
මහජන විරෝධතා නැති රටක් නැත. ඕනෑම රටක මහජන විරෝධතා මතු වීමට අදාළ හේතු කාරණා සුලබය. මෙවැනි විරෝධතා පිළිබඳ පසුගිය කාලය තුළ වැඩි වැඩියෙන් වාර්තා වූයේ හොංකොං දේශයෙනි. එරට නීති සංශෝධනයක් මුල් කරගෙන හටගත් මහජන විරෝධතාවලදී හොංකොං ජනතාව සතුව පැවැති විනයගරුක බව විදහා-ලන දසුන් පසුගිය සමයේ සමාජ මාධ්‍ය ජාලාවල වයිරසාකාරයෙන් පැතිර ගියේය. ඒ දුටු බොහෝ අය කීවේ හොංකොං නගරයේ මහජන විරෝධතා ‘සුහුරු’ හෙවත් ‘ස්මාට්’ බවය. මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රචලිත වීඩියෝවක් වූයේ මහජන විරෝධතා ස්ථානයක් මැදින් හදිසියේ ධාවනය වන ගිලන් රථවලට සැණෙකින් ඉඩ දීමට ඒ ජනතාව උත්සුක වන ආකාරයයි.
අපි දැන් හොංකොංවලින් කොළඹට එමු. හොංකොංහි ජන විරෝධතාවලට පදනම් වූයේ පොදු කරුණක් වුවද කොළඹ සතියට දෙ-තුන් දිනක් පැවැත්වෙන විවිධාකාර විරෝධතා උද්ඝෝෂණවලට බහුවිධ සාධක බලපායි. මේ හේතු-කාරණ බහුතරයක් සාකච්ඡාවෙන් හෝ සම්මන්ත්‍රණයෙන් අවසන් කිරීමට හැකියාව තිබියදී ඔවුහු පළමුවැනි, දෙවැනි හා තෙවැනි පියවර ලෙස පාරට බැස උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීමට පෙලඹෙති.
සාමාන්‍යයෙන් සතියකට කිහිප වරක් පැවැත්වෙන විරෝධතා කිහිපයක් නිසා වැඩිම පීඩාව විඳින්නේ මහජනතාව සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නන් මිස රටේ පාලකයන්, නායකයන් හෝ වගකිව යුතු නිලධාරීන් හෝ නොවේ. අගනුවර පවතින දැවැන්ත මාර්ග තදබදය හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ වාහනයක දළ වේගය පැ.කි.මී. 10ත් 15ත් අතර ප්‍රමාණයට ඌනනය වී ඇත. කොළඹ කොටුව, ලිප්ටන් වටරවුම, වෝඩ් පෙදෙස, ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආදි වශයෙන් වැඩියෙන්ම උද්ඝෝෂණ සිදු වන ස්ථානවල මාර්ග අවහිර කරන විරෝධතා පැවැත්වීමේදී මේ ගමන් වේගය පැ.කි.මී. අඩකට වඩා අඩු වෙයි. මේ තත්ත්වය හේතුවෙන් නගරය තුළ ගමන් කරන සියලු දෙනාගේ දෛනික කටයුතු දැඩි අකර්මණ්‍යතාවකට ලක් වෙයි. විවිධ රෝගාබාධවලට පිළිසරණ පතා කොළඹට එන රෝගීන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් තම අවශ්‍යතා ඉටු කරගැනීමට එන වැඩිහිටියන් සහ පාසල් දරුවන් මෙයින් වැටෙන්නේ ලොකු ආමාරුවකටය. එය සමාජීය වශයෙන් දැඩි ආතතියකට මුල පිරීමකි. මේ තත්ත්වය අප ඉහත කථා කළ හොංකොංහිදීද සිදු විය. අප සමාජ මාධ්‍ය ඔස්සේ හොංකොං විරෝධයේ ‘ස්මාට්’ ලක්ෂණ දුටුවද, එමඟින් එරට ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ මානසික වියවුල්භාවයන් අත් වූ බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ විය. මේ මහජන විරෝධතා සහ ඒ ආශ්‍රිත සිදුවීම් දාමය හේතුවෙන් හොංකොංහි සාමකාමිව ජීවත් වූ ඇතැම් වැඩිහිටියන් තුළ මානසික අවපීඩනය, පශ්චාත් ව්‍යසන ආතති සින්ඩ්‍රෝමය (Post Traumatic Stress Disorder) වැනි මානසික රෝගි තත්ත්ව දක්නට ලැබුණු බව එරට පර්යේෂකයන්ට සොයාගත හැකි විය.
විරෝධතාකරුවන් මේ අයුරින් මාර්ග අවහිර කරමින්, ජන ජීවිතය අවුල් කරමින් උත්සාහ කරන්නේ ජනතාව කෙරෙහි ඇති කරවන පීඩනය මත පාලකයන් කෙරේ විරෝධාකල්පයක් ජනිත කරවීමටය; ඒ බලපෑම මත වෘත්තීය අයිතීන් දිනාගැනීමටය. එහෙත් මෙවැනි විරෝධතා මත බොහෝ දුරට සිදු වන්නේ 80%ක්ම ජනතාව පාලකයන් කෙරෙහි නොව, මේ විරෝධතාකරුවන් කෙරෙහි විරෝධතාවක් ගොඩනඟාගැනීමය. පොදුවේ ජනතාවගේ අදහස වී ඇත්තේ පවත්වන විරෝධතාවලට සාධාරණ පදනමක් තිබුණද මේ අයුරින් ජන ජීවිතය වියවුල් කිරීම පාපතර වැඩක් බවය. ඔවුන් නොකියා කියන්නේ කාට වත් කරදරයක් නොවන තැනකට ගොස් විරෝධතා උද්ඝේෂණ පැවැත්වූවාට කම් නැති බවය. මේ කථාවට බොහෝ වෘත්තීය සටන් මෙහෙයවන්නන්, ඔවුන් පසුපස සිටින දේශපාලන බළල් අත් දක්වන්නේ ‘කාට වත් නොදැනෙන්න විරෝධතා පැවැත්වීමෙන් පළක් නොවන්නේය’ බඳු ප්‍රතිචාරයක් බවට සැක නැත.
කෙසේ වුවද මේ කටයුත්තට නිර්මාණාත්මක පිවිසුමක් ගෙන දීමට රජය පියවරක් ගෙන තිබේ. ඒ ජනාධිපති කාර්යාලය අසලින්ම විරෝධතා සඳහා විශේෂ ස්ථානයක් වෙන් කිරීමය. මේ විරෝධතා පිටතට නොදැනුණත් රටේ නායකයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ඍජුවම දැනෙයි; එසේම එක එල්ලේම පෙනෙයි. මේ රටේ මුදල් ඇමැතිවරයාවරයා වන අග්‍රාමාත්‍යවරයාටද එය සන්නිවේදනය වන්නේ මුදල් අමාත්‍යාංශයද ඒ මායිමේම පිහිටන නිසාය. රජය විසින්ම මෙවැනි තීරණාත්මක ස්ථානයක් විරෝධතා, උද්ඝොෂණ සඳහා වෙන් කිරීම ප්‍රගතිශීලි පියවරකි. එක් අතකින් විරෝධතා පෑමේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට රජය ගරු කරයි. අනෙක් අතට වෙන් කර ඇති මේ ස්ථානය විරෝධතා එපා කරවන තැනක් නොව, මුහුදු සුළඟ හමන රමණීය බිම්කඩකි. මෙය විරෝධතාකරුවන්ගේ අයිතිය රැකෙන අතරම, අවුල්-වියවුල් බවකින් තොරව නගරයේ කටයුතු කරගැනීමට ජනතාවට අවස්ථාව හිමි කර දීමක්ද වෙයි. ඇතැම් රටවල ජනතාව විසින්ම කාලයක් තිස්සේ නිර්මාණය කරගත් මෙවැනි ස්ථාන කිහිපයක් තිබුණද විශේෂයෙන් ජනාධිපතිවරයාගේ කාර්යාලය අසලින්ම එවැනි ඉඩක් වෙන් කිරීම ඒ රටවලටද පූර්වාදර්ශයක් සපයයි.
එහෙත් ප්‍රශ්නය වන්නේ මෙරට වෘත්තීය සටන් මෙහෙයවන ‘වෘත්තීය’ මට්ටමේ සංවිධාන පවා වෘත්තීය සටන්වලට අදාළ මූලික ආචාරධර්ම පවා කඩ කරමින් ජන දිවිය අවුල් වන ආකාරයෙන් හැසිරීමය. එවැනි සංවිධානවලටද මේ වන විට රජය තම සුහදතාවේ දෑත දිගු කර ඇත්තේ වෘත්තීය සටන්වලට ඇති අයිතිය පිළිගනිමිනි. එබැවින් මින් පසු සිදු කෙරෙන වෘත්තීය සටන්වලදී වගකීම් සහගතව ක්‍රියා කිරීම මේ සටන් මෙහෙයවන්නන්ගේද වගකීම බව කිව යුතුය.