
පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වූ පර්වේස් මුෂාරෆ් මහතාට එරට අධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. දඬුවම ක්‍රියාත්මක වන්නේද? නොවන්නේද? යන්න පිළිබඳ නිශ්චිත අදහසක් අපට නැත. එහෙත් මේ සිද්ධිය ඉඳුරා ප්‍රකාශ කරන වැදගත් දෙයක් තිබේ. එනම්: දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණු කෙනකුට වුව නීතියෙන් ගැලවීමක් නැති බවය. බලය පාවිච්චි කිරීමේදී දේශපාලකයන් පරිස්සම් විය යුතුය; නිලධාරීන්ද පරිස්සම් විය යුතුය. නීතිය, සම්ප්රදාය හා මනුෂ්‍යත්වය නොසලකා හරිමින් ක්‍රියා කරන ඕනෑම කෙනකුට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වන බව බොහෝ සාධකවලින් සනාථ වෙයි.
හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ. ඒ රිය අනතුරකට අදාළවය. 2016 වසරේදී වැලිකඩ ප්‍රදේශයේදී අනතුර සිදු වී ඇත. ඒ අනතුරට ගොදුරු වූ තරුණයා තවම ආබාධිත තත්ත්වයේ පසු වෙයි. නඩු විභාගය අවසන්ය. එහෙත් වින්දිතයන්ට යුක්තිය ඉටු වී නැති බව පැහැදිලිය. පොලිස් පරීක්ෂණ නිසි පරිදි සිදුව නැති බවද, රිය පැදවූ තැනැත්තා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කර ඇති බවද, සෙසු සාක්ෂි අතුරුදන් කර ඇති බවද කියැවේ. ඒ අනුව නැවත පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය වී ඇත. පාඨලී මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ඒ අනුවය.
වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුව නැත් නම්; පරීක්ෂණ යළි සිදු කිරීමද, නඩු විභාග යළි සිදු කිරීමද නීතියට අදාළ කරුණකි. පරීක්ෂණ නැවත සිදු කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. නඩු විභාග නැවත සිදු කළ අවස්ථාද ඕනෑ තරම් තිබේ. එබැවින් පාඨලී මහතාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් සිදු කිරීම ආන්දෝලනාත්මක සිද්ධියක් වන්නේ නැත. වින්දිතයන්ගේ පාර්ශ්වය තමන්ට සිදු වූ අයුක්තිය ගැන නැවත පැමිණිලි කිරීමක් සිදු කර ඇති බැවින් අදාළ ආයතන නැවත පරීක්ෂණයක් සිදු කිරීමට නෛතික වශයෙන් බැඳී සිටී. එලෙසම මෙය සරල සිද්ධියක් වන්නේද නැත.
ශ්‍රී ලංකාව යනු රිය අනතුරු බහුල රාජ්‍යයෙකි. ත්‍රස්තවාදය පැවති කාලයේ යුද්ධයෙන් මිය ගිය පිරිසට වැඩි පිරිසක් රිය අනතුරුවලින් මිය ගොස් සිටි බව ප්‍රසිද්ධ කාරණයෙකි. මේ අනුව රිය අනතුරු හැඳින්වූයේ මහමඟ ත්‍රස්තවාදය යන නමිනි. මෙලෙස සිදු වන රිය අනතුරුවල සමහර වැරදිකරුවෝ මුදල් බලය පාවිච්චි කොට නීතියෙන් රිංගා යති. තව සමහර වැරදිකරුවෝ දේශපාලන බලය පාවිච්චි කොට නීතියෙන් රිංගා යති. තවත් සමහර වැරදිකරුවෝ වින්දිතයන් බිය ගන්වා, සාක්ෂි මකා-දමමින් නීතියෙන් රිංගා යති. දේශපාලකයන් සතු රියක් දුටු විට සාමාන්‍ය පුරුවැසියෝ ඊට කොහොමත් ඉඩ දෙති. හේතුව පොලීසිය පවා දේශපාලකයන්ට වාසි සැලසෙන ලෙස පරීක්ෂණ මෙහෙයවන බවට හැඟීමක් ඔවුන් කෙරෙහි ඇති බැවිනි. පාඨලී මහතාට අදාළ රිය අනතුරද ඒ අනුසාරයෙන් අවබෝධ කරගැනීම වටී.
ඉහත රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් පවතී. ඉන් එකක් වන්නේ අනතුර සිදු වූ අවස්ථාවේ ඇමැති රථය පලා යෑම ගැනය. තව චෝදනාවක් වන්නේ අනතුර සිදු වූ අවස්ථාවේ රිය පැදවූ තැනැත්තා වෙනුවට පරීක්ෂණවලදී වෙනත් තැනැත්තකු රියැදුරු ලෙස ඉදිරිපත් කිරීමය. තවත් චෝදනාවක් වන්නේ සාක්ෂි සඳහා යොදාගත හැකි ආවේක්ෂණ කැමරාවල (සීසීටීවී) දර්ශන මකා-දැමීම ය. දේශපාලන බලය හිමි තැනැත්තකුට පොලීසියේද සහාය ඇතිව ඉහත සඳහන් දේවල් කළ හැකිය. විද්‍යාත්මක සාක්ෂි අතුරුදන් කළ පසු වින්දිතයන්ට යුක්තිය ඉටු වන්නේ නැත. නීතිය හැම විටම ක්‍රියාත්මක වන්නේ පිළිගත හැකි සාක්ෂි මතය. සාක්ෂි නැති විට නඩු විභාගයේ තීන්දු-තීරණ වෙනස් වෙයි.
දේශපාලකයන් සමාජයට ආදර්ශයක් වන ලෙස හැසිරීමට වග බලාගත යුතුය. ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයකු වාහනයේ ආසන පටිය නොපැලඳ රිය පදවා දෙවරක්ම දඩ ගෙවා ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. දියුණු රටවල දේශපාලකයන් දේශපාලන බලය පාවිච්චි කොට නීතිය වෙනස් කිරීමට යන්නේ නැත; පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන්නට යන්නේද නැත. ඔවුහු වරද පිළිගෙන දඩ ගෙවා පොලිස් නිලධාරීන්ටද කෘතඥතාව පළ කොට සිය ගමන යති. අප රටේ සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හෙල්මට් නැතිව යතුරුපැදි පැදගෙන යති. මන්ත්‍රීලාගේ දරුවෝද එසේ කරති. වාහනය නතර කොට ප්‍රශ්න කළ හොත් පොලිස් නිලධාරියාට තර්ජනය කිරීම අප රටේ ක්‍රමය වෙයි. රටක් විනයගරුක කිරීමට නම් පළමුව දේශපාලකයන් විනයගරුක විය යුතුය.
හිටපු ඇමැති පාඨලී මහතාට අදාළ සිද්ධිය ගත හොත් ඔහු නීතිගරුක ලෙසද, ආචාරශීලි ලෙසද ක්‍රියා කර ඇති බවක් පෙනෙන්න නැත. වින්දිතයන්ගේ ප්‍රකාශවලින් ඒ බව සනාථ වෙයි. අනතුරට පත් තරුණයාගේ මව පෙන්වා දෙන අන්දමට නම්, පාඨලී මහතා ඔහු බැලීමට හෝ ගොස් නැත. එබැවින් පාඨලී මහතා සිය බලය හා ජනප්‍රියත්වය පාවිච්චි කරමින් වින්දිතයන් නොසලකා හැර ඇතැයි සිතන්න පිළිවන. ඒ සියල්ලට වඩා නීතියෙන් රිංගා යෑමට උත්සාහ කිරීම වැරැද්දක් බව පෙනී යයි.
පාඨලී මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාරයේ රැඳවීම දේශපාලන පලි ගැනීමක් ලෙස හුවා දැක්වීමට යමකු උත්සාහ කළද මහජනයා මේ පිළිබඳ බොහෝ කරුණු දැනටම දන්නා බැවින් ඒ ප්‍රයත්න සාර්ථක වන්නේ නැත.