
යුගයක කෙරුණු දේශපාලන වැරදීම් නිවැරදි කරගැනීම ඕනෑම රටක, ජාතියක උන්නතිය පතන දේශපාලකයාගේ වගකීමකි. දේශපාලනය හෝ රාජ්‍යපාලනය ප්රවේණිගතව පැවතිය යුත්තක්ය යන අදහසේ සිට ක්‍රියාත්මක වන අපේ පාරම්පරික දේශපාලකයන් බොහෝ දෙනකු කරන්නේ එදාට වඩා වැඩියෙන් වැරදි වැඩි කරගැනීමකි. ඒ අතින් බලන කල දේශපාලනික වශයෙන් අප ගමන් කරන්නේ අපරිණත යුගයකටය.
එක් අතකින් තාක්ෂණික ආලවට්ටම් සුහුරු ක්‍රමවේද අතරේ චින්තනමය වශයෙන් නොදියුණු පාරම්පරික ලක්ෂණ දරන වර්තමාන දේශපාලනය අපේ තරුණ පරපුරද කැඳවාගෙන යන්නේ එක්තරා අඳුරකටය. එය හරියට අපේ තරුණ පරපුර අද මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය අතරේ අන්දමන්දව සිටිනවා වැනිම වූ තත්ත්වයකි. පසුගිය සෙනසුරාදා කොළඹදී පැවති පොහොට්ටු පක්ෂයේ තරුණ සමුළුවද එවැනි එකක් බව කියවිණ. එහිදී අලුත් තැනක, අලුත් තාක්ෂණය යොදා ඔවුන් සිදු කළ යොවුන් හමුවේදී අඩුම තරමින් පොහොට්ටුවෙන් සංකේතවත් වන පිබිදෙන නැවුම් භාවයක් සහිතව එය පටන් ගෙන අවසන් කිරීමට තරම්වත් චින්තනීය වශයෙන් නූතන වූ නිවහල් නායකයන් අපට දැකගත නොහැකි විය.
මේ සමුළුවේ අවසන් ඉලක්කයක් වුණු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත නායකයා සහ මෙරට තරුණ-තරුණියන් අතර පැවැති සංවාදශීලි කාලයම මනා උදාහරණයකි. එහිදී තරුණ-තරුණියන්ට නිදහසේ ප්‍රශ්න ඇසීමට තබා අඩුම තරමින් තෝරාගත් කොටසකට හෝ ඔවුන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට මේ තරුණ හදවත් සමඟ හෘදයංගම සංවාදයකට පැමිණීමේ ඉඩ අවුරා තිබිණි. එහිදී සිදු වූයේ තෝරාගත් ප්‍රශ්න කිහිපයක් රටේ ප්රජාතන්ත්රවාදය සහ සාධාරණත්වය සම්බන්ධයෙන් කුප්‍රකට පැටිකිරියක් සහිත ඊනියා තරුණයකුට හා තරුණියකට පමණක් ලබා දීමය. ඔවුහු තම ජනාධිපති අපේක්ෂකයාට හිතේ හැටියට පහර දිය හැකි පන්දු පමණක් ප්‍රශ්න ලෙස ඉදිරිපත් කිරීමට පරිස්සම් වූහ. එයින් එක් තරුණයෙක් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරයෙකි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස සිදු වූ රටේ ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයට බලවත් අභියෝගයක් කළ දින 52 ඇති වූ ආන්දෝලනාත්මක විවාදයේදී අතිශය අසංවර හැසිරීමක් පෙන්නුම් කළ මේ මන්ත්‍රීවරයා කථානායකවරයාගේ අසුනේ සවි කොට තිබූ මයික්‍රෆෝනය කඩන්නට ගොස් අතට මැහුම් කිහිපයක් දමා ගත්තේය. ඔහුගේ සහායිකාව අධිකරණයෙන් ඇප ලබ සිටින නාගරික මන්ත්‍රිවරියකි. ඔවුන් දෙදෙනා මේ ප්‍රශ්න විචාරීමේ සැසියට සම්බන්ධ වූ අයුරු සජීව ලෙස දැකගත හැකි වුවත්, එතැනින් එහා ගිය බොහෝ ක්‍රියා මාධ්‍යයෙන් වසන් කිරීමටද මේ ප්රගතිශීලි තරුණ සමුළුවේ ප්රගතිශීලි සංවිධායකයන් කටයුතු කර තිබිණි. එයින් පෙනෙනුයේ මැදමුලන පවුල් දේශපාලනයේ හතර මායිමේ තරමය. එක් අතකින් පොහොට්ටු දේශපාලනය මේ අයුරින් නව තාක්ෂණයද සමඟ ගව් ගණනාවක් පසුපසට යද්දී එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු පසුගියදා අප සහෝදර ඉංග්‍රීසි සති අන්ත පුවත්පතට ඔහුගේ අදහසක් ලියා තිබිණි. මේ මන්ත්‍රීවරයා දිවංගත අමාත්‍ය ගාමිණි දිසානායකගේ බාල පුත්‍රයාය. ඔහු එහිදී 90 දශකයේ තම පියාගේ කාලයේ දේශපාලනය විවේචනාත්මකව දැක, එය වර්තමානයට කෙසේ විය යුතුද යන්න පිළිබඳව අදහසක් පළ කර තිබිණි. මයන්ත දිසනායක මහතා එයින් පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පැවති තම පියාගේ කාලයේ එහි සිටි නායකයන් ගැනය. ඔහු ජේආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේ ප්‍රධාන අමාත්‍යවරුන් තිදෙනකු වූ ලලිත්, ගාමිණී සහ ප්‍රේමදාස රටේ සංවර්ධනය සහ ජනතව වෙනුවෙන් කළ තීරණාත්මක කාර්යය අගයා තිබිණි. ඒ අතර 1990 දශකයේදී ඔවුන් අතර පැවැති වෙනස්කම් සංසිඳුවාගන්නට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිත අහිමි වීම මෙන්ම රටටත් පක්ෂයටත් සිදු වූ හානියද ඔහු විග්‍රහ කර තබිණි. එයින් ඔහු පෙන්වා දෙන්න උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂය අද හෝ ඒ පාඩම් සිත් දරා ගෙන වර්තමානයේ පක්ෂය සහ රට මුහුණ දෙන අභියෝග ජය ගත යුතු බවයි.
ඒ කතාවේ සැබෑ අරුතක් ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේද මේ පරිණත දේශපාලන පරම්පරාවේ නියෝජනයක් තිබේ. සජිත් ප්‍රෙමදාස, නවීන් දසානායක, මයන්ත මේ පුතු පරම්පරාවේ තිදෙනෙකි. ඔවුහු අද පියවරුන් අතින් සිදු වූ අඩුපාඩු දකිති. මැතිවරණයකට යා යුත්තේ කෙසේද, එය දිනාගත හැක්කේ කෙසේද යන්න ඔවුහු අදට ගැළපෙන සේ කල්පනා කරති. ජනාධිපතිවරයා තේරීමේ වගකීම පවුලේ කැරිස්මාව අතරින් ප්‍රබල වූ චරිතයට පමණක් භාර දී, පුද්ගල කේන්ද්‍රීයව පවුල් දේශපානය තුළ රටක් එකතු කරගනු පිණිස මාධ්‍යයෙන් පවා වසන් වී තම දේශපාලන න්යායපත්ර හසුරවන පුතුන්ට වඩා ඔවුන් කොතරම් යථාර්ථවාදිද යන්න අවබෝධ කරගත යුතුය.
බැලූ බැල්මට රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල පොදු ප්‍රතිපත්ති අතර සමානතා තිබුණද එහි ගැඹුර බැලීමේදී පතුලේ පෙනෙන මෙකී ලක්ෂණ රටේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මකය.
අනාගතයේ රටේ පාලනය බාර දිය යුත්තේ ප්රජාතන්ත්රවාදයට මුවා වී පවුල්වාදයක් කරපින්නාගත් පැලැන්තියකටද, එසේ නැති නම් ජනතාවගේ ඇගයීම් මෙන්ම විවේචනද දරමින් ප්‍රජාතන්ත්‍රවාදිව පොළොවේ යථාර්ථය හඳුනාගත් නායකයන්ටද යන්න කල්පනා කිරීමට මෙය හොඳ මොහොතකි. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය, යුක්තියට මෙන්ම ප්රජාතන්ත්රවාදවයට ඉඩ දෙන රාජ්‍යයක සිහිනය දකින තාරුණ්‍යයට තමන්ගේත් රටේත් අනාගතය පිළිබඳ විමසුම්සහගතව බැලීමට සුදුසුම කාලය මෙයයි.