
කොරෝනා වයිරසය ලෝක ව්‍යාප්ත වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් ඇධනොම් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිට කොරෝනා වයිරසයෙන් ආසාදිත සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.
චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි මේ වසංගතය මේ වන විට රටවල් 127කට අධික ප්‍රමාණයකට පැතිරී තිබේ. අපේ රටට අවදානමක් නැතැයි පාරම්බාමින් සිටි අපට දැන් ඕනෑවටත් වඩා ඒ ගැන සිතන්න සිදුව ඇත. එබැවින් තත්ත්වය සුබදායක නොවන බවට තර්කයක් නැත. බුද්ධිමත්ව හා ඉවසීමෙන් යුතුව මේ අනතුරට මුහුණ දිය යුතුය. බොහෝ දෙනකුට මේ අනතුරෙහි බරපතළකමට වඩා ඇත්තේ බඩු ගොඩගසාගැනීමේ උනන්දුවකි. සුපිරි වෙළෙඳසල් ඇතුළු එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ විකුණන කඩ ඉදිරියේ දිගු පෝලිම්ය. මරණයක් වළක්වාගැනීමට දත කන මොහොතක කෑමට බඩු එකතු කරන මිනිසුන් දැකීම විහිළුවකි. මේ තත්ත්වයෙහි බරපතළකම වටහාගෙන නැතැයි අප කියන්නේ ඒ නිසාය.
රටක් ලෙස මේ තත්ත්වයට මුහුණ දෙනවා විනා වෙනත් පටු අරමුණු ගැන සිතීම මේ මොහොතට ඔබින්නේ නැත. අපට ඇත්තේ කෝටි දෙකකට වැඩි ජනතාවකගේ ඉරණම පිළිබඳ ගැටලුවකි. ඒනිසා අවදානමට ඉඩ නොදී මේ ගැටලුවට බුද්ධිමත්ව මුහුණ දීම අප ඉදිරියේ ඇති අභියෝගයයි. පොදු ප්‍රවාහන සේවාවල දිනපතා වැඩට එන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සිටින රටක් ලෙස අප මේ ගැටලුවට එකාවන්ව මුහුණ දිය යුතුව ඇත.
පළමුව කළ යුත්තේ වයිරසය රට තුළට ඒම වැළැක්වීමය. එහෙත් දැන් එය සිදුව තිබේ. දෙවනුව කළ යුත්තේ වයිරසය පැතිර යෑම වැළැක්වීමය. තෙවනුව කළ යුත්තේ රෝගීන් සුවපත් කිරීමය. මේ සියලු කාර්ය සඳහා ජනතා සහාය අත්‍යවශ්‍යය. සාමාන්‍ය ජනතාවට පවා වයිරසය පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුව ඇත. මේ වැනි අවස්ථාවක අවස්ථාවාදී නොවී එකාවන්ව රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දීම අත්‍යවශ්‍යය. හැඟීම්වලට හා ආවේගවලට යට වීම යනු මේ වයිරසයට ආරාධනා කිරීමකි.
කෝවිඩ් 19 මාරාන්තික වසංගතය හමුවේ ලංකාව මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරය පැසසුම් සහගතය. වූහාන්වල සිට ශ්‍රී ලංකාවට ගෙන්වූ දරුවන් නිරෝධායනයෙන් පසු නිවෙස්වල ගියේ ආණ්ඩුවටත්, යුද හමුදාවටත් පින් දෙමිනි. වයිරසය වැලඳුණු චීන කාන්තාව යළි චීනය බලා ගියේ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු නිලධාරීන්ටත්, රටටත් ආශීර්වාද කරමිනි. එකී නිලධාරීන්ද ඒ කාන්තාවට වෛද්‍ය ප්‍රතිකාර කළේ කිසිදු මැසිවිලි නැඟීමකින් තොරවය. අප ජාතියක් ලෙස; අසරණ වූ කිසිවකු තනි කර නැති බව කට පුරා කියන්නට මේ හේතු ප්රමාණවත්ය.
එබඳු මිනිසුන් සිටි රටක ජනයා එකවර මිනිසත් බව පසෙකලා ක්‍රියා කරන්නට පටන් ගත්තේ ඇයි දැයි යන්න අපට සැමට ගැටලුවකි. විදේශයන්හි සිට ලංකාවට එන සියලු ගුවන් මගීන් නිරෝධායනයට ලක් කළ යුතු බව රජය තීරණය කිරීම සමහර ශ්‍රී ලාංකිකයන්ට ඔරොත්තු දුන්නේ නැත. ඔවුහු ආත්මාර්ථකාමීව ඊට විරෝධය පෑහ. දින 14ක නිරෝධායන කාලයට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් එය අතිශයින් කනගාටුදායකය. දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වායු සමීකරණය කරන්නැයි ඉල්ලමින් විරෝධතාවක නිරත වූහ. ඔවුහු ලංකාවේ සිට දකුණු කොරියාවට රැකියා සඳහා පිටත්ව ගිය වෘත්තිකයෝය. තම මවුබිමට ආදරේ කිසිවෙක් මේ අනපේක්ෂිත උවදුරේදී පහසුකම් බලාපොරොත්තු නොවෙති. මුළු රටම එකාවන්ව කොරෝනා මැඬලීමට සටන් කරද්දී ආත්මාර්ථකාමි වීම නොහොබිනා බැව් නොසිතීම පාපයකි. එබැවින් රජය මඟින් මේ ගෙනයන ක්‍රියාමාර්ග සඳහා උපරිම සහාය දැක්වීම අප සැමගේ වගකීමකි. බහුතර ජනතාවගේ ආරක්ෂාව පතා සුළුතරයක් කැපවීම් කිරීම යන්න අප වැනි රටකට අරුම-පුදුම දෙයක් විය නොහැකිය.
දරුවන්ට වයිරසය ආසාදනය වීම වැළැක්වීමේ අරමුණින් පසුගිය 13 වැනිදා සිට පාසල් වසා දැමීමට රජය ගත් තීරණය කාලෝචිතය. මේ වන විට ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් විදේශගත කිරීමද නැවත දන්වන තුරු සීමා කිරීමට රජය තීරණය කර තිබේ. ඊට අමතරව ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ක්‍රමෝපාය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ඇරඹීමද කළ යුතුව තිබේ. ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බවට වන ජනතාවගේ බිය තුරන් කිරීමද වැදගත් වේ.
ඒ අතර ලෝක ප්‍රකට සංචාරක නියෝජිතායතනයක් වන වර්ජින් ඇට්ලන්ටික් පසුගියදා මේ දිනවල සංචාරයට සුදුසුම රටවල් ලෙස කැරිබියන් දූපත් සහ ශ්‍රී ලංකාව නම් කර තිබේ. වෙන මොහොතක මෙය සැමරිය යුතු තරම් වටිනා අවස්ථාවක වුවද මේ මොහොතේ නම් එය අවදානමට අත වැනීමකි. ඒ විදේශිකයන් නිසා කෝවිඩ් 19 පැතිරීමේ අවදානමක් ඇති බැවිනි.
කොරෝනා ව්‍යාප්තියෙන් ශ්‍රී ලාංකේය ආර්ථිකයට වන බලපෑම ගැන මේ වන විට මහ බැංකුව අනතුරු අඟවා තිබේ. මේ වයිරසය මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට වන නිශ්චිත බලපෑම රඳා පවතිනුයේ ඒ වයිරසයේ ගෝලීය ව්‍යාප්ති මට්ටම, ඒ ව්‍යාප්තිය පවතින කාල පරාසය සහ ප්‍රධාන ආර්ථික හා වෙළෙඳ හවුල්කරුවන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර වැනි සාධක මත බැව් මහ බැංකුව පවසයි. එනිසා ලංකාවේ කෝවිඩ් 19 ව්‍යාප්ත වුව හොත් එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට හා ජන ජීවිතයට වන හානිය සිතා ගැනීමට වත් නොහැකිය. අවදානමට වඩා පෙර සූදානම වැදගත් වන්නේ ඒ නිසාය.
සොබාදහම තවමත් මේ ලොව බලවත් තමා බව නැවත වරක් අපට පෙන්වා දෙමින් සිටියි. තමාට අනෙකා කෙරෙහි කොතරම් කැප විය හැකිද යන්න මත; රටක අනාගතය තීරණය වනු ඇත. දැන්වත් මිනිසුන් ලෙස සිතා බැලිය යුතු කාලය එළැඹ ඇතැයි අප පවසන්නේ ඒ නිසාය.