
ප්රජාතන්ත්රවාදය සහ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් පිළිබඳ වැඩිපුර කියුම්-කෙරුම් ඇසෙන මේ තීරණාත්මක කාල සමයක කිසිසේත් නෑසිය යුතුම කතාවක් පසුගිය සතියේ ඇසුවමු. ඒ, පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නොසිටීම නිසා පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තැබීමට කථානායකවරයාට සිදු වීමයි. ප්‍රජාතන්තවාදි පාලන ක්රමයක මහජනතාවගේ පරමාධිපත්‍යය ඉහළින්ම නියෝජනය කෙරෙන බලකණුව ලෙස සැලකෙන ව්‍යවස්ථාදායකය නියෝජනය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන්ගෙනි. රටේ නීති සම්පාදනය මතු නොව; ගමේ අඩි පාර, බෝක්කුවේ සිට ජනතාවට දැනෙන සංවර්ධනයක් කරා යෑමේදී අතිශය වැදගත් කාර්යයක් සිදු කරන්නේ මේ මහජන නියෝජිතයෝය. ජනතාවගේ ජීවිත දවන ගැටලු ජාතික තලය දක්වා ගෙන යෑම, ඒ ගැටලුවලට පාර්ලිමේන්තුව මඟින් අලුතින් නීති සම්පාදනය හෝ පවතින නීති-රීති වෙනස් කොට හෝ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ තීරණාත්මක අයිතිය ඇත්තේ මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය.
එහෙත් මෑත කාලයේ ඔවුන් තමන් කෙරෙහි පවතින ගරුත්වය කොතරම් දුරට ආරක්ෂා කරගත්තාද යන්න ආණ්ඩු පක්ෂ හා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ නොමනා හැසිරීම ඇතුළු ක්‍රියාකාරකම්වලින් ජනතාව තුළ දැඩි වික්ෂිප්ත භාවයක් නිර්මාණය වී තිබේ. ප්රජාතන්ත්රවාදයේ උත්තුංග සම්ප්රදාය රකින ගරු කට යුතු නියෝජිතායතනයක් වන පාර්ලිමේන්තුව බහුරූ කෝලම් නටන මඩුවක තත්ත්වය දක්වා ගෙන යෑමට අපේ රටේ මහජන නියෝජිතයන් පසුගිය කාලය තුළ කටයුතු කළ ආකාරය පිළිබඳ සමස්තක් ලෙස ජනතාව තුළ ඇත්තේ වේදනාවකි. ඒ වේදනාවේ උච්චස්ථානයක් සටහන් කළ අවස්ථාවක් ලෙස මෑතකාලීනව සැලකිය හැක්කේ බලහත්කාරයෙන් ආණ්ඩු බලය නීති විරෝධිව අල්ලාගන්නට පාර්ලිමේන්තුව තුළ අවිනීත අශිෂ්ට ආකාරයෙන් හැසිරුණු පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් පසු උදා වූ දින 52ක කාලයයි.
කථානායකවරයාට මුලසුන ගන්න ඉඩ නොදී පුත්තලම දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රීවරයකු විසින් දක්වන ලද අශිෂ්ට හැසිරීම, කථානායකවරයාගේ අසුනට අදාළ මයික්‍රෆෝනය කුඩු කර දැමීම, මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම සෙංකෝලය පැහැරගැනීමට උත්සාහ දැරීම වැනි අවිනීත ක්‍රියාදාමය පාලනයට පාර්ලිමේන්තුවේ බලහත්කාර ආණ්ඩුවේ අගමැති ධුරය ලබා ගත්, රටේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවීම මෙරට පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ කිසිදා අත් නොවිඳිය යුතු පූර්වාදර්ශයක් නිර්මාණය කළේය.
එසේ වුවද කථානායකවරයාගේ අප්‍රතිහත ධෛර්යය සහ එඩිතර භාවය රටේ ප්රජාතන්ත්රවාදය කෙරෙහි සමස්ත ජනතාවගේ දැඩි ප්‍රසාදයක් නිර්මාණය කළේය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය විනාශ කළෝ මේ මහජන නියෝජිතයෝමය. ඔවුන් සබා ගැබ තුළ හැසිරෙන ආකාරය දෙස ජනතාව බලා සිටියේ පිළිකුල් සහගතවය. විශේෂයෙන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කොට රටේ හිමි විය යුතු වරප්‍රසාද වරදාන සියල්ල ලබාගන්නා ඔවුන් පාර්ලිමේන්තුව තුළ නිසි ලෙස මහජනතාව නියෝජනය නොකිරීම ගැන ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි. වරක් වත්මන් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එරහිව සර්වරාත්‍රික විරොධයක් පැවැත්වූවා මතය. ඒ අවස්ථාවේ සබාගැබෙහි ගරුත්වය කෙලෙසන ආකාරයට ඔවුන් සබා ගැබ තුළ වාඩි වී කටයුතු කළ අකාරය ඒ දිනවල පුවත්පත් වාර්තාවල ඡායාරූප සහිතව පළ විය. ජනතාවට මේ තුළ තාවකාලික ආස්වාදයක් දැනුණද ඒ පසුපස හදවත කීරි ගසන වේදනාවක් සහ කෝපයක්ද ආවිෂ්ට වන්නේ නිරායාසයෙනි.
මේ මන්ත්‍රීවරුන් අද සිතා සිටින්නේ ඡන්දදායකයන්ගේ මඟුලට අවමඟුලට සහභාගි වීම, මාධ්‍යවේදියකු දෙන්නකු ගෙන්නා රූපවාහිනියට වොයිස් කට් දීම, පාර්ලිමේන්තුවට පැමිණ මේ ආකාරයෙන් රූපවාහිනී ප්රවත්තියට අදාළ විහිළු කෑල්ලක් පැවසීම වැනි කටයුතු ප්‍රමාණවත් බවය. ඊට අමතරව තමන්ගේ ආවතේව කරන ආධාරකරුවන්ට කොන්ත්‍රාත්තුවක් හෝ ආණ්ඩුවෙන් ලබන සහනයක් සලසා දීම වැනි කටයුතු ටික මැනවින් සිදු කර, යුතුකම් සියල්ල සැපිරුවාය යන හැඟීමෙන් තෘප්තව කටයුතු කිරීම මෙරට මන්ත්‍රීන්ගේ ප්‍රවණතාවක් වෙමින් පවතී.
බලූ බැල්මට කෙනකුට පෙනී යන්නේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම පරිචය වඩවාගැනීමට ඕනෑ තරම් දේශීය මෙන්ම අන්තර්ජාතික වැඩමුළු, පුහුණු වැඩසටහන් වසර පුරා සිදු වන බවයි. එසේ වුවද මෙවැනි වැඩමුළු හුදෙක් රට සවාරි සඳහා ස්වර්ණමය අවස්ථාවක් කරගන්නවාට වඩා ඵලදායි ලෙස, මහජන නියෝජිතකු වශයෙන් තම පෞරුෂයේ වර්ධනයට උපයෝගි කරගන්නේ මන්ත්‍රීවරුන්ගෙන් අතළොස්සක් පමණි.
මේ ඛේදනීය ප්රවණතාවේ භයානක ප්‍රතිඵල දැන් අප වෙත ළඟා වෙමින් ඇත. මේ වන විට උත්තුංග පාර්ලිමේන්තුව ජනතාවට කෝපය සහ අපහාසය එක්වර උද්දීපනය කරන ආයතනයක තත්ත්වයට පත් වෙමින් ඇත. එය රටක සිදු නොවිය යුතුම තත්ත්වයකි. එසේම තරුණ පරපුර මේ ප්රජාතන්ත්රවාදි පාර්ලිමේන්තු ක්‍රමය අවිශ්වාස කරන තැනට පත්ව ඇත. මැතිවරණ කොමිසමට එක් අතකින් ඡන්ද සංවිධානය කිරීමට අමතරව ඡන්දයේ වටිනාකම, ඡන්දයේ බල සම්පන්න බව පිළිබඳ පාරවල් ගානේ ගොස් හඬ ගා කියන තැනට රට පත් වෙමින් ඇත. දේශපාලන පක්ෂ නායකයන් මේ ගැන සාමූහිකව ක්‍රියා කළ යුතු අවධියක් එළඹ ඇත. අනෙක් අතින් බුද්ධියක් සහිත මහජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් මේ අර්බුදය හමුවේ දැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමේ තීරණාත්මක කාලයකට පැමිණ ඇති බව සිහිපත් කළ යුතුය. එසේ නැති වුව හොත් සිදු වන්නේ මහජනතාව මේ ශක්තිමත් පද්ධතියේ මූලයන් විනාශ කර දැමීමය. එසේ වුව හොත් රටක් තිබුණාට රාජ්‍යයක් නම් ඉතිරි නොවනු ඇත.