
ශ්‍රී ලංකාව වැනි රටකට ලෝක බලවතුන්ගේ සහයෝගය හා ආධාරය නැතිව ඉදිරියට යා හැකි ක්රමෝපායක් නැත. එහෙත් අන්තර්ජාතික සහයෝගය යන්න ඉබේ ඇති වන දෙයක් නො වේ. රටක නායකයන්ගේ ස්වභාවය, රාජ්‍ය පාලනයේ ස්වභාවය, අනාගත සැලැසුම් හා අන්තර්ජාතික වැඩසටහන් සඳහා දක්වන දායකත්වයද මේ සඳහා බලපාන සාධක ලෙස හැඳින්විය හැකි ය. අතීතයේ නම් ලෝක බල කඳවුරු අනුව අන්තර්ජාතික සහයෝගය හා ආධාර බෙදී ගියේ ය. දැන් බල කඳවුරු නැති අතර බලවත් රටවල් ස්වාධීන ලෙස සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
ලොව බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන්නේ අමෙරිකාවය. චීනය දෙවන ස්ථානය හිමි කරගෙන ඇති අතර, ඉදිරි දසකය තුළ එය පළමු තැන හිමි කරගන්නා බව පුරෝකථනය වී ඇත. ජපානය, ජර්මනිය, රුසියාව වැනි රටවල් ඊළඟට ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍ය ලෙස පිළිගනු ලැබේ. ඕනෑම රාජ්‍යයක් ආනයන-අපනයන ඔස්සේ ලෝක වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරයි. ලෝක වෙළෙඳපොළ හසුරුවනු ලබන්නේ ඉහත කී රාජ්‍ය විසින්යැයි කිව හැකිය. ඒ අනුව කුඩා රටවල ආර්ථිකය කෙරෙහි ලෝක බලවතුන් දෙයාකාරයකින් බලපාන බව පෙනෙයි. මෙබැවින් බලවත් රටවල සහයෝගය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව පෙනී යයි.
බලවත් රටවල් හතරක නියෝජිතයෝ ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ අමෙරිකාව, රුසියාව, චීනය හා ජපානය නියෝජනය කරමිනි. මින් පෙර මෙලෙස බලවත් රටවල් හතරක නියෝජිතයන් එක්වර ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡා පවත්වා නැත. වත්මන් ශ්‍රී ලංකාව කෙරෙහි බලවත් රටවල ඇති අවධානය මෙයින් පැහැදිලි වෙයි. රටවල් හතරේම නියෝජිතයෝ ජනාධිපතිවරයා සමඟද අගමැතිවරයා සමඟද සාකච්ඡා පැවැත්වූහ. එහිදී ඒ සැම රටක්ම ශ්‍රී ලංකාවේ නව ආර්ථික දැක්ම හා වැඩසටහන් අගය කර තිබේ. ශ්‍රී ලංකාව ගෙන යන ප්රජාතන්ත්රවාදි පාලන ක්රමයද ඉහත නියෝජිතයන්ගේ ඇගයුමට ලක්ව ඇත. මෙය හැඳින්විය හැක්කේ අන්තර්ජාතික හොඳහිත දිනාගැනීමක් හැටියටය.
රුසියා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ සර්ගෙව් ලැව්රොෆ් මහතාය. ඔහු එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. රුසියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටද සහයෝගය දක්වන බව ලැව්රොෆ් මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ තේ මිල දී ගන්නා ප්‍රධාන රාජ්‍යයක් හැටියට රුසියාව හැඳින්විය හැකිය. මේ හැරෙන්නට විදේශ අධ්‍යාපනයට, ආරක්ෂක කටයුතුවලට මෙන්ම තවත් බොහෝ කටයුතුවලට අපට රුසියාවේ සහයෝගය ලබාගත හැකිය. විශේෂයෙන් රුසියා ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගත හැකි නම්; එය මෙරට ආර්ථිකයට ශක්තියකි.
චීනයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා සම්බන්ධය අචල බවයි. එනම්: එය අඛණ්ඩව දිගටම පවතින බවයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ඉන්දියාව සමඟ මෙන්ම චීනය සමඟද අපට ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් පැවතිණි. එය දේශපාලන සහයෝගය ඉක්මවා ගිය දැඩි බැඳීමක් සේ සැලකිය හැකිය. එකල ඉන්දු-චීන යුද්ධය සමහන් කිරීමටද ශ්‍රී ලංකාව මැදිහත් වී ඇත. ඉන්දියාව සමඟ මෙන්ම චීනය සමඟද හොඳහිත පවත්වාගැනීම ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශපාලන යථාර්ථයක් සේ සැලැකිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ඒ යථාර්ථය හොඳින් ඉටු වන බව පෙනෙයි.
ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයටද දිගුකාලීන ඉතිහාසයක් තිබේ. ජපානය සිය මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගෙන ඇති අතර, ජපන් සහයෝගිතා වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය. මෑතකදී ආරම්භ කරන ලද ජපන් රැකියා වැඩසටහන ඒ අතර ප්‍රධාන වෙයි. එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පුහුණුව සලසා දී වෘත්තිකයන් ලෙස ජපානයේ රැකියාවලට ඇතුළත් කරගනු ලැබේ. වසර කිහිපයක් පුරා ඉහත වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ජපානයේ රාජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය කොසෝ යහමතෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද මෙවර ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාවේ නව පාලනය එම නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වී ඇත.
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ඉන්දීය සාගරයේ උපායමාර්ගික වැදගත්කමකින් යුතු ස්ථානයක පිහිටා ඇත. එහි අර්ථය: මෙරට රාජ්‍ය පාලකයන් ඉතා බුද්ධිමත් ලෙස සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවාගත යුතු බවයි. නිදසුනක් ගත හොත්: අමෙරිකාවේ මෙන්ම ඉරානයේද හොඳහිත අපට අවශ්‍ය වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස කියා සිටියේ කිසිදු බලවත් රාජ්‍යයක හෝ බල කඳවුරක හෝ නියෝජිතයකු ලෙස ක්‍රියා කිරීමට තමා උත්සාහ නොකරන බවයි.
කෙසේ වෙතත් ස්වාධීන හා නිදහස් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට බෙහෙවින් වැදගත්ය. එහි යහපත් ප්‍රතිඵල දැන් අපට දැකගන්න ලැබේ.