
රන්ජන් රාමනායක මහතා පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාව රටේ දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් බලවත් කම්පනයකට පත් කර තිබේ. එය මහජනයාගේ ප්‍රධාන මාතෘකාව වූවා සේම අනාගතය පිළිබඳ අවුල් ජාලයක ආරම්භයද වන්නේය. දැනට නිකුත්ව ඇති හඬපටවලට අනුව රටවැසියාට අධිකරණය විශ්වාස කළ නොහැකිය; අධිකරණ සේවා කොමිසම විශ්වාස කළ නොහැකිය; පොලිස් දෙපාර්තමේන්තුව විශ්වාස කළ නොහැකිය; අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව විශ්වාස කළ නොහැකිය; දහනව වන ව්‍යවස්ථා සංශෝධනය විශ්වාස කළ නොහැකිය. එපමණක් නොව, රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය පවා මේ ඔස්සේ මහජන අවිශ්වාසයට ලක් වේ.
2015 දේශපාලන බල හුවමාරුව හඳුන්වා දී තිබුණේ මහජනයා අපේක්ෂා කළ විප්ලවීය වෙනසක් ලෙසය. එහි කැපී පෙනෙන ලක්ෂණය වූයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමට හා නීතියේ ආධිපත්‍යය බලගැන්වීමට දරන ලද බලවත් පරිශ්‍රමයයි. එහෙත් දැන් දැන් හෙළිදරවු වෙමින් පවතින්නේ මේ පරිශ්රමය මහජනයා නොමඟ යවන ප්‍රෝඩාවක් බව හා දේශපාලන කුමන්ත්‍රණයක් එහි පවතින බවයි. හෙළිව ඇති කරුණුවලට අනුව යහපාලනය යටතේ අධිකරණය ස්වාධීන වී නැත; පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන වී නැත; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන වී නැත. ඒවා ක්‍රියාත්මක වී ඇත්තේ හිටපු අගමැතිවරයා ඇතුළු කිහිප දෙනකුගේ මෙහෙයවීම මතය. මේ මෙහෙයවීම් සිදුව ඇත්තේ දේශපාලන පළි ගැනීම් මූලික තැනක ලා සලකාගෙනය.
රුසියාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද අමෙරිකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද මෙබඳු ආන්දෝලනාත්මක අනාවරණ වාර්තා වී තිබිණි. එහෙත් ඒ සිද්ධි රන්ජන් මහතාගේ සිද්ධිමාලාව තරම් භයානක නැත. ඒවායින් හෙළිදරවු වූයේ ඒ රටවල නායකයන්ගේ රහස්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු පමණි. රන්ජන් මහතාට අදාළ හඬපටවලට අනුව ඇතැම් පුද්ගලයන් ඝාතනය කොට දේශපාලනයෙන් ඉවත් කිරීමට සැලසුම් තිබූ බව පෙනෙයි; නිර්දෝෂි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට සැලසුම් තිබූ බව පෙනෙයි; ඇත්ත වරදකරුවන් නීතියෙන් නිදොස් කොට නිදහස් කරගැනීමේ සැලසුම් තිබූ බව පෙනෙයි. මේ සිද්ධිදාමය ඔස්සේ ප්‍රශ්න කිරීමට ලක් වන්නේ යහපාලනය හා එහි නායකයන්ගේ ක්රියාකලාපයයැයි කිව හැකිය.
අන්තර්ජාතික මූල්‍යායතන, ජිනීවා මානව හිමිකම් කොමිසම මෙන්ම බලවත් රටවල්ද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් සුරක්ෂිත කරන රාජ්‍ය පාලනයක් තහවුරු කරන ලෙසයි. යුරෝපා හවුල ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්නේ දීර්ඝ කාලයක සිටය. එහි කොන්දේසි අතරද සාමය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය පවතී. නීතියේ ආධිපත්‍යය නැති රටක් ශීලාචාර රාජ්‍යයක් ලෙස හැඳින්වෙන්නේ නැත. රන්ජන් මහතාගේ හඬපට කිහිපයකින්ම පෙනී යන්නේ නීතිය දේශපාලන නායකයන්ට අවශ්‍ය ලෙස හසුරුවන ආකාරයයි. විනිශ්චයකාරවරියක රන්ජන් මහතා ඉදිරියේ බැගෑපත් වන ආකාරය එක් හඬපටයකින් පැහැදිලි වෙයි.
මෙතෙක් අප රටේ සිටි නඩුකාරයන් හැසිරී ඇති සම්ප්රදායක් තිබේ. එයට අනුව ඔවුන් නඩු කටයුත්තක් පිළිබඳ කිසිදු දුරකතන සංවාදයකට එළඹියේ නැත. විශිෂ්ට සේවාවක නිරත වූ විනිශ්චයකාරවරුන් පොදු ස්ථානවල නිකරුණේ හැසිරුණේ නැත. නඩුකාරයකුට අභිමානවත් ජීවන රටාවක් තිබිය යුතුය. නීතිය ස්වාධීන වීමට බලපාන සාධකයක් ලෙස එය පවතී. දීර්ඝ කාලයක සිට අධිකරණ ක්ෂේත්‍රයේ යම් පිරිහීමක් පැවති බව පිළිගත හැකි වුවත් එය මේ තරම් කඩාවැටීමක් දක්වා පුළුල් වූයේ නැත. අද සිදුව ඇත්තේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බරපතළ ලෙස පලුදු වීමයි. එය භයානක තත්ත්වයකි. මහාජනයා නීතිය අතට ගැනීමට සැරසෙන්නේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය බිඳවැටුණු කලය.
රාමනායක මහතා සතු හඬපට ප්‍රමාණය විශාල බව වාර්තා වී ඇත. රටේ මහත් කම්පනයක් මතුව ඇත්තේ ඉන් කිහිපයක් සමාජගත වීම නිසාය. ඉතිරි හඬපටවල කුමන තොරතුරු ඇතුළත් වේද? ඒවා මඟින් කුමන පුද්ගලයන් නිරුවත් වේද යන්න කිව නොහැකිය. මෙතෙක් හෙළිදරවු වී ඇති සාධකවලට අනුව ගණිකාවන්ගේ සිට රටේ ඉහළම නායකත්වය දක්වා වූ සමීප සම්බන්ධතා ජාලයක් රාමනායක මහතාට තිබී ඇත. ඔහු ඒ සම්බන්ධතා භාවිතයට ගන්නේ දේශපාලන පළි ගැනීම්වලට, කුමන්ත්රණවලට හා සිය ජීවන පැවැත්ම සඳහාය. මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගෙන යන අශික්ෂිත අශ්ලීල ජීවිතයේ තරමද ඉහත සිද්ධි මාලාවෙන් සනාථ වෙයි. ඉන් බිඳී යන්නේ තම නියෝජිතයන් පිළිබඳ ඡන්දදායකයන්ගේ විශ්වාසය හා ගෞරවයයි.
ඉහත සිදුවීම් පෙළ හුදෙකලා ක්‍රියාදාමයක් ලෙස සලකා, එහි එකම චුදිතයා රාමනායක මහතා පමණක් බවට පත් කිරීමේ ප්රයත්නයක්ද ක්‍රියාත්මක වන බව පෙනෙයි. සමස්ත හඬපට ක්‍රියාවලිය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එහි එකම චුදිතයා රන්ජන් මහතා පමණක් නොවන බවයි. යහපාලන නායකයන්ගේ ආශීර්වාදය හා කැමැත්ත මත බොහෝ දේ සිදුව ඇති බව පැහැදිලිය. ඇතැම් හඬපටයකින් සනාථ වන්නේ යහපාලන නායකයන්ගේ උපදේශනය රන්ජන් මහතා ලබාගෙන ඇති බවයි. තව හඬපටයකින් පැහැදිලි වන්නේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියාගේ ආශීර්වාදයද රන්ජන් මහතාට ලැබී ඇති බවයි. හඬපට ක්‍රියාවලියට යහපාලන රාජ්‍ය තන්ත්රයම වගකිව යුතු බවක් පෙනී යයි. කුමක් වුව මේ සිදුවීම් මාලාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතුව තිබේ.