
බදු යනු රාජ්‍යයක ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් වී ඇත. එහෙත් රටක බදු ප්‍රතිපත්තිය රටවැසියාට හිසරදයක් නොවන තැනට වගබලාගැනීමට පාලකයන් ක්‍රියා කළ යුතුය. පැරණියන්ගේ උපදේශනයට අනුව මීමැස්සා මල නොතළා රොන් උරා බොන්නා සේ, රාජ්‍ය පාලකයාද ජනතාව පීඩාවට පත් නොකොට බදු අය කරගත යුතුය. දියුණු රටවල් ස්වකීය පුරවැසියන්ගෙන් ඉහළ බදු මුදලක් අය කරගනී. ඒ රටවල ජනතාවගේ ආදායම ඉහළ පරිමාවක පවතින අතර, රජය ඔවුන් වෙත පෙරළා සලසන පහසුකම්වල තත්ත්වයද සතුටුදායකය. එමෙන්ම දියුණු රටවල බදු ප්‍රතිපත්තිය අතිශය සරලය; ජනතාවට පහසුවෙන් වටහාගත හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය සංකීර්ණය; ජනතාවට පහසුවෙන් වටහාගත නොහැකිය.
පසුගිය ආණ්ඩුව එතෙක් පැවති බදු ක්‍රමයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අතර අලුත් බදු ගණනාවක්ද හඳුන්වා දුන්නේය. ඒ අනුව භාවිත බදු ක්‍රමය ඉතා සංකීර්ණ විය. එය මහජනයා තූෂ්ණීම්භූත කරන බදු අය කිරීමක් වූවා සේම දැඩි විවේචනයකටද හසු විය. ඉකුත් රජයේ ඉලක්කය වූයේ බදු මඟින් රාජ්‍ය ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒම වුව එය සාර්ථක වූ බවක්ද පෙනෙන්නට නැත. බදු ප්‍රතිපත්ති අවුල් වන තරමට ආර්ථිකයේ හැසිරීමද අවුල් වෙයි. මේ අනුව ව්‍යාපාරිකයන් නව ආයෝජන කිරීමට පෙලඹුණේ නැත. රජයේ ඉහළ නිලධාරීන් සිය මාසික ආදායම් සඟවා තබාගන්න වෑයම් කළ බවක්ද පෙනෙන්න තිබිණි. පැවති බදු ක්‍රමයෙන් ජනතාව බලවත් පීඩාවකට පත්ව සිටි බව නොයෙක් අවස්ථාවල පැහැදිලි විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ බදු සහන පිළිබඳ පොරොන්දුව ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වී තිබිණි. ඒ සටන් පාඨයේ කැපීපෙනෙන ලක්ෂණ කිහිපයක් පැවතිණි. පළමු ලක්ෂණය වන්නේ ජනතාවට පහසුවෙන් වටහාගත හැකි සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමය. දෙවන ලක්ෂණය සාමාන්‍ය ජනතාව බදු බරෙන් නිදහස් කිරීමය. තෙවන ලක්ෂණය බදු අය කරනු ලබන ආදායම් සීමා වෙනස් කිරීමය. රටේ සංවර්ධනය සඳහා ඍජු දායකත්වයක් සපයන ක්ෂේත්රවලින් අය කරගනු ලබන බදු හැකි තාක් අඩු කළ යුතුය යන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් නිගමනයක් විය. ඉදිකිරීම් ක්ෂේත්රයෙන් අය කළ බදු අනුපාතය ඉහළ අගයක් ගත් අතර, ඒ ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් පසුගිය කාලයේ දක්නට ලැබිණි.
නව රජයේ බදු ප්‍රතිපත්තිය පසුගියදා එළිදැක්විණි. ඒ අනුව බදු වර්ග අටක් ඉවත දමා ඇත; නැත හොත් අහෝසි කර ඇත. වැට් බද්ද 8% දක්වා පහත දමා ඇත (එය 15%ක් ලෙස කලින් පැවතිණි). විදුලි සන්දේශ බද්ද 25%කින් පහත දමා ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බද්ද 14% දක්වා පහත දමා ඇත (එය පැවැතියේ 28%ක් ලෙසය). ජාතිය ගොඩනැඟීමේ බද්ද අහෝසි කර ඇත (එය මහජනයාගේ විවේචනයට වැඩියෙන්ම ලක් වූ බද්දක් ලෙස හැඳින්විය හැකිය). ආගමික සිද්ධස්ථාන බදු අයකිරීමෙන් නිදහස් කර ඇත. උපයන විට ගෙවීමේ බද්දෙහි මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ දෙකහමාර තෙක් ඉහළ දමා ඇත. විදේශීය වෘත්තීන්හි යෙදෙමින් උපයනු ලබන විදේශ විනිමය සඳහා බදු අය කරන්නේ නැත. මේ අනුව සාමාන්‍ය ජනතාවටද, ව්‍යාපාරික ප්‍රජාවටද හිතකර බදු ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි සතුටු විය හැකිය.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කොට, එය මුළුමනින්ම වෙනස් කළ යුතු බවයි. එහිදී සලකා බැලිය යුතු සාධක කිහිපයක්ද ඉදිරිපත් වී ඇත. සාමාන්‍ය ජනතාව බදු බරින් නිදහස් කිරීම හා ආර්ථිකයේ ප්රබෝධයට ලක් කළ යුතු අංශවලට බදු සහන සැලසීම ඒ සාධක අතර පවතී. බදු අය කිරීම් රටේ ආනයන අපනයන කෙරෙහිද බලපායි. ආර්ථිකය නැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රය පුළුල් කළ යුතුය. ආනයන ක්ෂේත්‍රය හැකි තාක් හැකිළිය යුතුය. විවෘත ආර්ථිකය යටතේ ආනයන සීමා පැනවීම සිදු නොවූ අතර, අනවශ්‍ය භාණ්ඩවලින් දේශීය වෙළෙඳපොළ පිරී ගියේය. ගම්මිරිස්, ගොරකා, සියඹලා, හඳුන්කූරු වැනි ද්‍රව්‍ය පවා පිටරටින් ගෙන්වීම සිරිත විය. ප්‍රතිඅපනයන වැඩසටහන යටතේ මේ සඳහා සහන සැලසුණු අතර, එමඟින් විදේශ විනිමය ගැටලුවක්ද, අපනයන දුර්වල වීමක්ද මතු විය.
රටක ආර්ථිකය හැසිරවීම සිල්ලර කඩයක් පවත්වාගෙන යෑම තරම් ලෙහෙසි-පහසු කටයුත්තක් නොවේ. ලෝක ආර්ථික තත්ත්වය සේම එහි නව ප්රවණතාද සැලකිල්ලට ගනිමින් ආර්ථිකය හැසිරවීම එක අතකින් සිදු විය යුතුය. තව අතකින් කලාපීය රටවල සංවර්ධන වේගයන් සැලකිල්ලට ගනිමින් වාර්ෂික ආර්ථික වෘද්ධිය පවත්වාගත යුතුය. තවත් අතකින් ජනතාවගේ ආදායම් මට්ටම වාර්ෂිකව ඉහළ නැංවීමට අදාළ සාධනීය පියවර ගත යුතුය. මේ සියල්ල කළ හැක්කේ ආර්ථිකය පිළිබඳ පුළුල් දැක්මක් ඇතිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් පමණි. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ප්‍රතිපත්ති සම්පාදනය වැනි විෂයපථ භාර කළ යුත්තේ ඒ පිළිබඳ පරිණත ඥානයක් සහිත පුද්ගලයන්ට පමණි. පසුගිය ආණ්ඩුව ඉහත කී ක්ෂේත්‍ර හා ආයතන නුසුදුසු පුද්ගලයන්ට භාර දීම නිසා ආර්ථිකය පිරිහිණි. වත්මන් ආණ්ඩුව එය පාඩමකට ගත යුතුව තිබේ.
නව ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය දින කිහිපයේදී ගත් තීන්දු-තීරණ දෙස බලන විට පෙනී යන්නේ ජනතාවාදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සුක වන බවයි. බදු ප්‍රතිපත්තියක් ඔස්සේ ජනතාවගේ බදු බර නිදහස් කිරීමට ගත් පියවරෙන් ඒ බව පැහැදිලි වෙයි. බදුවලින් පමණක් ආර්ථිකය ගොඩනැංවිය නොහැකිය. බදු ප්‍රතිසංස්කරණය සමඟ රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමද නොපමාව ඉටු කළ යුතුව තිබේ.