මැකෝගේ මුද්‍රාවෙන් බොඳ වූ සිහිනය | සිළුමිණ

මැකෝගේ මුද්‍රාවෙන් බොඳ වූ සිහිනය

පාධිධාරීන්ට රැකියා ලබාදීමේ පොරොන්දුව සෑම කල්හිම මැතිවරණ වේදිකා මත ඇසෙන උණුසුම් පොරොන්දුවකි. එහෙත් එය යථාර්ථයක් වූ අවස්ථාවලට වඩා පො‍රොන්දුවක් ම වූ අවස්ථා බහුලය. නිදහස් අධ්‍යාපනයේ පල ලබන මෙරට විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථී ප්‍රජාව සක්‍රීයව රාජ්‍ය සේවයට අනුයුක්ත කරගැනීමේ රාජ්‍ය මට්ටමීය අවැසි බව ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ සඳහන් කරන්නේ ඒ නිසා ය. ඒ අනුව මේ දිනවල වැඩිම කතාබහට ලක් වූ උපාධිධාරී පුහුණුව සඳහා උපාධිධාරීන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය මහ මැතිවරණය ඉලක්ක කරගෙන සිදු වූවක් නොවන බව සබුද්ධික ජනතාව දනී. “උපාධිධාරී පත්වීම්ලාභීන්ට පුහුණුව ලබාදීම ඡන්දය නිමාවන තෙක් නතර කරන්න” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති (මැකෝ) මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීම ගැන මහජනතාව නැවත නැවත සිතන්නට පෙලඹුණේ ඒ නිසා ය.

ගෙවුණු වසර ගණනාවක් පුරා රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණ කරමින් අරගල කළේ, මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිය හිමි කරගත් සියලු දෙනාට කඩිනමින් රැකියා ලබාදීමේ නිසි ක්‍රමවේදයක් සකසන්නැයි පාලක පන්තියට බලපෑම් කිරීමටය. ඒ බලපෑම් කිරීමේ අනිටු ප්‍රතිඵල භුක්ති විඳි මහජනතාව සේවය නිමවා සිය නිවෙසට යා ගත නොහැකිව මහ මඟ පැය ගණන් ගෙවා දැමුවේ වීදි බැසි උපාධිධාරීන්ට පමණක් නොව සමස්ත ඉගෙනුම් ක්‍රියාවලියට ම දෙස් තබමිනි. එබැවින් මේ රජය නිමා කරන්නට හැදුවේ ගේ දොර, කනකර උකස් කර හෝ සිය දරුවන්ගේ අධ්‍යාපනය නිමා කරන්නට දත කෑ සුවහසක් මවුපියන්ගේ දුක් සෝ සුසුම්ය; එසේත් නැති නම් ඒ සුසුමෙන් රත් වී ලෝකයට වෛර කරන්නට පටන්ගත් යෞවන යෞවනියන්ගේ කැකෑරෙන වෛරය ය.

උපාධිධාරීන්ට රැකියා ලබාදීම හුදු දේශපාලනික වැඩක් නොවන්නේ මේ හෘදය සංවේදී ප්‍රවේශය නිසාය. රටේ ආධ්‍යාත්මික සංවර්ධනයට ඍජුව දායක වන තරුණ පරම්පරාව නිසි දැක්මකට මෙහෙයවීමට රජයට නොහැකි වුවහොත් එය දිගුකාලීන ගැටලු රැසකට ආරම්භය වන්නේ ය. එබැවින් රජය මේ ගැටලුවලට සක්‍රිය ව මැදිහත්වීම පක්ෂ බේදයකින් තොරව පැසසිය යුතු කරුණක් යැයි සමස්ත ජනතාවම එකහෙළා කියන්නේ ඒ නිසා ය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර සූදානම් කරගත් වැඩසටහනක් වන මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ ලබාදෙන මෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් මාර්තු 4 වැනි දා ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් මේ වැඩසටහන මැතිවරණයට බාධාවක් වේ යැයි මැතිවරණ කොමිෂන් සභාව උපකල්පනය කරන්නේ නම්, ඒ ඕනෑම තීරණයකට තමන් එකඟ වන බව ද ඒ ලිපිය මඟින් දන්වා තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා රැකියා විරහිත උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නේ මාර්තු 2 දිනැතිව ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ගැසට්පත නිකුත් වන්නේ මාර්තු 2 වැනිදා මැදියම් රැයේදී ය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා මෙකී අත්හිටුවීම කරන්නේ ගැසට්පත්‍රය නිකුත් වීමට පෙරාතුව ය. පත්වීම් ලිපි නිකුත් වන්නේ පෙබරවාරි 27 දිනැතිව ය. වසර ගණනාවක් පුරා වීදි මත උගුර ලේ රහ වන තෙක් කෑ ගසමින් රැකියා ඉල්ලූ උපාධිධාරීන්ගේ සිහිනය සැබෑ වූ මොහොතේ ම එය සුනුවිසුනු කරන්නට මේ ලිපිය සමත් වෙයි.

උපාධිධාරී පත්වීම් ලබාදීමේදී රජය කිසි ලෙසකින්වත් එකී අපේක්ෂකයන්ගේ මනාපය හෝ තරාතිරම බැලුවේ නැත. පොදුවේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 35 සිට 45 දක්වා වැඩි කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේ ය. උපාධිධාරින් 45,585කට අභ්‍යාසලාභීන් ලෙස පත් වීම් නිකුත් කරන්නේ හුදු උපාධිය පමණක් ම සලකා බලාය. අනෙක් අතට එය ජනාධිපතිවරණ පො‍රොන්දුවක් ඉටු කිරීමක් විනා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන සිදු වූවක් නොවන බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර විපක්ෂ නායකයා මේ අසීරුවට පත් වී සිටින උපාධිධාරීන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනු පෙනේ. ඔහු මාධ්‍ය ඔස්සේ කියන්නේ උපාධිධාරීන්ට ඉවසා සිටින ලෙස ය. ඒ මහ ඡන්දයෙන් පසු ඔවුන් උපාධිධාරීන්ට රැකියා දෙන බව පවසමිනි. එහෙත් සමස්ත උපාධිධාරීන්ට ම රැකියා දී අවසන් බැවින් දැන් ඔවුන්ට රැකියා දෙන්නට උපාධිධාරීන් ඉතිරි වී නැත. මේවා නිකම්ම නිකන් වීඩියෝ දර්ශන පමණක් බැව් දැන් ජනතාවට වැටහී හමාරය.

මේ අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මීට මාස 15කට පෙර උපාධිධාරීන් සඳහා පැවැත්වූ විවෘත තරග විභාගයකින් හා සිද්ධි අධ්‍යයන පරීක්ෂණයකින් ද සමත්ව සම්මුඛ පරීක්ෂණයකින් ද අනතුරුව දූෂණ විමර්ශන නිලධාරීන් ලෙස තේරුණු උපාධිධාරීන් 200 දෙනෙකු ද ජනාධිපතිවරයා වෙත තමා තෝරාගත් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. 200 දෙනකු බඳවාගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවනු ලැබුවේ 2018 ජුනි 08 වැනිදා නිකුත් කර ඇති ගැසට් පත්‍රයෙනි. විමර්ශන නිලධාරීන් බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය නගර 6කදී 2018 ඔක්තෝබර් 27 වැනිදා පවත්වා සමත්වූ 407 දෙනාගේ නම් ලයිස්තුව 2019 මාර්තු මාසයේදී විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මේ සියල්ලෙන් පෙනෙන්නේ විධිමත් ලෙස රැකියාවකට යොමු කිරීමක් පසුගිය කාලය පුරා සිදු වී නැති බවය. මේ සියල්ල නිවැරදි දිශානතියකට යොමු කිරීමට රජය දරන උත්සාහය ප්‍රශංසනීය ය.

මේ සියලු දේ අතරේ ප්‍රායෝගිකව වැඩ කරන පුද්ගලයන්ට නිරන්තර මුහුණ දීමට සිදු වන පොදු කරුණක් අප මතකයට නැඟේ. මේ අපූරු කරුණ පවසන්නේ පාවුලෝ කොයියෝ ය.

“ලෝකය වෙනස් වන්නේ ආදර්ශවලිනි. උපදෙස් හෝ කයිවාරුවලට ලෝකය වෙනස් කළ නොහැකිය“

රජය උපාධිධාරීන්ට රැකියා දුන්නේ වීදියේ දියවී යන්නට තැනූ ජීවිත රැකගන්නටය; ඒ පරපුරට ආදර්ශයෙන් ජීවිතය දෙන්නට ය. එනිසා ම ඒ ප්‍රයත්නය කිසි දිනෙක ව්‍යර්ථ වන්නේ ද නැත. හොඳම දේවල් එළිවෙන ජාමෙට කියා ගමේ ගොඩේ කියන්නේ නිකන් නොවේ ය.

Comments