
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනමාධ්‍ය ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාව රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. ජනමාධ්‍ය භාවිතය ගැන තමා හෝ තම රජය හෝ කිසිදු බලපෑමක් නොකරන බවත්, ඒ ආයතන තම කාර්යභාරය හා වගවීම් වටහාගෙන ක්‍රියා කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. ජනමාධ්‍ය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ ඇඟිලිගැසීමක් හෝ සිදු නොකරන බවට රටේ නායකයා සහතිකයක් දීම ඉතා සුබදායක වන්නේ, මෙතෙක් බලයේ සිටි බොහෝ නායකයන් ජනමාධ්‍ය උදෙසා කුමන හෝ බලපෑමක් අඩු-වැඩි වශයෙන් සිදු කර ඇති බව හා සසඳන කල්හිය.
ජනමාධ්‍ය ආයතන කුමන හෝ දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින බවත්; කුමන හෝ පක්ෂයකට හා කුමන හෝ නායකයකුට වැඩි නැඹුරුවක් දක්වමින් ක්‍රියා කරන බවත් රහසක් නොවේ. එය නීතියෙන් තහනම් කළ හැකි දෙයක්ද නොවේ. බොහෝ රටවල ජනමාධ්‍ය ආයතන ක්‍රියා කරන්නේද ඒ ආකෘතියෙහි ස්ථානගත වෙමිනි. ඒ අනුව ස්වාධීන ජනමාධ්‍ය යනු හුදු සංකල්පයක් පමණි. එවන් තත්ත්වයක් යටතේ ජනමාධ්‍ය පාලනය කිරීමට යෑම අනුචිත හා ප්‍රායෝගික නොවන කටයුත්තක් බව බොහෝ රටවල ජනමාධ්‍ය ක්‍රියාදාමය දෙස බලන විට පෙනී යයි. ජනාධිපතිවරයා මේ යථාර්ථය මැනවින් වටහාගෙන තිබේ.
ඒ අතරම ජනාධිපතිවරයා අවධාරණය කරන වැදගත් කාරණයක්ද ඇත. එනම්: ජනමාධ්‍යයේ වගවීම හා කාර්යභාරයයි.
ජනමාධ්‍ය හඳුන්වනු ලබන්නේ රාජ්‍යයක සිව්වන බලවේගය හැටියටය. ඒ අනුව රට හා පොදුජනතාව උදෙසා ඉටු කළ යුතු වැදගත් කාර්යභාරයක් ඊට පැවරී තිබේ. පොදුජනතාවට සත්‍යය වටහා දීම, යහපත් දේ වෙනුවෙන් ඔවුන් පෙලඹවීම, රටේ අභිවෘද්ධිය සඳහා මහජන පෙළගැස්මක් ඇති කිරීම ඒ කාර්යභාරයට අයත්ය. මේ වන විට ජනමාධ්‍ය බහුතරය හුදු ව්‍යාපාරික අරමුණුවලින්ම ක්‍රියාත්මක වන බැවින් මේ පොදු ඉලක්ක ගිලිහී යමින් පවතින බවක්ද පෙනෙන්න තිබේ. ජනමාධ්‍ය ආයතන පවත්වාගැනීම සඳහා ව්‍යාපාරික සැලැක්මක් තිබිය යුතු බව සත්‍යයකි. එහෙත් එය පදනම් කොටගෙන ජාතික අරමුණු ඉවත දැමීමෙන් බලවත් විනාශ ඇති වීමට පිළිවන. ජනමාධ්‍ය සැම විටම පොදු අරමුණු මූලිකව ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි ජනමාධ්‍ය සතු වගවීම වන්නේ ජනතාවට ඇත්ත හෙළිදරවුු කිරීමය; ඒ සමඟම වැරදි තැන් පෙන්වා දීමය. රජයේ මෙන්ම නායකයන්ගේද වැරදි පෙන්වා දීම ජනමාධ්‍යයේ කාර්යභාරයට ඇතුළත් බව ජනාධිපතිවරයා කියා සිටී. සාධරණ විවේචනය වරදක් නොවන බව ඔහු දක්වයි. ජනාධිපතිවරයා බලයට පත් වූ විගස කියා සිටියේද විපක්ෂයට ජනමාධ්‍ය තුළ ඉඩක් තිබිය යුතු බවය. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය විපක්ෂයට සාධාරණ ඉඩ ප්‍රස්තාවක් සලසා දිය යුතු බව රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මතවාද සදාකාලයට සඟවා තැබීම කළ නොහැක්කක් වන සේම, සියලු මතවාදවලට නිදහසේ ගලා යෑමට ඉඩ දීමෙන් ඇත්ත කුමක්ද, බොරුව කුමක්ද යන්න තුලනාත්මකව වටහාගැනීමද පහසු වෙයි.
ජනාධිපතිවරයා ජනමාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී තවත් වැදගත් අදහස් කිහිපයක් අවධාරණය කළේය. ඉන් කිහිපයක් උපුටා දැක්වීම වටී. එක: රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව. දෙක: ආයතනවල ජනතා සේවය. තුන: ආයතනවල සිදු විය හැකි දූෂණ, වංචා හා අක්‍රමිකතා. හතර: රටේ සිදු වන ආර්ථික සංවර්ධනය. පහ: රටේ ක්‍රියාත්මක වන නව ප්රවණතා. මේවා පිළිබඳ ඇත්ත වාර්තා කිරීම ජනමාධ්‍ය සතු යුතුකමක් සේ සැලැකිය හැකිය. තරුණ පරම්පරාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී නගර අලංකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා රජයේ අරමුදල් වැය වන්නේ නැත. නගරය පිරිසුදු කිරීම මෙන්ම නගරය අලංකාර කිරීමත් මෙමඟින් සිදු වේ. රටේ නගර ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීම සංවර්ධනයට බලපාන සාධකයකි. තරුණයන්ගේ මෙබඳු ක්‍රියාකාරකම් ජනමාධ්‍ය ඔස්සේ අගය කළ යුතුව තිබේ.
රටේ ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කිරීමේදී අන්තර්ජාතික සහයෝගය ඉතා වැදගත්ය. එකිනෙක රටවල් සමඟ සේම ජගත් ආයතන සමඟද සහයෝගයෙන් කටයුතු කිරීම මෙහිදී වැදගත්ය. එහෙත් සුළු සිදුවීමකින් අන්තර්ජාතික හොඳහිත බිඳී යා හැකිය. මෙබඳු සිදුවීම් වාර්තා කිරීමේදී සැලකිලිමත් පිළිවෙතක් අනුගමනය කිරීම ජනමාධ්‍යවල වගවීමයි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ සිදු වීමට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවද එය දේශපාලන ප්‍රබන්ධයක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කර දුන්නේය. අන්තර්ජාතික මාධ්‍ය ඉහත සිදු වීමට විශාල ප්‍රචාරයක් දී ඇත. එය රටට අවාසියක් සිදු විය හැකි තත්ත්වයක් බවද පෙනී යයි. දැන් සිදු විය යුත්තේ මේ ප්‍රබන්ධයේ ඇත්ත තත්ත්වය ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරවු කිරීමය.
සාධාරණ හේතු මත පුද්ගලයන් හෝ ආයතන හෝ විවේචනය කිරීමේ කිසිදු වරදක් නැත. ඊට සම්පූර්ණ නිදහස ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. හරි විදිහට කරන විවේචනවලට බාධාවක් නැත. එහෙත් බොහෝ විට සිදු වන්නේ දේශපාලන වාසි මත හෝ පෞද්ගලික වාසි මත හෝ අයුක්ති සහගත විවේචන ඉදිරිපත් කිරීමය. එයින් රටට හෝ ජනතාවට හෝ සිදු වන යහපතක් නැත. වැඩි දෙනකුගේ අභිමතය වන්නේ පොදුජනයාට වැදගත් ජනමාධ්‍ය කලාවක් බිහි විය යුතුය යන්නය. ජනාධිපතිවරයා ලබා දී ඇති අවකාශය ප්‍රයෝජනයට ගන්නේ නම්, එබඳු ජනමාධ්‍ය කලාවක් ශ්‍රී ලංකාවේද ස්ථාපිත කළ හැකිය.