
රාජ්‍ය සේවය පිළිබඳ මේ දිනවල යළිත් අවධානය යොමුව තිබේ. එක් අතකින් ඒ සඳහා බලපෑ කාරණා කිහිපයක් ඇත. එකක් ජනාධිපතිවරණය කට උඩට ආ කාලයේ රාජ්‍ය සේවය නියෝජනය කරන විවිධ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වර්ජනයි. ඊළඟට අපට මතක් වන්නේ ඒ ආසන්නයේදීම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා ය. මේ දිනවල රාජ්‍ය සේවය ගැන දේශපාලන වේදිකාවේ වැඩි අවධානයක් යොමු වන්නේ ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නිසාය. මේ ප්‍රධාන පෙළේ කාරණා ත්‍රිත්වය නිසා පසුගිය කාලයේ රාජ්‍ය සේවය පිළිබඳ මෙරට සමාජ තලයේ විවිධ කතාබහ විවේචන යෝජනා ඉදිරිපත් විය.
ශ්‍රි ලංකාවේ රාජ්‍ය අංශයේ සේවය කරන සමස්ත පිරිස ලක්ෂ 10කට ආසන්නය. ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද මෙයට ඇතුළත් වෙයි. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශයේ සේවාමය කාර්යය සඳහා දායකත්වය ලබා දෙන මානව සම්පත මෙහි නියෝජනය වෙයි. කම්කරුවාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වාම වූ පුළුල් ධූරාවලි නියෝජනයක් මෙම රාජ්‍ය සේවයේ ඇත. එය ලෝකයේ ඕනෑම රටක දැකිය හැකි තත්ත්වයකි. ආරක්ෂක, පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, යටිතල පහසුකම් සම්පාදන, ඉංජිනේරු, තාක්ෂණ සේවා ආදි පුළුල් පරාසයක විහිදෙන මේ රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් පොදුවේ රටේ ජනතාව පැත්තෙන් ඇත්තේ සර්ව සුබවාදී ආකල්පයක් නම් නොවේ. එසේ වුවද රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ගේ සක්‍රිය දායකත්වය තීරණාත්මක වී තිබේ. මේ බව රජය ද අවබෝධ කරගෙන සිටින බව පෙනෙනුයේ ඔවුන් කෙරෙහි රජය විවිධ වරප්‍රසාද අවස්ථා සහ ප්රතිලාභ ගොන්නක් ලබා දෙන විට ය. මේ වන විට රාජ්‍ය සේවකයන්ට පොදුවේ ලැබෙන හිමිකම් වරප්‍රසාද ගණනාවක් තිබේ. එ්වා දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයේදී ලැබෙන සහනය, වාර්ෂිකව පවුලට ලැබෙන දුම්රිය ප්‍රවේශ පත්‍ර, විවිධ ආයතනවලට අදාළ වූ දීමනාවල සිට තීරු බදු රහිත වාහන බලපත්‍රය දක්වා පුළුල් පරාසයක විහිදෙයි. එයට සුබ සාධන අංශයෙන් අග්‍රහාර රක්ෂණ විවිධ ණය පහසුකම් ආදියද ඇතුළත් ය. මේ සියලු වරප්‍රසාද රාජ්‍ය සේවකයන් වෙත ලබා දෙන්නේ රජය ඒ වෙනුවෙන් ඇතැම් විට අතිවිශාල මුදල් අතිරේක පිරිවැයක් ලෙස දරමිනි. මේ වරප්‍රසාදවලට අමතරව පත් වන විවිධ රජය වරින් වර විවිධ වැටුප් වර්ධක ලබා දීම ද සිදු විය. කෙසේ වුවත් මෙවැනි වැටුප් වර්ධක රාජ්‍ය අයවැයට අධික බරක් වුව ද රටේ සමාජාර්ථික පසුබිම තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට මේ කැපවීම කරන්නට සිදු වේ.
මෑත කාලයේ සිදු කරන ලද විසල්ම වූ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ කාර්යයට ගෙල දුන්නේ මේ ආණ්ඩුවයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාව සම්බන්ධයෙන් සහ මේ රටේ අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් හිමි වන වරප්‍රසාදවලට සාපෙක්ෂව ඔවුන්ගේ කාර්යක්ෂම බව පිළිබඳව රාජ්‍ය අංශයට පවතින චෝදනා නිසා මෙවැනි වැටුප් වැඩි කිරීම් ඇතැම්හු සුබවාදීව නොදකිති. එවැනි විවේචන පවා දරාගනිමින් රජය වැටුප් වැඩි කිරීමට කටයුතු කළ අතර සමස්තයක් ලෙස මේ තත්ත්වය නිසා 2015 වසරට සාපෙක්ෂව රජයේ සේවකයකුගේ වැටුප 2020 වසරේදී 107%කින් වැඩි වෙයි. එ් සීමාව ද ඉක්මවමින් 250%කට අධික වැටුප් වැඩි වීමක් ද ඇතැම් නිලතලවලට ලැබෙන අයුරු පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීහර මහතා විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි.
මේ විසල් වැටුප් වැඩි කිරීමට අමතරව රජය පසුගියදා තම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තවත් සහන මල්ලක් ද ලබා දෙමිනි. මේ අතුරු සම්මත ගිණුමේ ඇති යෝජනාවලට අනුව රාජ්‍ය සේවක ආපදා ණය සීමාව රු. 250,000 සිට 350,000 දක්වා ඉහළ නැංවීම, කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම, පාපැදි ණය සීමාව වැඩි කිරීම සහ පොලිය අඩු කිරීම, ඇස් කන්නාඩි දීමනාව රු. 500ක් දක්වා වැඩි කිරීම, තෝරාගත් සේවාවලට අනිවාර්ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ග්‍රාම නිලධාරීන්ට අදාළ දීමනා ඉහළ නැංවීම ඇතුළු යෝජනා ගණනාවක් ඇතුළත් විය. මේ සියලු යෝජනා රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරීන්ට ධෛර්යයකි. එසේම ඔවුන්ට මේ සමාජයේ අභිමානවත් ලෙස ජීවත් වීමට ලැබෙන දිරියකි. මිලියනයක් පමණ වන රාජ්‍ය සේවයේ නිරත වන්නන්ට මේ ප්රතිලාභ ලබා දීම අභියෝගයක් වුවද සමස්ත රටේ ජනතාව රාජ්‍ය සේවකයන්ගේ මෙකී අභිමානය සහ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් එය දරාගැනීම බලාපොරොත්තු විය හැකිය. එසේ වුව ද ඔවුන්ට රජය මඟින් දැඩි කැප වීමකින් යුතුව ලබා දෙන මේ සහනයන්හි වටිනාකම තේරුම් ගැනීම රාජ්‍ය සේවකයා සතු මූලික වගකීමකි. මේ වගකීමට අදාළ ප්‍රතිලාභය ඔවුන්ට පෙරළා ලබා දීමට සෑම දිනකම අවස්ථාවක් උදා වෙයි. ඒ තමන් හමුවට එන රටේ ජනතාවට උත්තුංග වූ තම සේවය නිසි පරිදි ලබාදීම ය. රටේ කාර්යක්ෂමතාවට රටේ ඉදිරි ගමනට දිරියක් වීම ය.