අට වැනි ජන­ප­ති­ව­ර­ණය අබි­මුව | සිළුමිණ

අට වැනි ජන­ප­ති­ව­ර­ණය අබි­මුව

ශ්‍රී ලංකාවේ සත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තේරීම සඳහා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින තීන්දු වී තිබේ. නොවැ­ම්බර් 16 වැනිදා පැව­ත්වී­මට නිය­මිත මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය මෙරට මැති­ව­රණ ඉති­හා­ස­යට එකතු වන අට­වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. 1982න් ආරම්භ වී 1988, 1994, 2000, 2005, 2010 සහ 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­ව­ලින් පසු මෙය පැව­ත්වෙන්නේ රට සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­යක් වෙත ළඟා වීමෙන් පසු­වය.

1977දී බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජය මෙරට පළ­මු­ව­රට විධා­යක ජනා­ධි­පති ක්‍රමය නිර්මා­ණය කළ අතර, මේ සම්බ­න්ධ­යෙන් විවිධ විවේ­චන ගණ­නා­වක් මේ වන විට එල්ල වී තිබේ. ඒ අතරේ එය රටක සංව­ර්ධ­නය පිළි­බඳ සැල­කී­මේදී සාධ­නීය බවක් පව­ති­න්නක් ලෙසද අරුත් ගන්වන විද්වත්හු සිටිති. 1994 සිට පසු­ගිය අව­සන් මැති­ව­ර­ණය දක්වා වූ සෑම ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ක­දීම විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීමේ පොරො­න්දුව මූලික මැති­ව­රණ පොරො­න්දු­වක් ලෙස බැබ­ළු­ණද මේ සුපිරි පොරො­න්දුව යාන්ත­මින් හෝ ඉටු කර­න්නට සමත් වූයේ වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ රජය පමණි. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය මඟින් විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා සතු සුපිරි බල­තල යම් කප්පා­දු­ක­ර­ණ­ය­කට ලක් කිරී­මෙනි.

විධා­යක ජනා­ධි­පති ක්‍රමය සම්බ­න්ධ­යෙන් මේ වන විට විවිධ මත­වාද එක්ව තිබෙන අතර, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සම්බ­න්ධ­යෙන් සහ ජනතා පර­මා­ධි­ප­ත්‍යය සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන් උනන්දු වන්නන් අව­ධා­ර­ණය කරන්නේ ජනා­ධි­ප­ති­ව­රයා සතු විධා­යක බල­තල අහෝසි කොට, පාර්ලි­මේ­න්තු­වට -එනම්: අව­සා­නයේ ජන­තා­වට- වග කියන පාලන ක්‍රම­වේ­ද­ය­කට අප ගමන් කළ යුතු බවය. ඒ ගැන ඉදිරි කාලයේ පුළුල් කති­කා­වක් නිරා­යා­ස­යෙන්ම සමා­ජ­ගත වීම වැළැ­ක්විය නොහැකි තරම්ය.

මෙරට ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සය පිළි­බඳ සැල­කී­මේදී එක් මැති­ව­ර­ණ­යක් තවත් එක­කට සංස­න්ද­නය කිරීම තර­මක් උග­හ­ටය. ඒ පසු­ගිය දශක දෙක-තුන තුළ ලෝකයේ රටාව තාක්ෂ­ණ­යත් සමඟ වෙනස් වීමත්, ලෝක­යේම ජන­තාව වැඩ කරන ආකා­රය, හිතන-පතන ආකා­රය කාල­යෙන් කාල­යට වෙනස් වීමත් නිසාය. එමෙන්ම රට තුළ එක් එක් කාල­ව­ක­වා­නු­වල පැවති දේශ­පා­ල­නික සහ සමා­ජීය තත්ත්ව­ය­නුත් මේ එක් එක් මැති­ව­රණ කෙරෙහි තීර­ණා­ත්මක ලෙසින් බලපෑ බව සැබෑ­වකි.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා පසු­ගිය 19 වැනි ආණ්ඩු ක්‍රම සංශෝ­ධ­න­යේදී අඩු වීමට ලක් විය. ඒ අනුව පෙර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්විය යුතුව තිබුණේ වසර හයක් ගිය තැනය. එසේ වුවද 2005 වස­රේදී මුල් වරට ජනා­ධි­පති ධුර­යට පත් වූ මහින්ද රාජ­පක්ෂ මහතා ක්‍රමෝ­පා­ය­යික තීර­ණ­යක් ලෙස 2010 වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණය පවත්වා ඊළඟ ධුර කාලය සඳහා අදාළ ජන වරම ලබා­ගත් අතර ඔහු තෙවන වරට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කර­ගත්තේ 18 වැනි සංශෝ­ධ­නය මඟින් ජනා­ධි­ප­ති­ව­ර­යාට වාර දෙක­කට වඩා ඒ තන­තු­රට පත් වීමට ඇති බාධ­කය ඉවත් කර­ගැ­නී­මෙනි. එසේ කට­යුතු කළ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා තම ධුර කාලය නිම වීමට වස­ර­කට පෙර ජනා­ධි­ප­ති­ව­ර­ණය පව­ත්වන්නේ තෙවැනි වර­ටත් බලය ලබා­ගැ­නීමේ උප­ක්‍ර­ම­යක් වශ­යෙනි.

ලෝකයේ බොහෝ රට­වල විධා­යක ජනා­ධි­පති ක්‍රමය පැව­තු­ණද ඒ සඳහා යම් යම් නෛතික සීමා­මා­යිම් තිබේ. යමකු අඛ­ණ්ඩව බලයේ රැඳෙ­න්නට මේ නෛතික සීමා වෙනස් කරන්නේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ මහ­ජ­න­තාගේ පර­මා­ධි­ප­ත්‍යය යම් ආකා­ර­යට හෑල්ලු කිරී­මකි; ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය දෙද­ර­වී­ම­කට ලක් කිරී­මකි. ලෝකය එක් අත­කින් තාක්ෂ­ණික වශ­යෙන් බුද්ධි­මය වශ­යෙන් යම් යම් මේරූ අව­ධි­ය­කට ගමන් ගනිද්දී මේ අයු­රින් විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යකු තම බල පරා­සය සීමා-මායිම් නැති තැන­කට ගෙන යෑම රටේ ජන­තාව රිස්සුවේ නැත. ඒ නිසාම මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාට පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී නූතන ලෝකය ගැන හිතන බුද්ධි­මත් තරුණ කොට­ස­කගේ ඡන්ද ආක­ර්ෂ­ණය කර­ගැ­නී­මට හැකි­යා­වක් ලැබුණේ නැත.

කෙසේ වුවද පසු­ගිය අව­සන් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ල­යට අනුව පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­යාත් රජ­යත් රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් කරන ලද කැප කිරීම අගය කළ යුතුය. මේ රජය විසින් ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධන යෝජ­නාව ඒක් මන්ත්‍රී­ව­ර­යකු හැර සියලු මන්ත්‍රී­ව­රුන්ගේ සහා­යෙන් සම්මත වීමද අප අගය කළ යුතුය. අප දැන් රට ගෙන යා යුත්තේ එතැ­නින් එහා­ටය.

අද බොහෝ දේශ­පා­ල­ක­යන්ට දැවෙන ප්‍රශ්න­යක් ඇත. ඒ ඔවුන්ට බලය හිමි කර දෙන්නට ඡන්දය පාවිච්චි කරන ජන­තා­වට ඔවුන් කෙරෙහි විශ්වා­ස­යක් නැති වීමය. විශේ­ෂ­යෙන් පෙර-වැරදි සහ පෙර කළ-පව් සහිත දේශ­පා­ල­ක­යන්ට තමන්ගේ පැටි­කි­රිය සමඟ ඊළඟ ඡන්ද­ය­කට ඒම ගැන විවිධ ප්‍රශ්න ඇත. ඔවුන් ඒවා සඟ­වා­ගෙන පෙරට එන්නේ මහත් ආයා­ස­යෙනි. මේ යථා­ර්ථය අප අව­බෝධ කර­ගත යුතුය.

රටක් ලෙස ඇති ප්‍රශ්නය ජන­තා­වට දේශ­පා­ල­නය ගැන විශ්වා­ස­යක් නැති වීමය. රටේ පව­තින දේශ­පා­ල­නික ධුරා­ව­ලිය සම්බ­න්ධ­යෙන් හෝ රාජ්‍ය ව්‍යූහය ගැන ඔවුන් බලා­පො­රො­ත්තු­වක් නැති තැනට පැමිණ ඇත. රටේ ජන­තා­වට අවශ්‍ය වන්නේ නීතිය යුක්තිය සේම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මූලි­කාංග සුරැ­කෙන යහ­පත් ආර්ථි­ක­යක් සහිත රටකි; ඒ වෙනු­වෙන් නාය­ක­ත්වය දෙන චරි­ත­යකි. රටේ ජන­තාව එදාට වඩා අව­බෝ­ධ­යෙන් යුතුව මෙකී මූලි­කාංග සුරැ­කීමේ ඉති­හා­ස­යක් සහ පසු­බි­මක් ඇත්තේ කාටද යන්න ගැන උනන්දු විය යුතුය. මේ ගැන නිග­ම­න­ය­කට, ජන­තාව ඉදි­රි­යට ඔක්තෝ­බර් 7 වැනිදා සිට නොවැ­ම්බර් 15 දක්වා බොහෝ දේ ගලා එනු ඇත. මේවා නිසි ලෙස කිරා මැන බලා, සබු­ද්ධි­කව තීරණ ගැනී­මට ජන­තාව කල්පනා කළ යුතුය.

Comments