
අප සිටින්නේ වංකගිරියක සිරවීය. එක් පසෙකින් තවමත් මුළුමනින්ම මැඬ පැවැත්විය නොහැකි වූ කොරෝනාවය; අනෙක් පසින් මාස දෙකකටත් වැඩි කාලයක් පුරා වසා හිරකර තිබූ ආර්ථිකය සක්‍රිය කිරීමය.
යුද්ධය නිමවී වසර එකොළහක් ගෙවී යමින් තිබේ. ඒ එකොළොස් වසර පුරාම අප බලා සිටියේ ආර්ථික වර්ධන වේගය හා පුද්ගල සංවර්ධනය ඉහළ තලයකට එසවෙන තෙක්ය. එහෙත් සක්‍රිය ලෙස ආර්ථික වර්ධනයක් සිදුවීමට මඟ හරස් කරන ප්‍රධාන බාධක දෙකකට අපි පසුගිය කාලයේ මුහුණ දුන්නෙමු. ඒ 'යහපාලනයේ' සිදුවූ කුප්‍රකට බැඳුම්කර මගඩිය හා 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. මෙනිසාම 'යහපාලනයේ' ආර්ථික වේගය 2.3 කින් පහත වැටුණි.
අද කොරෝනාව නිසා මේ තිබුණු ආර්ථිකයත් කබලෙන් ලිපට වැටී තිබේ; නැත්නම් පැදුරෙන් බිමට තල්ලු වී ඇත. මේ තත්ත්වය අපට පමණක් පොදු වූවක් නොවේ. ලෝක ආර්ථිකයද මෙසේමය. කොරෝනා නිසා ලෝකයේ මිලියන 60කට අධික පිරිසක් අන්ත දිළිඳු බවට පත් වෙතැයි ලෝක බැංකුව කියයි. පුද්ගලයකුගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.90කට වඩා අඩුවීම අන්ත දිළිඳු බවේ මිනුම් දඬුව ලෙස ලෝක බැංකුව විග්‍රහ කරයි. ඒ අනුව මේ මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 5% කින් පමණ පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසයි.
දේශීය ආර්ථිකයේ පදනම බිඳ වැටෙන්නේ අද ඊයෙක නොවේ. එහෙත් වර්ධන වේගය වැඩිවීමට ඔන්න මෙන්න තියා මේ ස්වභාවික උවදුර නිසා බිඳ වැටීම කනගාටුදායකය. 2020 දෙවැනි හා තුන්වැනි කාර්තුවල ආර්ථික වර්ධන වේගය සෘණ වීමට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් මහ බැංකුව පසුගියදා නිකුත් කළ 2019 වසරේ නවතම බැංකු වාර්තාවෙන් කියා තිබුණේ මේ වසරේ 1.5ක ආර්ථික වර්ධනයක් වනු ඇති බවයි.
එහෙත් කොරෝනාව එසේ වීමට ඉඩ දුන්නේ නැත. බටහිර රටවල් වැඩිහිටි ජනගහණය පාලනය කිරීමට කොවිඩ් 19 ආශීර්වාදයක් යැයි නොකියා කියන වාතාවරණයක; අප වැනි ආසියාතික රටවල් උත්සාහ කරනුයේ කෙසේ හෝ මානව සම්පත රැක ගැනීමට ය. එනිසාම අපේ ශ්‍රම සම්පත රැකුණු බැවින් ඉදිරියේ ඇති ආර්ථික විපත අවම කරගැනීමට අපට හැකිවනු ඇත. කෙසේ කොහොම කීවද මේ වසරේ බරපතළ ආර්ථික පසුබෑමකට ලක්වීමට නම් සිදුවනු ඒකාන්තය. එබැවින් අප සිතිය යුත්තේ එය අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳවය. වයිරසයේ බලපෑම අඩුවන තරමට ආර්ථික අවපාතය අඩුවනු ඇත. එනිසා මේ කරගෙන යන සාර්ථක ක්‍රමවේදය දිගින් දිගටම පවත්වා ගෙන වයිරසය පැතිරීමේ අවධානමෙන් අප මිදෙන්නේ නම් ආර්ථිකය ගොඩගැනීම අසීරු නොවනු ඇත.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%- 5% ත් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙනි. පාස්කු ප්‍රහාරයට පෙර 2019 වසරේ දිනක් ඇතුළත පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය අගය 7,600ක් පමණ වූ අතර, ප්‍රහාරයෙන් පසු මාස දෙකක කාලයේ එය 1,700 දක්වා අඩු විය. 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 18% කින් අඩු වී තිබේ. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් මාස 7ක් ඉක්ම ගිය පසු සංචාරක කර්මාන්තය මුළුමනින්ම පාහේ යථා තත්ත්වයට පත් වූ බව මහබැංකු වාර්තාව පෙන්වා දෙයි. එහෙත් කොවිඩ් 19 නිසා එය නැවත දැඩි අභියෝගයකට ලක් ව තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තුවලට අනුව සංචාරක ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බළකායෙන් 4.6%කි.
එහෙත් කළු වළා අතරින් රිදී ඉරක් පායා තිබේ. පසුගියදා ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව අපූරු වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වන ආකාරයට ලෝකයේ සුපිරි පන්තියේ සංචාරකයන් මෙහෙයවන සමාගමක් වන බ්ලැක් ටොමැටෝ සමාගම විසින් කෝවිඩ් වසංගතයෙන් පසු 2020 වසර අවසානයේ සහ 2021 වසරේ ලෝකයේ ඉහළ පෙළේ සුපිරි සංචාරකයන් අතර නිවාඩු ගතකිරීම සඳහා ආකර්ෂණීයම වෙරළ තීර සහිත රටවල් අතරට ශ්‍රී ලංකාවද නම් කර ඇත. සුඛෝපභෝගී නිවාඩු සොයන යුරෝපයේ සංචාරකයන් ලොක්ඩවුන් ආතතිය නැතිකර ගැනීමට ඒ අනුව මෙරටට එනු ඇත. බ්ලැක් ටොමැටෝ සංචාරක සමාගමේ හිමිකරු ටොම් මර්චනාට් ශ්‍රී ලංකාව සංචාරකයන්ට විශේෂ අත්දැකීම් ලබා දෙන රටක් ලෙස නම් කිරීමම මේ වැනි මොහොතක අපට මහමෙරක් වටින්නේ ය.
දිනෙන් දින ක්‍රමයෙන් විවෘත වෙමින් පවතින රටේ සාමාන්‍ය පරිදි තවමත් ආර්ථික සංචරණය සිදු වන්නේ නැත. වෙනදා මෙන් තම වෙළෙඳ ආයතන විවෘත කළද එදිනෙදා අත්‍යවශ්‍ය දෑ මිස වෙනත් දෑ පාරිභෝගිකයන් මිලදී ගන්නේ නැත. එවැනි පසුබිමක වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවකයන්ට වැඩ රහිතව පඩි ගෙවීමද රජයට දැරිය නොහැකි පාඩුවකි. ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර කළ ඉල්ලීම බොහෝ පාර්ශ්ව වැරදියට ගත්තද එය මේ මොහොතේ මේ අර්බුදයෙන් ගොඩඒමට ඉතා උචිත යෝජනාවකි. සියල්ලන් එක්වුවහොත් මිස අපට මේ අර්බුදයෙන් ගොඩ ඒමක් නැත.
දේශීය ආර්ථික බෝග නිෂ්පාදනය, දේශීය කුළුබඩු, ඇගලුම්, ධීවර ආදී කර්මාන්ත වර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබේ. එය රටක් ලෙස නිෂ්පාදන ආර්ථිකයට පණ පෙවීමට හොඳ උත්තේජයකයකි. අරුන්දතී රෝයි කියන්නා සේම කොරෝනා අපට නව ලොවක ද්වාරය විය හැකිය.