේ පිටරටින් නම් අපි අපේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙතෙක් කළේ කුමක්දැයි ජනාධිපතිවරයා නැඟූ ප්‍රශ්නයට මුහුණට මුහුණ බලා ගන්නවා ඇරෙන්නට කිසිවකුට කියන්නට දෙයක් තිබුණේ නැත. එනිසාම දේශීය ආර්ථිකයක් ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉදිරි මාස කිහිපය ඇතුළත කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කිරීමට පියවර ගන්නැයි දේශීය කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා; අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමෙන් ඔවුන්ගේ වෙළෙඳපොල ශක්තිමත් කරන බවද පොරොන්දු විය. කර්මාන්ත කරුවන්ගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණය පෙළ ගස්වන බවද; තනි අංක පොලී අනුපාතිකයකට බැංකු ණය සම්පාදනය කරන බව ද එකී කර්මාන්තකරුවන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මේ පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ පරිදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැංවීම අරමුණු කර ගනිමිනි.

මෙතෙක් කලකට බොහෝ දෙනකුට කරගත නොහැකිව තිබූ බොහෝ දේ දැන් ප්‍රශ්න කිරීමකින් තොරවම සිදු වේ. බන්ධනාගාර පාතාලය හා ලීසිං පාතාලය මර්ධනය කිරීම එවැන්නකි. බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ දැඩි අවධානයක් යොමු වන බවක් පෙනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය පළමු වැනිදා බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශන කරනු පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ආරක්ෂක ලේකම්, හමුදාපති, පොලිස්පති ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී දීර්ඝ සාකච්ඡාවක්ද පැවැත්විණි. එම සාකච්ඡාවේදී පාතාල ක්‍රියාකාරිකයන් හා අපරාධකරුවන්ගෙ මෙකී සෙල්ලම් නතර කිරීමට අවැසි බොහෝ තීන්දු තීරණ ගත් බවක් වාර්තා විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය සොයා බලා තිබෙන අඩුපාඩු ඉවත්කර විධිමත් පරිපාලනයක් ගෙන යෑම වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණි.

ඒ අනුව ජනපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ඉතිහාසයේ කවර පාලකයකුවත් සිදු නොකළ ආකාරයෙන් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම අපරාධ ක්‍රියා මෙහෙයවන බන්ධනාගාර රැඳවියන්ට එරෙහිව ගන්නා ඉදිරි පියවර පිළිබඳව මේ වන විට රටම බලා සිටී. ඒ අනුව මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධ කරන්නට, ඉදිරියේදී බන්ධනාගාර රැඳෙවියන්ට හෝ නිලධාරීන්ට ඉඩක් ලැබෙන්නේ නැත. මේවා මෙතෙක් කල් වැළැක්විය හෝ පාලනය කළ නොහැකි දේවල් සේ අතරහැර දමා තිබූ ඒවාය. මේ අකාර්යක්ෂම හා නීතියේ සිදුරුවලින් රිංගා කළ බොහෝ දෑ වලට වැට බැඳෙමින් පවතී. රාජ්‍ය සේවය කාර්යක්ෂම හා ඵලදායී වන්නේ නම් රටක අනාගතයේ අරුණලු පැහැදිලි වන්නේ ය.

මේ මැතිවරණ සමයේ තමාගේ මනාප ගොඩ වැඩිකර ගැනීමට දේශපාලන අපේක්ෂකයෝ විවිධ දේ කියති; කරති. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පසුගිය 21 වැනිදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් කළ කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලයට ලක්වූයේය. මාළුවා නහින්නේත් කට හින්දාය කියන ගමේ කියමන සිහිපත් කරමින් ඒ ප්‍රකාශයෙන් මුළු රටම කැලඹී ගියේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ සියයට 5ක ඡන්ද ප්‍රතිශතය සිය ප්‍රතිවාදී පක්ෂයේ අපේක්ෂකයාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් කටයුතු කර තිබෙන බවත් අගරදගුරුතුමා එසේ දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවත්ය. හරින් ප්‍රනාන්දුගේ එම ප්‍රකාශය කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව බහුතර ජනතාවගේත් දේශපාලඥයන්ගේත් දැඩි අප්‍රසාදයට ලක්විය. පාස්කු බෝම්භ සිද්ධියේදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් නොසිටින්නට මේ රට ලේ විලක් නොව රුධිර සාගරයක් වන්නට ඉඩ තිබුණේය. සිද්ධිය හෙළිකරන්න යැයි කීවා මිස එතුමන් දේශපාලනයක් ගැන කතා කළේ නැත. එය මානව ප්‍රේමය මිස දේශපාලනයක් නොවේ. මේ වැනි ආගමට ජාතියට ගරු කරන්නටවත් නොදන්නා පිරිසක් සිටින පක්ෂයකින් විය නොහැක්කේ කුමක්ද යන්න ජනතාව දනිති. එනිසාම තම බලය පාවිච්චි කරන්නට ලැබෙන මුල් අවස්ථාවේම එය නිසි පරිදි පාවිච්චි කරන්නට ජනතාව පෙළ ගැසී බලා සිටිති.

මේ අතර මැතිවරණයකදී අපට අසන්නට නොලැබෙන තරම් ආදරණීය ඉල්ලීමක් අගමැතිවරයා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද අපේක්ෂකයන්ට සිය පක්ෂයේ අපේක්ෂෙකයන් සමඟ මනාප පොරයකට නොයන ලෙස කළ ඉල්ලීමයි. සාමූහිකව, එක්ව දිනනවා මිස එකිනෙකා පරයා තරඟයක් අනවශ්‍ය බැව් පැවසීමම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය ලකුණකි; මෙතෙක් නොතිබූ සාමුහිකත්වයකි. සහෝදරත්වයෙන් හා ආදරයෙන් රට ගොඩනැඟීමට සිය පැවැත්මෙන්ම ආදර්ශය දුන් මහින්ද රාජපක්ෂයන් මේ මැතිවරණය පොර පිටියක් නොකිරීමට ගත් ඒ උත්සාහය දෙස් විදෙස් ඇගයුමට ලක්විණි.

සෑම ගෙමිදුලක්ම වගාවෙන් ස්වයංපෝෂිත වනු පෙනේ. දේශීය ආර්ථිකයක පහස ලබන්නට සැවොම පෙළ ගැසෙමින් සිටිති. ආදරය, සහෝදරත්වය හා එකිනෙකාට වන ගෞරවය සැමතින් බෝ වෙනු පෙනේ. සෞභාග්‍යයේ අරුණලු මතින් නව බලාපොරොත්තු දසතින් නැඟේ. තිස්වසරක යුද්ධය අවසන් කොට, කොරෝනාවෙන් අඩපණ වන්නට නොදී රට රැකගත් නායකයෝ ඔබ ඉදිරියේ රටේ සෞභාග්‍ය ගොඩනඟන්නට පෙළ ගැසී සිටිති. මැතිවරණයට ඇත්තේ තව දින තිස්හතක් පමණී. මේ ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්නට පෙළ ගැසිය යුතු මොහොතයි! එවිට පාලකයන් ඔවුන්ගේ යුතුකම ඉටුකරනු ඇත.

Comments