
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ජූලි 31 වැනි දා නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.
මෙම නඩුව පවරා ඇත්තේ, විල්පත්තු අභය භූමිය ආශ්‍රිත කල්ලාරු, මරිච්චිකට්ටුව ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් අවසරයෙන් එළිපෙහෙළි කිරීම ඇතුළු චෝදනා යටතේය.
පරිසර යුක්ති කේන්ද්‍රය පවරා ඇති එම නඩුව, ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවේ ය.
නඩුව පවරා තිබුණේ යුද ගැටුම්වලින් අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු අභය භූමිය ආශ්‍රිත ප‍්‍රදේශවල සිදු කළ අනවසර වන විනාශය හේතුවෙන් එම අභය භූමිය ප්‍රමුඛ පරිවාර අභය භූමිවල ජෛව විවිධත්වයට දැඩි හානියක් සිදුව ඇති බවත් එයින් අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවත් පෙන්වා දෙමිනි.