
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විසමතාව ඉවත් කරන තුරු ඒ වෙනුවට අතුරු වැටුපක් දෙන්නැයි බල කරමින් වෘත්තීය සමිති 30කට අයත් ගුරුවරු හා විදුහල්පතිවරු පිරිසක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පසුගියදා විරෝධතාවක නිරත වූහ.
වෘත්තීය අරගල ලොව කිසිදු රටකට ආගන්තුක නොවේ. ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස එය ප්‍රචලිතය. වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සාකච්ඡාව පවත්වන්නේද ගුරුවරු පිරිසකි. 1891දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ඒ සාකච්ඡාවට අනුව 1891 ජනවාරි 18 දා ‘ලංකා ගුරු සංගමය’ නමින් සංවිධානයක් ඇරඹිණි. 1892 ජනවාරි 22 දින ඒ ගුරු සංගමයේ ප්‍රථම මහා සභා රැස්වීම පැවැත්වුණු අතර, එය ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය ලෙස සැලකේ. එසේ වුවද මීට පෙරද විවිධ වෘත්තීය අරගලවල සේවකයන් නිරත වූ අවස්ථා තිබේ. පෞද්ගලික පාසල් ගුරුවරුන් කිහිපදෙනකු 1860දී වර්ජනයක නිරත වූ අතර, නැඟෙනහිර පළාතේ වාරිමාර්ග කම්කරුවෝ පිරිසක්ද 1860දී වර්ජනයක නිරත වී තිබේ. එහෙත් මේවා ක්ෂණික අරගල හා නැඟී සිටීම් පමණි.
ඒ අනුව වෘත්තීය සමිති ඉතිහාසයේ ගුරු වෘත්තිකයන්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලංකා ගුරු සංගමයේ නායකත්වයෙන් ගුරු සම්මේලනයේද සහාය ඇතිව 1975දී රුපියල් 355ක නව ගුරු වැටුප් සටන ඇතුළු ගුරු ඉල්ලීම් රැසක් දිනාගැනීමට ගුරුවරුන් සමත් වෙන්නේ මේ අනුවය. හැත්තෑව දශකයේදී පාලකයන්ගේ උදහසට හා අක්රමිකතාවලට යට වී සිටි ගුරු පරපුර ඉන් මුදාගෙන ගුරු අයිතීන් රැකදීමේ ක්‍රියාවලියේ මූලිකත්වය ගත්තේ එච්.එන්. ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ලංකා ගුරු සංගමයයි. අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ඔවුහු එදාද පෙනී සිටියහ.
එබැවින් ගුරුවරයා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අසාධාරණ නැත. එහෙත් ඒ හා සමගාමීව වන අනෙකුත් ක්‍රියා ගැනද ඔවුන් සවිඥානක විය යුතු ය. ඊට හොඳම උදාහරණය වන්නේ පාසලට ගියද ගුරුවරුන් නැති නිසා ඉන් පිට වූ දරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි වීමය. දරුවන් පාසල වෙත යොමු කළ පසු මවුපියන් සිතන්නේ තම දරුවන් ආරක්ෂිතය කියාය. එහෙත් පාසලේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් නොසිටි කල රැකවරණයේ රැහැනින් මිදෙන දරුවන් තම අභිමතය පරිදි විවිධ දේ සඳහා යොමු වේ. බද්දේගම හම්මෑලිය සිසුවකුට හා මහව නාගොල්ලාගම සිසුවකුට යොවුන් වියේදීම ජීවිතය අහිමි වන්නේ මේ අනුවය. ඍජුව නොවුණත් වක්‍රව මේ මරණ දෙකම සිදු වන්නේ දරුවන්ට පාසලේ රැකවරණය අහිමි වීම නිසාය.
ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවනවා සේම එහි අගතියක්ද කිසිවෙක් නොදකිති. එබැවින් ඔවුන්ගේ ඉල්ලීම අසාධාරණද නොවේ. ලෝකයේ දියුණු රටවල ඉහළම වැටුප් ලබන වෘත්තිකයෝ ගුරුවරු වෙති. එනිසාම වත්මන් ආණ්ඩුව; ගෙවී ගිය මාස තුනක කෙටි කාලය ඇතුළත ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි. ඉන් පළමුවැන්න වන්නේ ගුරු වෘත්තියට උපාධිධාරීන් පමණක් බඳවාගැනීමයි. දෙවැන්න වන්නේ සමාජයේ අභිමානවත් ලෙස ජීවත් වීමට අවැසි ඉහළ වැටුපක් පිරිනැමීමය. මේ යෝජනා දෙකම ගුරු භූමිකාවේ ප්‍රමිතිය සම්බන්ධ සුබ පෙර නිමිතිය. මෙවැනි ගෞරවනීය පසුබිමක් ගුරුවරයා වෙනුවෙන් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික සැලැස්මක් රජය විසින් දැන් දියත් කර තිබේ.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග උදෙසා මහමඟට බසින්නේ අදාළ ගැටලු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට අධ්‍යාපන ඇමැතිවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කරන දිනයේදීමය. ගුරු භූමිකාව සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන නිසි අවබෝධයකින් තොරව මේ ක්‍රියාමාර්ගයට උක්ත පිරිස පිළිපන්නේද යන්න ගැන සමාජයේ කුකුසක් ඇතිව තිබෙන්නේ මේ නිසාය.
මේ අතර ගුරු සේවය, විදුහල්පති සේවය හා ගුරු විශේෂඥ සේවය ඒකාබද්ධ සේවාවක් බවට පත් කොට, ඔවුන්ගේ වැටුප් විසමතා ඉවත් කර නව වැටුප්තල ස්ථාපිත කිරීම සඳහා අගමැති හා මුදල් අැමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ යෝජනා මේ වසරේ පළමු අය-වැය ලේඛනයට ඇතුළත් කර ක්‍රියාත්මක කරන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ගුරුවරුන් උදෙසා විධිමත් හා සාධාරණ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ ප්‍රමුඛ ගෞරවය හිමි විය යුත්තේ හිටපු අධ්‍යාපන අමාත්‍ය දිවංගත අචාර්ය රිචඩ් පතිරණටය. එහෙත් ඉන් පසුව බලයට පත් එජාප ආණ්ඩු වරින් වර විවිධ චක්‍රලේඛ ඉදිරිපත් කරමින් මේ විධිමත් ක්‍රමවේදය අවිධිමත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ වැටුප් ශ්‍රේණි අතර සැලකිය යුතු මට්ටමේ විසමතාවක් ගොඩනැඟී තිබේ. පෙර චක්‍රලේඛ අහෝසි කර, නව වැටුප් ක්‍රමයක් මඟින් මෙකී ගැටලුවට තිරසර විසඳුමක් සලසන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම අවධාරණය කරන්නේ ඒ නිසාය.
අප්‍රිකාවේ මසායි මාරා ගෝත්‍රිකයන් අතර ඇති අපූරු කියමනක් මෙහිදී සිහිපත් වේ. ඒ, “ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දසකයකට නම් ගස් සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න” යනුවෙනි.
ආණ්ඩුව දරුවන් වෙනුවෙන් ‘ජීවිත කාලයක්’ සැලසුම් කරමින් සිටින මෙවැනි මොහොතක, අනාගත පරපුරට අධ්‍යාපනය දීමේ වගකීමට උරදී සිටින ගුරුවරුන් සිය ශිෂ්‍ය පරම්පරාව ගැන මීට වඩා සවිඥානක විය යුතුය. ඔවුන්ගේ ගැටලු පිළිබඳ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටියදී වෘත්තීය අරගල කිරීම අනුචිත යැයි කියන්නේ ඒ නිසාය. සැමටම දිසාපාමොක්ලා විය නොහැකි වුවත් ඒ ගැන සංවේදි වීම හෝ වටින්නේය.