රාජ්‍ය ආය­තන නඟා-සිටු­වීම! | සිළුමිණ

රාජ්‍ය ආය­තන නඟා-සිටු­වීම!

රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධි­කාරි හා ඊට සම­ගාමි සමා­ග­ම්ව­ලට අදාළ ඉහළ කළ­ම­නා­කා­රි­ත්වය ලබන ජන­වාරි වීමට ප්‍රථම පත් කර අව­සන් කරන බව දැන­ගන්න ලැබේ. ජනා­ධි­ප­ති­ව­රයා මේ නිල­ධාරී මණ්ඩ­ල­ව­ලට ඉලක්ක ලබා දෙන බවද වස­රක කාලය තුළ ඒ ඉලක්ක ජය ගත නොහැකි තත්ත්ව­යක් පැව­තිය හොත් නිල­ධා­රීන් ඉල්ලා අස් විය යුතු බවත් වාර්තා වී ඇත.

රටේ පව­තින රාජ්‍ය ආය­ත­න­ව­ලින් බහු­ත­රය පාඩු ලබයි. ඇතැම් ආය­ත­න­ව­ලින් අපේ­ක්ෂිත මහ­ජන සේවය සැල­සෙන්නේ නැත. තව සම­හර ආය­තන පව­ත්වා­ගැ­නීම සඳහා භාණ්ඩා­ගා­රය මුදල් පොම්ප කළ යුතුය. තවත් ආය­තන වසා­ද­මන්නේ නම් රටේ ආර්ථි­ක­යට වාසි­දා­ය­ක­යැයි සිතන්න පුළු­වන. රාජ්‍ය ආය­තන පිළි­බඳ සමා­ලෝ­ච­නය එසේ වෙයි.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රති­පත්ති අනුව විග්‍ර­හ­ය­කට ගිය හොත්: කිසිදු රාජ්‍ය ආය­ත­න­යක් වසා­ද­මන්න ඉඩක් නැත. කිසිදු රාජ්‍ය ආය­ත­න­යක් පෞද්ග­ලික අංශ­යට විකු­ණා­දැ­මී­ම­ටද ඉඩක් නැත. ඉන් පෙනී යන්නේ මෙකී ආය­තන සංව­ර්ධ­නය කොට පව­ත්වා­ගෙන යෑමේ වග වීම රජය භාර ගෙන ඇති බවයි. එහෙත් එය පහසු කට­යු­ත්තක් නොවේ. සම­හර ආය­තන දූෂ­ණ­යට, වංචා­වට හා අක්‍ර­මි­ක­තා­ව­ලට පුරුදු වී ඇත්තේ දීර්ඝ කාල­යක සිටය. ඒවා නිල­ධා­රී­න්ගේද, සේව­ක­ය­න්ගේද ශරී­ර­ව­ලට ජීර්ණය වී තිබේ. ඒ අනුව එබඳු ආය­තන සංව­ර්ධ­නය කිරීම සඳහා මහා යුද්ධ­යක් කළ යුතුව තිබේ. කාර්යාල සහා­ය­කගේ සිට සභා­පති දක්වාම පගා ගහන ආය­ත­නද පවතී. ඉහළ කළ­ම­නා­කා­රි­ත්වය වෙනස් කළ පම­ණින් එබඳු ආය­තන හරි පීල්ලට වැටේ­යැයි සිතිය නොහැ­කිය.

කෝප් වාර්තා, විග­ණ­කා­ධි­පති වාර්තා හා තවත් තොර­තු­රු­ව­ලට අනුව රාජ්‍ය ආය­තන පිළි­බඳ වැද­ගත් සාධක හෙළි­ද­රවු වෙයි. සම­හර ආය­තන සඳහා රජ­යෙන් වෙන් කළ වාර්ෂික ප්‍රති­පා­දන ප්‍රයෝ­ජ­න­යට ගෙන නැත. තව සම­හර ආය­ත­න­ව­ලට ඉලක්ක නැත. තවත් සම­හර ආය­තන සඳහා ලැබී ඇති විදේශ ආධාර ප්‍රයො­ජ­න­යට ගෙන නැත. ඒවා ආපසු ආධාර ලබා දුන් රට­ව­ල­ටම යැවූ අව­ස්ථාද ඇත. ඕනෑම ආය­ත­න­යක් වාර්ෂික සැල­සු­ම­කට අනුව නිශ්චිත ඉලක්ක කරා ගමන් කළ යුතු වුවද, ඇතැම් ආය­ත­න­ව­ලට එබඳු සැලැ­සුම් නැත. ඒ ආය­තන ඉබේ ක්‍රියා­ත්මක වන බවක් දකින්න පුළු­වනි. රටක් දියුණු කිරී­මට නම් මේවා වෙනස් විය යුතුය.

ආය­ත­න­යක ඉහළ නිල­ධා­රීන්ට ඒ ආය­ත­නය ඇති කර­න්නත් පුළු­වනි; නැති කර­න්නත් පුළු­වනි. එය පිළි­ගත් මත­යකි. ලෝක බැංකුව වරක් නිර්දේශ කළේ බිඳ­වැ­ටෙන සමා­ගම් යළි නඟා­සි­ටු­වීම සඳහා ඉහළ කළ­ම­නා­කා­රි­ත්ව­යට වැඩි වැටුප් හා වැඩි පහ­සු­කම් සැප­යිය යුතු බවයි. ශ්‍රී ලංකාව වැනි රට­වල්ද මේ නිර්දේ­ශය පිළි­ගෙන කට­යුතු කර තිබේ. විශේ­ෂ­යෙන් ආය­තන ප්‍රධා­නයා මෙහිලා වැද­ගත්ය. ඔහුගේ දැක්ම, චර්යාව, පරි­පා­ලන හැකි­යාව, සේවක ප්‍රජාව සමඟ ඇති සම්බ­න්ධය ආදි සාධක ආය­ත­න­යක නැග්ම හා බැස්ම කෙරෙහි තදින්ම බල­පායි. ආය­ත­නයේ ප්‍රග­තිය පිළි­බඳ සමා­ලෝ­චන නොක­රන ප්‍රධා­න­ය­කුට එහි අනා­ග­තය පිළි­බඳ අද­හ­සක් ඇති කර­ගන්න පුළු­ව­න්ක­මක් නැත. එමෙන්ම ආය­ත­න­යක සුර­ක්ෂි­ත­තාව ගැන හැඟී­මක් නැති ප්‍රධා­න­ය­කුට එහි ප්‍රග­ති­යක් සල­කුණු කළ නොහැ­කිය.

රාජ්‍ය ආය­තන ගොඩ­නැ­ඟී­මට නම් ඒවායේ පරි­පා­ල­නය සාධ­නීය මට්ට­ම­කට ගෙන ආ යුතුය යන්න විද්වත් මත­යයි. අපේ රටේ ක්‍රම­යට දේශ­පා­ලන බල මාරු­වත් සමඟ ආය­ත­න­වල ඉහළ පුටු වෙනස් වෙයි. එහි ඉල­ක්කය වන්නේ රජයේ ප්‍රති­පත්ති හා සංව­ර්ධන ඉලක්ක හොඳින් ක්‍රියා­වට නැංවී­ම­යැයි කිව හැකිය. මෙහිදී සිදු වන අවා­ස­නා­වන්ත තත්ත්ව­යක් වන්නේ සුදු­සු­කම් නැති අදක්ෂ පුද්ග­ල­යන් ඉහළ කළ­ම­නා­කා­රි­ත්වය සඳහා තේරී පත් වීමය. ඒ ඒ අමා­ත්‍ය­වරු තම හිත­ව­තුන් ආය­තන ප්‍රධා­නීන් ලෙස පත් කරති. ඔවුන්ට අදාළ සුදු­සු­කම් පරී­ක්ෂා­වක් සිදු නොවේ. මේ ක්‍රමය ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් වෙනස් කරනු ලැබ තිබේ. එය සාධ­නීය වෙන­සකි. විද්වත් කමි­ටු­වක් ඔස්සේ අය­දු­ම්පත් කැඳවා ආය­තන ප්‍රධා­නීන් තෝරා­ගැ­නීම සිදු වන්නේ පළ­මු­වන වතා­ව­ටය.

ආය­තන ප්‍රධා­නීන් තෝරා­ගැ­නීම ඉතා පරි­ස්ස­මෙන් කළ යුතු කාර්ය­යකි. අධ්‍යා­පන සුදු­සු­කම් තිබූ පම­ණින්ම කෙන­කුට ආය­ත­න­යක් දියුණු කළ නොහැ­කිය. පරි­පා­ලන හැකි­යාව, පළ­පු­රුද්ද පම­ණක් නොව; විෂය ඥාන­යද මෙහිලා වැද­ගත්ය. විෂ­ය­ඥා­නය යන්නෙන් අද­හස් වන්නේ ආය­ත­නයේ කාර්ය­භා­රය පිළි­බඳ වැට­හී­මයි. ධීවර කර්මා­න්තය පිළි­බඳ කිසිදු වැට­හී­මක් නැති ගොවි­ය­කුට ධීවර සංස්ථාව භාර දීම සුදුසු නැත. විදේශ භාෂා­ව­ක්වත් නොදන්නා කෙන­කුට සංචා­රක මණ්ඩ­ලය භාර දීම සුදුසු නැත. තවත් කාර­ණ­යක් වන්නේ ආය­තන ප්‍රධා­න­ය­කුගේ පෞරු­ෂ­යයි. එය නාය­ක­ත්වයේ ලක්ෂ­ණ­යකි. පෞරු­ෂය යනු කෙන­කුගේ ශරීර ප්‍රමා­ණය නොවේ. පෞරු­ෂය ගොඩ­නැ‍ඟෙන්නේ පුද්ග­ල­යාගේ චර්යා රටා, අව­ස්ථා­ව­ලට මුහුණ දෙන ආකා­රය හා ඔහු සතු දැනුම මත­යැයි කිව හැකිය.

ආය­ත­න­යක දියු­ණුව රැඳී ඇත්තේ සමස්ත කාර්ය මණ්ඩ­ලයේ ක්‍රියා­කා­රි­ත්වය මතය. සෑම සේව­ක­ය­කු­ටම ආය­ත­නය පිළි­බඳ ආද­ර­ණීය හැඟී­මක් තිබිය යුතුය. එබඳු පසු­බි­මක ආය­ත­නයේ නාස්තිය අඩු වෙයි; ශ්‍රමයේ ඵල­දා­යක බව වැඩි වෙයි. මේ තත්ත්වය ආය­තන ප්‍රධා­න­ය­කුට ඇති කළ හැකිය. අපගේ විශ්වා­සය නම්; රටේ සියලු රාජ්‍ය ආය­තන යළි ගොඩ­නැ­ඟිය හැකි බවයි. එය කළ හැකිය යන සිති­විල්ල පවා වැද­ගත්ය.

Comments