
දේශපාලනයේ පවුල් සංග්‍රහය අද ලෝකයම දවන ප්රශ්නයකි. දේශපාලන පන්තියට පමණක් ඔරොත්තු දෙන, රටේ බහුතර ජනතාවට ඔරොත්තු නොදෙන මේ ප්‍රවණතාව කෙරෙහි ලෝකයේම සාමාන්‍ය ජනතාව කෙරෙන් නැඟෙනුයේ මහා විරෝධයකි. විශේෂයෙන් ලෝකයේ තරුණ ප්‍රජාව මේ නිහීන දේශපාන සමප්රදාය පිලිකුළෙන් හෙළා දකිති.
මේ පිළිබඳ ලෝකයේ අවධානයට ලක් වූ ආසන්නතම සිදුවීමක් ලෙස සැලකිය හැක්කේ මීට දින කිහිපයකට කලින් ඇමෙරිකාවේ වූ සිදුවීමකි. ඒ එරට රිපබ්ලිකන් ජාතික කමිටුවේ සභාපතිනි රොනා මැක්ඩැනියෙල් එරට හිටපු උප-ජනපතිවරයකු සේම ඊළඟ ජනාධිපති අපෙක්ෂකයා වීමට සිටින ජෝ බිඩෙන්ගේ ඥාති සංග්‍රහයක් ගැන කළ හෙළිදරවුව වටා සිදු වූ සිදුවීමය. තම පුතු වන බිඩෙන් හට කළ ඥාති සංග්‍රහ ගැන ට්විටර් සමාජ ජාලය හරහා විශාල චෝදනාවක් නැඟුවාය. පවුල් වීදුරු මාලිගාවක සිට මේ ගල ගැසූ රොනාට මේ විදුරු බිඳෙන ප්‍රතිප්‍රහාරයක් ට්විටර් භාවිත කරන්නන්ගෙන් එල්ල වීමට විනාඩි කිහිපකට වඩා ගත වූයේ නැත. ඇය ජෝ බිඩෙන්ගේ ඥාති සංග්‍රහ ගැන කතා කළද ඇයද මේ වන විටත් පවුල්වාදයේ ප්රතිලාභ වරප්‍රසාද භුක්ති විඳින්නියක බව ඇයට ඔවුන් මතක් කර දී තිබිණි. රොනාද වරක් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා යෝජනා වූවකු මෙන්ම වර්තමානයේද සෙනෙට් සභිකයකු ලෙස කටයුතු කරන මිට් මැක්ඩැනියෙල්ගේ දියණිය බව පතළ වූයේ එවිටය. ඇමෙරිකාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රික ගුණාංග අතරේ පවා පවුල්වාදයේ අවස්ථා සොයන දේශපාලකයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප වන අතරේ, ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාවද මේ පවුල්වාදි දේශපාලනය ප්‍රතික්ෂේප කරන ආකාරය අපට පසුගිය 2015 ජනපතිවරණයේදී දැකගත හැකි විය.
ඉංග්‍රීසියෙන් Nepotism හැඳින්වෙන්නේ යම් තැනැත්තකු බලය ඇති අවස්ථාවක එය භාවිත කරමින් තම ඥාති-හිතමිත්‍රාදීන්ට වරදාන-වරප්‍රසාද සැලසීමය. මේ ඥාති සංග්‍රහයේ කූටප්රපාප්තිය සටහන් කළ දේශපාලන පවුල සිටිනුයේ ශ්‍රී ලංකාවේය. ජනාධිපති, කථානායක, ප්‍රධාන පෙළේ අර්ථික මෙහෙයුම් කටයුතු මෙන්ම රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය එකම පවුලේ සහෝදරයන් අතර බෙදෙන ආකාරයේ ලෝකයේ කිසිදු ප්‍රජාතාන්ත්‍රික සමාජයක නැති සංසිද්ධියක් ඇති විණි නම් ඒ ශ්‍රී ලංකාවේය. මෙය අනාගතයේදී ලෝක දේශපාලනයේ කුප්‍රකට සිද්ධි අධ්‍යයනයකට පවා මඟ පාදනු ඇත. එයින්ද ඔබ්බට ගොස්, ඒ වටා පැවති බල යන්ත්රණයන්හිද ඒ පවුලේ සාමාජිකයන්ගේ පුළුල් නියෝජනය රටේ ආර්ථිකයට මහා බරක් වන තැනට කටයුතු යෙදිණි. මේ පවුලට වන්දිභට්ටකම් කළ ඇතැම් දේශපාලකයන්ද තම නායකයන්ගේ ආදර්ශය ගෙන, ඒ ආකාරයට ප්රජාතන්ත්රවාදයේ කකුළු ගමනක යෙදුනු බවට මෙරට රජයේ විගණන දෙපාර්තමේන්තු සාධක පවා සාක්ෂි දරයි.
රටට බරක් වූ, රටේ මහජනතාවගේ නිදහසට ප්රජාතන්ත්රීය අයිතීන්ට බාධකයක් වූ මේ අඳුරු ප්‍රවණතාව 2015දී නිමා කරන්න සමත් වූයේද මේ රටේ සියලු බලවේගයන්හි ඒකාග්රතාවයි. වර්තමානයේ බලයේ සිටින දේශපාලකයන්ට පවා මේ මැතිවරණ සමයේ අනවශ්‍ය සෙල්ලම් දැමිය නොහැකි තරමට මැතිවරණ කොමිසම සක්‍රිය වූයේත්, විපක්ෂයට පවා බියක් සැකක් නැතිව අධිකරණයට යන්නට, එසේ නැත හොත් මහජන දේපළ අවභාවිත කිරීමේ නඩුවකදී පවා අධිකරණයට වහං වී සිටින්නට හැකි ආකාරයට අධිකරණයේ පිහිට පැතිය හැකි තරමට අධිකරණය ස්වාධීන වූයේත් පොලීසියට හා අල්ලස් හෝ දූෂණ සොයන නිලධාරීන්ට කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කළ හැකි තැනට පත් වූයේත් 2015 ජනවාරියේ රටේ ජනතාව විසින්ම දිනාගන්නා ලද ප්රජාතන්ත්රීය නිදහස නිසාය. එහෙත් මේ ප්‍රජානත්ත්‍රීය අයිතීන් භුක්ති විඳින ජනතාවට අද මේ දේවල් අමතකව ගොසිනි. අපට යළි ඒ බව පසක් කරන්න සිදුව ඇත්තේ එබැවිනි.
අප රටේ ජනතාවට ලද මේ නිදහස තවදුරටත් වැඩි-දියුණු කරගෙන සාමකාමි නීතිගරුක දියුණු සමාජයකට පියවර නඟනවාද, නැති නම් යළි පවුල්වාදයෙන් සහ යළි රජ වීමේ මානසිකත්වයෙන් කටයුතු කරන රාජ්‍යත්ව පාලනයකට යනවාද යන්න ගැන සිතන කාලයක් මේ වන විට උදා වී තිබේ. යළිත් බලයට එන්න දඟලන පවුලක් දැන් ජනතාව හමුවේ කියන්නේ මල්ලී-අයියා ජනපති-අගමැතිකම් බෙදාගන්නා බවකි. එසේම එදා එකාවන්ව අත එසවූ 19 වැනි ව්‍යවස්ථාවෙන් ජනතාව ලද නිදහස අද මේ පවුල්වාදි දේශපාලනයට වහ කදුරු වී ඇත. මේ ස්වාධීන කොමිෂන් සභා යළි අක්‍රිය කොට, රටේ සියලු යන්ත්‍රණ පවුලක් අතට යළි ලබාගැනීමේ සටන වෙනුවෙන් ඔවුහු මේ වන විට ඉතා පහත් ලෙස තමාගෙන් ඉදිරියට වාසි ලබාගන්න සිටින මාධ්‍ය භාවිත කරති.
දැඩි අසීරුතා මැද ආර්ථික වශයෙන් රට ශුභ දිශානතියකට හැරවී ඇති මොහොතක, එහි ප්රතිලාභ ජනතාවට කෙමෙන් අත් කර දෙමින් සිටින මොහොතක මේ බලවේගවලට අවශ්‍ය වී ඇත්තේ රටේ ජනතාවට විවිධ සළු-පිළි අන්දවා මේ බලය තම පවුල වෙත නැවතත් කේන්ද්‍රගත කරගැනීමය; පසුව තමාට අන්තේවාසිකකම් කළ කළු ව්‍යාපාර පසුපස තබාගෙන ජඩ මාධ්‍ය හසුරුවන ජාවාරම්කාරයන්ගේ මෙකී නොකී මනදොළ සපුරාලීමය.
එහෙත් අද ජනතාව සිටිනුයේ මේ ජඩ මාධ්‍යටත් ජඩ දේශපාලනයටත් එහා ගොසිනි. ජනමාධ්‍ය ඔස්සේ වපුරන්න යන බොරුව ඇත්ත ඇති සැටියෙන් විනාඩි කිහිපයක් ඇතුළත සමාජ මාධ්‍ය ඔස්සේ එයි. විශේෂයෙන් මේ රටේ බුද්ධිමත් ප්‍රජාවට මේ ඇත්ත පහසුවෙන් වටහාගත හැකිය. මෙලෙස ඇත්ත වටහාගන්නා ජනතාව මේ දිනවල ඔවුන්ට ලැබී ඇති පූර්ණ බලය ගැන මනා සිහියෙන් යුතුව කටයුතු කළ හොත්: අපට නිදහස, ආරක්ෂාව ඇති, යුක්තිගරුක රටක සාමකාමිව සමෘද්ධිමත්ව ජීවත් වීමේ අයිතිය හිමි වනු ඇත.