මෙතැ­නින් එහා... | සිළුමිණ

මෙතැ­නින් එහා...

ප මේ ගෙවන්නේ තීර­ණා­ත්මක සංක්‍රාන්ති සම­යකි. ශ්‍රී ලංකාවේ සත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තේරීම සඳහා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ක්‍රියා­න්වි­තයේ ජන­තාව අතේ ඇති සහ ස්වාධීන මැති­ව­රණ කොමි­සම සතු තීර­ණා­ත්මක භාර­ධුර කාර්යය වෙනු­වෙන් මේ සති අන්තය වෙන් වෙයි. තමන්ගේ රට කර­වන විධා­ය­කය සහ ව්‍යව­ස්ථා­දා­ය­කය සේම රටේ නීති-රීති වෙනස් කළ හැකි, පාල­නය වෙනස් කළ හැකි බලය සහිත මහ­ජන නියෝ­ජි­ත­යන් තෝරා පත් කර­ගැ­නීමේ පරම අයි­තිය හිමි එක් කෝටි හැට ලක්ෂ­ය­කට ආසන්න ඡන්ද දාය­ක­යන් සංඛ්‍යා­වක් සඳහා 16 වැනිදා, සෙන­සු­රාදා තම බලය පාවිච්චි කිරී­මට ඡන්ද පොළ දොළොස් දහස් අට­සිය හත­ළිස් පහක් විවෘත විය. මේ බලය හිමි මෙරට පුර­වැ­සි­යන් අතු­රින් සිය­යට 80ත් 85ත් අතර පිරි­සක් ඡන්ද පොළට පැමිණ තම බලය පාවිච්චි කරනු ඇතිය යන්න මැති­ව­රණ විශේ­ෂ­ඥ­යන්ගේ පූර්ව නිග­ම­නය වීය. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් බොහෝ දෙන­කුගේ අව­ධා­නය යොමුව ඇති සැටි­යක් පෙන්වයි. ඊට හේතු වන්නේ නැවුම් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු කර­ළි­යට පැමි­ණී­මය. මේ අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර පව­තින තර­ගය සැල­කිය යුතු තරම් තියුණු එකක් වන්නේ ඔවුන් ජනා­ධි­පති පුටු­වට පත් කිරීමේ ඡන්ද බලය ඇති ඡන්ද දාය­ක­යන්ද මෙවර අති­වි­ශාල උන­න්දු­ව­කින් මේ කෙරෙහි පසු වීමය. විශේ­ෂ­යෙන් අල­සව සිටි ඡන්ද දාය­ක­යන් යළි ඡන්ද පොළට ඇද්ද­වීමේ ආක­ර්ෂ­ණ­යක් මේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ට තිබූ බව පැහැ­දි­ලිව පෙනී ගිය කරු­ණකි.

මේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රද­ර්ශිත තවත් සුවි­ශේෂ තත්ත්ව­යක් වූයේ මෙවර මාරා­න්තික මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවී­මය. පසු­ගිය 2015 මැති­ව­ර­ණ­යද බොහෝ දුරට සාම­කා­මිව පව­ත්ව­න්නට මැති­ව­රණ නිල­ධා­රීන්, පොලී­සිය සහ සිවිල් සමා­ජය කට­යුතු කළද අව­සන් දින කිහි­ප­ය අතරතුර ඡන්ද රැස්වී­ම­කදී සිදු වූ වෙඩි තැබී­ම­කින් අස­ර­ණ­යකු ඝාත­න­යට ලක් වූයේය. එසේ වුවත් මැති­ව­රණ කොමි­සම, පොලී­සිය සහ වග­කිව යුතු සියලු පාර්ශ්ව මෙවර මැති­ව­ර­ණ­යේදී එවැනි මට්ටමේ ප්‍රච­ණ්ඩ­ත්ව­ය­කට යෑමට කිසිදු අව­කා­ශ­යක් නොසැ­ල­සීම සැල­කිය යුතු එකක් විය. එයට අදාළ පාර්ශ්ව­ව­ලට රටේම ප්‍රශං­සාව හිමි විය යුතුය. එසේම මැති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යේ­දීද සියලු අපේ­ක්ෂ­ක­යන් සහ පක්ෂ සාධ­නීය මට්ට­මින් වින­යා­නු­කු­ලව හැසි­රුණු ආකා­රය දැකිය හැකි විය. කෑග­ල්ලේදී පම­ණක් එක්තරා මැති­ව­රණ රැලි­ය­කට ගිය තරු­ණි­යක දූෂ­ණ­යට ලක් කිරීමේ සිදු­වීම හැරෙ­න්නට බොහෝ ප්‍රවා­රණ කට­යුතු මැති­ව­රණ නීති-රීති­ව­ලට අනු­කූ­ල­වම සිදු විය. මේ නිසාම රට තුළ ඇඟට දැනෙන ආකා­රයේ මැති­ව­රණ උණු­සු­මක් නොති­බිණි. එයට හුදෙක් හිතට පම­ණක් දැනෙන උණු­සු­මක් පම­ණක් විණි. අප දුටු තවත් සාධ­නීය පිය­ව­රක් වූයේ මෙවර අපේ­ක්ෂ­ක­යන් පරි­ස­රය පිළි­බ­ඳ­වද උන්නදු වීමය. සෑම පක්ෂ­යක්ම පාහේ තම මැති­ව­රණ රැලි අහ­වර වූ පසු ඒ ස්ථාන ඉතා හොඳින් පිරි­සිදු කිරී­මට කට­යුතු කිරීම පැස­සිය යුතුය. මෙවැනි පිය­ව­ර­ව­ලින් පෙනී යන්නේ රටේ ශිෂ්ට­ත්ව­යද යම් වර්ධ­නීය ප්‍රව­ණ­තා­ව­කට අව­තීර්ණ වී ඇති බවයි. මේ තත්ත්ව­යට බොහෝ දුරට බලපෑ කරු­ණක් වූයේ දේශ­පා­ල­නික ග්‍රහ­ණ­යෙන් මිදුණු මැති­ව­රණ කොමි­ස­මක් සහ පොලී­සි­යක් රටේ තිබී­මය. ඒ ස්වාධී­න­ත්වයේ, නීති­ග­රු­ක­ත්වයේ සහ වින­යා­නු­කූල භාවයේ සහ­නය පුර­වැ­සි­යන් ලෙස සැබෑ ලෙසම මේ ගෙවුණු මැති­ව­රණ සමයේ අපි භුක්ති වින්දෙමු. යම් හෙය­කින් දේශ­පා­ල­න­යට පහසු­වෙන් හැසි­ර­විය හැකි පොලී­සි­යක් හෝ මැති­ව­රණ යන්ත්‍ර­ණ­යක් පැව­තියේ නම් මේ සහ­න­ශීලි වාතා­ව­ර­ණය අපට සිහි­න­යක් පම­ණක්ම වනු ඇත. මේ මැති­ව­රණ සමයේ අප අත්දුටු තවත් විශේෂ ලක්ෂ­ණ­යක් වූයේ පක්ෂ පාට බදා­ගත් පාක්ෂි­ක­යන්ගේ වඳ වී යෑමය. කැපු­වත් තමන්ගේ පක්ෂය අත් නොහ­රින පාර­ම්ප­රික දේශ­පා­ල­න­ය­කට බවු­තීස්ම වීමේ ආවේ­ණික ලක්ෂ­ණ­ය­න්ගෙන් යුතු ශ්‍රී ලංකාවේ වර්ත­මාන පර­ම්ප­රාව මේ ජාන­ගත තත්ත්ව­යෙන් වියුක්ත වෙමින් තිබේ. තරු­ණ­යන් දේශ­පා­ල­නය ගැන උනන්දු නොවීම සම්බ­න්ධ­යෙන් අප කල­බල විය යුතු වුවද පක්ෂ-පාට බදා­ගෙන මැරෙ­න්න යන දේශ­පා­ල­න­යෙන් ඈත් වීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ දිදු­ලන අනා­ග­ත­යක් ගැන එක්තරා පෙර­නි­මි­ත්තකි.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදි සමා­ජ­යක දැකිය හැකි උත්තුංග ලක්ෂණ කරා රටක් ලෙස ගමන් කරන බව පෙන්වන මේ පෙර­නි­මිති සුබ-අසුබ බවට පත් කර­ගැ­නීමේ බල­යද ඇත්තේ මේ සර්ව­ජන ඡන්ද බලය හිමි අප­ට­මය. අප ගමන් කළ යුත්තේ මෙතැ­නින් ඉදි­රි­ය­ටය. නීති­යට ගරු කරන, හොර-බොරු නොක­රන, තමන්ගේ වැරදි හංග­න්නට හෝ තමන් හැංගෙ­නන්ට යන සමා­ජ­යක් වෙනු­වට; ඉතා විවෘත, මනා ප්‍රජා­ත­න්ත්‍රීය නිද­හ­සක් විඳින රටක් අප නිර්මා­ණය කර­ගත යුතුය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රටක් ලෙස, දේශ­පා­ලන නාය­ක­යන් ලෙස අප පෙන්වා ඇති ප්‍රග­තිය තව­දු­ර­ටත් ඉදි­රි­යට තල්ලු කළ යුතුය. එය මේ රට කිසිදු යට­ත්වි­ජි­ක­ර­ණ­ය­කට හෝ පැසි­ස්ට්වාදි ඒකා­ධි­ප­ති­ත්ව­ය­කට යළි තල්ලු නොකි­රී­ම­කට හේතු වන්නකි. ඇතැම් විට මෙවැනි ප්‍රග­ති­ශීලි ඉදිරි පිය­ව­රක් වෙනු­වෙන් දැනට රටේ පව­තින ව්‍යව­ස්ථාව තුළ හෝ රටේ පව­තින සිය­වස් ගණ­නක් පැරණී නීති-රීති තුළ අව­කාශ නොති­බෙ­න්නට පිළි­වන. එබැ­වින් මෙකී ස්වර්ග රාජ්‍ය­යක් සඳහා වූ කති­කා­වක් සෑම අංශ­ය­කම සිදු විය යුතුය. ඒ සඳහා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ සිට තරුණ, කාන්තා ආදි සියලු නියෝ­ජ­න­ය­න්ගෙන් සම­න්විත විය යුතුය. එබැ­වින් නව කති­කා­වට මුල පිරීම සඳහා හොඳ පසු­බි­මක් සැක­සීම අලු­තින් පත් වන නාය­ක­ය­න්ගේත් ඔවුන් පත් කිරීමේ බලය සහිත ජන­තා­ව­ගේත් එකම අර­මුණ විය යුතුය.

Comments