
ජර්මනිය පමණක් නොව සමස්ත යුරෝපය ම බෙදීමකට ලක් කළ විවාදිත බර්ලින් තාප්පය බිඳ දමා හරියට ම වසර 30කි. 1989 නොවැම්බර් 09 වැනි දින බිඳ හෙළුණු බර්ලින් තාප්පය නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක් කළා පමණක් නොව සමස්ත යුරෝපයේ ම යම් සමාජාර්ථික වෙනසකට ලක් කිරීමට හේතු වූයේය. මේ කාර්යයයේදී විශාල තිරය පසුපස කාර්යභාරයක් ඉටු කළ චරිතයක් විය. ඔහු සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් ජනාධිපතිවරයා වන මිකායිල් ගොර්බචොව් ය. නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පුද ලද ගොර්බචොව් දැනට ජිවිතයේ සැඳෑ සමය ගත කරන අතර ඔහු පසුගියදා බර්ලින් තාප්පයේ බිඳ වැටීම සහ එයින් ඇති වු ය්රරෝපීය ප්රබෝධය ගැන ලිපියක් ලිවේය. කවර දේශපාලන නායකයන්, කවර ආකාරයක පියවර ගත්තද අවසානයේ ප්රජාතන්ත්රීය පසුබිමක් තුළ රටක් ලෝකයක් ජයග්‍රහණය කරවන්නේ ජනතාව බව මේ ලිපියෙන් ඔහු අධාරණය කළේය. මේ ජනතාවගේ අභිලාශ වෙනුවෙන් ඔවුන් විසින් පත් කරනු ලබන නායකයන් පෙනී සිටිය යුතු බව ද ඔහු පසක් කළේ ය.
ප්රජාතන්ත්රීය පසුබිමක ජනතාව සතු බලය පිළිබඳ ව මේ වසරේ ඡන්ද වරම හිමිවුණු නව යොවුන් ගැටවරයන්ට අත්දකින්නට ලැබෙන පළමු අවස්ථාව තවත් සතියකින් උදා වනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයයි. මේ ජනාධිපතිවරණයේ විශේෂත්වයක් තිබේ. එනම් මීට කලින් ජනාධිපති හෝ අගමැති ධූර නොදැරූ තරගකරුවන්ගෙන් ජනාධිපතිවරණ පොරපිටිය සුසැඳිම ය. ඒ අනුව ජනතාව තුළ වඩාත් විශ්වාසය දිනා ගත හැකි නැවුම් රාජ්‍ය නායකයකු ජනාධිපතිවරයා ලෙසින් පත් කර ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට ලබන සති අන්තයේදී අවස්ථාව හිමි වෙයි.
හිටපු රුසියානු ජනාධිපතිවරයා පවසන ආකාරයට ජනබලයකට එදා නැගෙනහිර සහ බටහිර ජර්මනියට බර්ලින් තාප්පය පෙරළන තැනට කටයුතු යොදන්නට හැකි වුව ද අපට පෙරළන්නට එවැනි භෞතික තාප්ප නැත. එහෙත් අපේ සමාජාර්ථික පසුබිම සැලකීමේදී හා මේ රටේ ආකල්ප චර්යා පිළිබඳ ව සැලකීමේදී අපට පෙරළන්නට තාප්ප බොහෝ ඇත. මේ අදිසි පවුරුවලින් මේ රටේ සමාජ දේහය විවිධාකාර අන්දමින් සිරවී ඇත. ප්රජාතන්ත්රවාදි රටක් වුවද ඇතැම් අය ඔවුන්ගේ පාලනයේ පහසුව තකා හෝ බලය ලබා ගැනීමේ පහසුව කතා රටේ ජනතාව විවිධ “තාප්පවල“ කොටු කරවන්නට කටයුතු කරන අවස්ථා ද ඇත.
මේ කතාව සරල ව කියන්නේ නම් මෙවර ජනාධිපතිවරණ සටනේදී එක එක අපේක්ෂකයන් සම්බන්ධයෙන් ගෙන ගිය මතවාද ප්‍රචාරවල අතාර්කික බව සහ ඒවා පසුපස පැවති විවාද සැඟවුණු අරමුණු පිළිබඳ ව රටේ ජනතාවට හොඳට ම උදාහරණ ඇත. බොහෝ විට සිදුවන්නේ බිල්ලන් මැවීමකි. මේ ඡන්ද සටනේ මුල් අවදියේදී උතුරේත් දකුණේත් අනවශ්‍ය ආකාරයේ බෝම්බ බියක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරූහ. සිදු කරගෙන ගිය පරීක්ෂණවලින් තහවුරු වූයේ කිසිදු පදනමකින් තොරව නිර්මාණය කෙරුණු මේ හුඹස් බිය පසුපස සැඟවුණු දේශපාලනික අරමුණු සහ ඊට අදාළ චරිත සිටි බව ය. පසුගිය අප්‍රියෙල් මාසයේදී සිදුවූ මුස්ලිම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ රටේ ජාතිවාදී කලබල ඇවිස්සීමේ කටයුතු පසුපස සිටියේ කවුද යන්න ජනතාව හොඳින් දනී.
පාස්කු ප්‍රහාරයෙන් ගලා ගිය රුධිරය වේලෙන්නටත් කලින් ඊළඟ ජනාධිපතිවරණයට එන බවට ලකුණු පළ කළ එක් සිහින නායකයෙක් අවස්ථාවාදී ලෙස මේ රුධිරය මත යළි මෙවැනි දේ සිදු නොවන්නට තමාට බලය දෙන්නැයි ප්‍රසිද්ධියේ කෑ මොර ගැසුවාද බොහෝ අයට මතක ය. සමහරු ජාතිවාදී ගිනිදැල් අවුස්සන්නට වුහ. එහෙත් දැන් මේ ඔවුන් ගෙන් ඇතැමකුට ලජ්ජාව වසා ගන්නට තම දේශපාලන පක්ෂ පවා ජනතාවට පේන්නට හැර යන තැනට ඒවා නිරුවත් විණි.
ජනතාවගේ ගමනට හරස් වන අදිසි තාප්ප, බාධක පෙරළීමට ජනතාව බලය දිය යුත්තේ එවැන ප්රගතිශීලි ජනතා ගමනකට උර දෙන නායකයන්ට මිස එවැනි ගමනකට එරෙහි වන නායකයන්ට නොවේ. මෙතෙක් ජනාධිපතිකම් දරා නොමැති අපෙක්ෂකයන් අතුරෙන් රටේ නායකත්වයට කෙනකු පත් කිරිමේදී ඔහුගේ ඈත මෑත පැටිකිරිය විමසිය යුතුය.
ඔවුන් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් විය යුතුය. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ප්රකාශනයේ අයිතිය රකින්නකු විය යුතුය. දූෂණයෙන් අපරාධ විෂමාචාර නඩුවලින් තොර අයකු විය යුතුය. අධිකරණයක නඩුවක් තිබුණත් නොබියව අධිකරණයක් හමුවට ගොස් එයට මුහුණ දෙන්නකු මිස ඊනිසා අධිකරණමය වාරණ හරහා උසාවි මඟහරින්නකු නොවිය යුතුය. වංචා දූෂණ හෙළිදරව් කෙරෙද්දී එසේ හෙළි කරන මාධ්‍යව්දීන්ට පන්නා ගසා අතපය නොකඩන්නකු විය යුතුය. මහමගදී උල්ආයුධවලින් ඇණ මරා දමන්නකු නොවිය යුතුය. එසේම මත් කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වනකු නොවිය යුතුය. ජනතාව ඉදිරියේ හෝ මාධ්‍ය ඉදිරියේ නොබියව මුහුණ දෙන්නකු විය යුතුය. තමන් ගැන දේශපාලනිකව හෝ වෙනත් කවර ආකාරයේ හෝ චෝදනාවක් පවතින්නේ නම් ඒ ගැන පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ හැකි අයකු විය යුතුය. මේවා කරන නොකරන අය ගැන ජනතාව තුළ නිසි තක්සේරුවක් තිබේ.
ජනතාව සහ රට සම්බන්ධයෙන් පුළුල් දැක්මක් ඇති අනාගත ලෝකයේ හැඩරුව පිළිබඳව නිසි සංවේදනයක් ඇති නායකත්වයක් අද රටට අවශ්‍ය ය. මේ රටේ ජනතාව මෙතෙක් ලබා ඇති ප්රජාතන්ත්රීය අයිතීන් සුරකින රටේ සෑම ජාතියක් ම පිළිගන්නා නායකත්වයක් අවශ්‍ය ය. මොන කතා කීවත් රටේ නීතියේ ආධිපත්‍යය ගැන අල්ලස දූෂණය තුරන් කිරීම ගැන එවැනි ස්ථම්භ බිඳ දැමූ අය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ වෙනුවට අපට විශ්වාස කළ හැක්කේ බිම් මට්ටමේ සිට විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇති කළ, ප්‍රායෝගිකත්වයක් ඇති තරුණ සිතුම් පැතුම් හඳුනන දේශපාලනික අත්දැකීම් ද ඇති නායකත්වයකට පමණි. විශේෂයෙන් සමාජ විප්ලවයක් සිදු කරවන මේ රටේ ගොඩනැඟුණු විවිධ පවුරු පදනම් බිඳලිය හැක්කේ ජනතාව එවැනි නායකයකු වටා බලය කේන්ද්‍ර කළහොත් පමණි. ඒ සඳහා මේ පුංචි ප්රජාත්නත්රවාදී රාජ්‍යයේ වැසියන්ට ලබන සෙනසුරාදා තම තීරණය ලබා දිය හැකිය. එබැවින් මේ දින කිහිපය ඇතුළත මේ සියල්ල කිරා මැන බලා තම තමන්ගේ ජීවිත සහ රටේ අනාගතය දිනා ගැනීම ගැන කල්පනා කළ යුතු ව ඇත.