කුරහන් සුවඳ සහ 2020 | සිළුමිණ

කුරහන් සුවඳ සහ 2020

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය විවෘත වූයේ පසුගිය සිකුරාදාය. ඇත්-අස් සේනා, රථ පෙළපාළි, ආචාර වෙඩිමුර මෙවැනි සම්භාවනීය සැසියකදී සාමාන්‍යයෙන් පෙනෙන දේවල්ය. එහෙත් අඩුම තරමින් පාර්ලිමේන්තුවේ පෙර දින පැවති පෙරහුරුවට එක් වූ අංග වත් මේ සම්භාවනීය මොහොතේ දැකිය නොහැකි විය. ඒ එකකි.

ඒ අතරේ රුහුණේ මැදමුලනේ රාජපක්ෂ පවුලෙන් බිහි වූ දෙවැනි විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසියේද පවුලේ සම්ප්‍රදායයෙන් මිදුණු වෙනස් ස්වරූපයකිනි. එසේ පැමිණි ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය සමඟ සසඳා ඔවුන්ට අනන්‍ය වූ කුරහන් සාටකයේ සුවඳ සහ එහි දර්ශනය පිළිබඳවද පූර්විකාවක් පුරමින් කළ කතාව මෙරට නව ගමන්මඟක් පිළිබඳ පෙර මං ලකුණු කියන්නාක් මෙන් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ කථාවේදී හුදෙක් ඉලක්ක කරගෙන තිබුණේ හුදු දේශපාලන මතවාදය රැකීමට එහා ගිය රටේ අනාගතය සහ මේ රටේ බුද්ධිමත් ජනතාව ප්‍රාර්ථනා කරන ලෝකයක් පිළිබඳ දැක්මකි.

ප්‍රතිවාදි අපේක්ෂකයා අබිබවමින් ලක්ෂ 14ක වැඩි-ඡන්ද ප්‍රමාණයක් සමඟ රටේ ජනතාවගේ බහුතර කැමැත්ත ඔහුට ලැබුණේ කවර අරමුණු සාක්ෂාත් කරගැන්මක් වෙනුවෙන්ද යන්න පිළිබඳ අවබෝධයක් මේ කථාවේ අන්තර්ගතව තිබිණි.

එදා රටේ ජනතාව පක්ෂ, පාට බදාගෙන තිබුණේ බොහෝ විට මේ පක්ෂ සමඟ අනුගත වෙමින් තම-තමන්ගේ ස්වාර්ථ ඉෂ්ට කරගැනීමටය. එතැනින් එහා ගිය පරමාර්ථ වෙනුවෙන් පක්ෂ, පාට සමඟ හැප්පුණු සැබෑ පක්ෂ හිතකාමීන්ද සිටි බව අප පිළිගත යුතු වුවද සුලභ යථාර්ථය එබඳුය. එහෙත් අද ලෝකය වෙනස් වී ඇත. වර්තමානයේ තරුණ-තරුණියන් අපේක්ෂා කරන්නේ ඊට වඩා රට, ජාතිය, පරිසරය ගැන තීක්ෂණ අවබෝධයකින් සහ දැක්මකින් ක්‍රියා කරන නායකයන්ය; රටේ ජාතික ආරක්ෂාව, විනය, නීතිගරුක බව රකින නායකයන්ය; රාජ්‍ය සේවය පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කළ හැකි නායකයන්ය. හුදෙක් හඳෙන් හාල් දෙන ස්වප්න ස්වරූප පොරොන්දු වෙනුවට අද ජනතාව ඉල්ලන්නේ දැක්මක් අනුව යන ක්‍රියාත්මක සැලැස්මකි. ජනාධිපතිවරයා ‘සෞභාග්‍යයේ දැක්ම’ ලෙස නම් කර ඇත්තේ මේ දැක්මය. මේ දැක්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා බවට ප්‍රකාශයට පත් කරගත් මොහොතේ කිහිප දෙනකු එක් වී සැදු හදිසි ලියවිල්ලක් හෝ නොවන වග පැහැදිලිය. එය තමා සමඟ සිටි ‘වියත් මඟ’ සංවිධානය වටා එක් වූ විද්වතුන් ඇතුළු රටට ආදරය කරන විවිධ ක්ෂේත්‍රවල නිපුණයන් රැසකගේ සිව් වසරක හැදෑරුමක පලයක් බව ඔහු පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එයින් පෙනී යන්නේ මේ ලියවිල්ල පසුපස දැවැන්ත යන්ත්‍රණයක්ද පවතින බවයි. ජනාධිපතිවරයා මේ යන්ත්‍රණයේ එක් එක් දැති රෝද නිසි වගකීම් දැරිය හැකි සුදුසු පුද්ගලයන් අතට හසුරුවන්න දෙන්නට සූක්ෂ්ම වන ආකාරය මනාව පැහැදිලි වන්නේ රාජ්‍ය ආයතනවල වගකිව යුත්තන් තෝරා පත් කරගැනීමේදී අනුගමනය කරන ලද ක්‍රියාවලියයි. එය මේ වන විටත් පක්ෂ-විපක්ෂ කාගේත් මහත් ප්‍රසාදයට හේතුවක් වී ඇත. පසුගිය දිනවල ජනාධිපතිවරයා විවිධ අමාත්‍යාංශවල නිලධාරීන් හමු වී ඒ ඒ අමාත්‍යාංශවල වගකීම් ගැන අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනු අපට දැකිය හැකි විය. ඒ සෑම තැනකදීම පැහැදිලිව ප්‍රකාශ වුණු කරුණක් වූයේ ජනතාව මේ රජයෙන් බලාපොරොත්තු වූ දෙය සාර්ථකව ඉටු කරදීම සඳහා අවශ්‍ය කටයුතු කාර්යක්ෂමව යෙදිය යුතු ආකාරය පිළිබඳවය. කෙසේ වුවද කවර ප්‍රතිපත්තියක් හැදුවද සුන්දර ලියවිල්ලක් ඉදිරිපත් කළද රටේ ජනතාව සෞභාග්‍යය මැද්දට තෙරපා ඔබා තල්ලු කළ නොහැකිය. ඒ සෞභාග්‍යය ළඟා කරගැනීමට සෑම තරාතිරමකට ජනතාව ඊට අනුගත විය යුතුය. මේ දැක්ම සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කොට ඇත. රාජ්‍ය ආරක්ෂාව, රාංජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ සිට කෘෂිකර්මය, ආහාර නිෂ්පාදන කර්මාන්ත, ජෛව තාක්ෂණ, තොරතුරු තාක්ෂණ ආදි පමණක් නොව; ගමේ වඩු කර්මාන්තයද ආවරණය වන පුළුල් පරාසයක් පිළිබඳ එහි කතිකාවක් සේම සැලසුමක් ඇත. ආර්ථිකය ගැන පමණක් නොව; සමාජීය ප්‍රතිසංස්කරණවලටද පෙලඹෙන කරුණු ඇත. මේ සියල්ල සාක්ෂාත් කරගැනීමට නම් සුව-පහසු කලාපයෙන් බැහැර වූ වෙසෙස් කැප වීමක් රටේ ජනතාවට තිබිය යුතුය.

අපට එය එසේ කියන්නට සිදු වන්නේ රටේ බොහෝ දෙනා දියුණු රටක් පිළිබඳ මනෝමය සිහින මවමින් ‘ඉන්න විදිහ හොඳයි’ යන සුව-පහසු කලාපයේ ජීවත් විමේ රටාවක් ලාංකිකයන් තුළ තිබිම හේතුවෙනි. එහෙත් මේ සුව-පහසු කලාපය අතික්‍රමණය කළ තරුණ පරම්පරාවක් මේ වන විට රට තුළ පිබිදෙමින් ඇත. ඔවුන්ට අවැසි ගාමක බලය රටේ නායකයන්ගෙන් පමණක් නොව, සමස්ත ජනතාවගෙන්ද ලැබිය යුතුය. ඒ කැප වීම‍, වෙහෙස රටක් ලෙස අප දැරුව හොත් එහි මිහිරි ප්‍රතිඵල අපට සුව සේ භුක්ති විඳින්න හැකි වනු ඇත. ඒ සුබවාදි මනස සමඟ අපි 2020ට පිවිසෙමු.

Comments