
අද ලෝකයේ මාධ්‍ය භාවිතය දියුණුය; තොරතුරු දැනගැනීම සඳහා ඇති මාර්ග අසීමිතය. ඝන වනයක හුදෙකලා නොවී සිටිය හොත් ලෝකයේ කොහේ හෝ සිදු වන දෙයක් තත්පර ගණනක් තුළ දැනගැනීමේ හැකියාව අද අප සතුය. එහෙත් මේ වේගවත් තොරතුරු ගලනයම අපට නිවැරදි තොරතුරු දැනගැනීමේදී මුහුණ දෙන ලොකු අභියෝගයකි. අප වෙත සැණෙකින් ගලා එන තොරතුර හරියටම හරිද යන්න අවිනිශ්චිතය. සමහර විට මුලින්ම හෝ දෙවනුව එන තොරතුර සියයට පනහක්වත් නිවැරදි වන්නේ නැත.
නූතන මාධ්‍ය පරිහරණයේදී මේ දුර්ගුණය වඩාත් වැදගත් වන්නේ මැතිවරණයක් වැනි සමාජයේ තීරණාත්මක වාතාවරණයක් පවතින කාල- වකවානුවලය. ඒ මක් නිසාද යත්: ඇත්ත හංගා තමන්ට අවැසි බොරුවට තැනක් ලබා දෙන්නට මේ දේශපාලන න්යායපත්රකාරයන්ට නූතන මාධ්‍යයේ පවතින මේ දුර්ගුණය මැනෙවින් ඉවහල් වන නිසාය.
එය සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාල මධ්‍ය භාවිතයේදී මතු නොව; ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරවීමේදීද ප්රමුඛව දැකිය හැකි සංසිද්ධියකි. අද මේ රටේ ක්‍රියාත්මක වන රූපවාහිනී නාලිකා සහ ගුවන්විදුලි නාලිකා පිළිබඳ විමසීමක් කළ හොත් ඔවුන්ගෙන් බහුතරයට තම පෞද්ගලික වූ දේශපාලන න්‍යායපත්‍රයක් ඇත. එය ලොකයේම එක සේ දැකිය හැකි නිරීක්ෂණය කළ හැකි සංසිද්ධියකි. ඔවුන් තම මාධ්‍ය හසුරුවන්නේ තමන්ට හිතැති, තමන්ට වාසි අත් කර දෙන දේශපාලන පක්ෂය වෙත නැඹුරුවය; තමන්ට වාසියක් ගත නොහැකි වුණු දේශපාලන පක්ෂයක් පාලන බලයේ සිටින්නේ නම් එය එළවා-දමා, තමන්ට වැඩක් ගත හැකි පක්ෂය හෝ නායකයකු බලයේ පිහිටුවීමටය. නිදසුනක් ලෙස: කුඩු ජාවාරම සමඟ සම්බන්ධයක් ඇති මාධ්‍ය හිමිකරුවකු ඇති නම් ඔහුට ඒ ජාවාරම කරගෙන යෑමට අවැසි පසුබිම සාදා නොදෙන රජය පැන්නීම ඔහුගේ පිළිවෙතයි. තමන්ගේ ඥාතියකුට සිරෙන් නිදහස් වීමට සමාවක් නොදෙන්නේ නම් ඒ පාලකයා එළවිය යුතුය. තමන්ට සම්බන්ධ සමාගමකට ටෙන්ඩරයක් නොදෙන ඇමතිවරයකු සිටී නම් ඔහු පැන්නිය යුතුය. ඔවුන්ට ඇත්තේ එවැනි අතිශය පෞද්ගලික වූ න්‍යාය පත්රයකට අනුගත වී තමන්ට අයත් නාලිකාවේ ග්රාහකයන් වෙත තමන්ට අවැසි පිලට වාසිදායක වන ආකාරයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ මාධ්‍ය පිළිවෙතකි.
සාමාන්‍යයෙන් පාඨකයන්, ප්‍රේක්ෂකයන් හෝ ශ්‍රාවකයන් වඩාත් ප්‍රිය කරන්නේ ඍණාත්මක විවේචනාත්මක පුවත් රස විඳින්නටය; ඒ කෙරෙහි ග්‍රහණය වන්නටය. මේ ස්වාභාවික ජෛව විද්‍යාත්මක හුරුවෙන් වාසිය ගන්නා මේ දේශපාලන මාධ්‍ය න්යායාචාර්යවරු බොහෝ විට ඇත්ත සඟවා නැති දෙයක් මතු කිරීමට වඩාත් උත්සාහ දරන ආකාරයක් පෙනී යයි. මේ පිළිබඳ නිදසුන් ඕනෑ තරම් විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති විකාශයකදී නිරීක්ෂණය කළ හැකිය. මෙහි මෑතකම නිදසුන ලෙස ගිණිය හැක්කේ පසුගිය බෘහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් දියත් කරන ලද වැඩවර්ජනයයි. එහිදී මේ වෛද්‍ය සංගම් නියෝජිතයන් පලිහක් ලෙස ඉදිරියට දමන රෝගි අයිතිවාසිකම් සටන් පාඨ කිහිපයක් තිබේ. එහෙත් ඔවුන් ඒ පසුපස සඟවාගෙන එන්නේ ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම්ය. ඔවුන්ගේ සැබෑ අරමුණ ඒවා දිනාගැනීම මිස; හන්දියක් හන්දියක් ගැනේ චැනල් අටවමින් රෝගීන් මිරිකාගන්නා ඔවුන්ට රෝගි අයිතිවාසිකම් ගැන සැබෑ කැක්කුමක් තිබේයැයි සිතිය නොහැකිය. එහෙත් පසුගියදා බොහෝ පෞද්ගලික රූපවාහිනී නාලිකා උත්සාහ කළේ වෛද්‍ය නිලධාරීන්ට සමාජානුකම්පාවත්, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට නින්දාවත් ගෙන දෙන ආකාරයට සමබරතාවෙන් තොරව තම පුවත් ඉදිරිපත් කිරීමය. ඉතා නිර්මාණශීලිව පුවත් පෙළගස්වන ඔවුහු රජයේ පවතින අර්බුද ඉස්මතු කරන අතරේ ඔවුන්ගේ ජනතා හිතවාදී නොවන බාල න්යායපත්ර හසුරුවාගැනීමට වඩාත් විභවයක් සහිත පුද්ගලයන් ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කොට ප්‍රවර්ධනය කිරීම සඳහා උපරිම කැප වීමෙන් වැඩ කරති. මෙලෙස රජය වෙත එල්ල කරන බොහෝ චෝදනා කිසිදු පදනමකින් තොර බවට විවාදයක් නැත. එහෙත් එක් අතකින් රජය මේ මාධ්‍ය හමුවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිනවා සේම ඔවුන් කෙරෙහි කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමක්ද අපට දැකිය හැකිය. එයින් සිදුව ඇත්තේ ඇත්ත යට ගැසීමය. මේ තත්ත්වය කලින් රජය කාලයේ සැබවින්ම තිබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද නිතර ප්‍රකාශ කරන කරුණක් වන්නේ එදා මෙන් නොව අද මාධ්‍යට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම සමස්ත රජයට පණ යන තෙක් බනින්නට විවේචනය කරන්නට අවස්ථාව සලසා දී ඇති බවයි.
එහෙත් පසුගිය රජය සමයේ රජය සහ එහි නායකයන් විවේචනය කරන මාධ්‍යවේදීහු මහමඟ මරාදැමුණහ; කිසිදු ලජ්ජාවක් බියක් නැතිව මාධ්‍ය ආයතන ගණනාවක් බෝම්බ ප්‍රහාරවලට සහ ගින්නට හසු විණි. ජාතික රූපවාහිනියට පැමිණ ඩෙඟා නැටූ රාජපක්ෂ රජයේ ඇමැත්තකුට විරෝධය පෑ ආණ්ඩුවේ රූපවාහිනියේම සේවකයන්ට තෝර-තෝරා දැළි පිහි පහර එල්ල කෙරිණි. එහෙත් අද රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පවා රජය විවේචනය කිරීමේ සාධාරණ නිදහසක් හිමිව තිබේ.
අද බොහෝ මාධ්‍ය ලද මේ නිදහස හසුරුවන්නේ හුදෙක් වල්බූරු චින්තනයකින් නොවේ. ඔවුන්ට ඇත්තේ ඊඩ වඩා කූට, කපටි වූ සිඟාල චින්තනයකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම තමන්ගේ පෞද්ගලික න්යායපත්රය සම්පූර්ණ කරගැනීමය; තම ග්රාහකයාට ඕනෑම කුණු ගොඩක් ඇසීමට දැකීමට කියවීමට සලස්වා තමන්නේ වෙළෙඳ දැන්වීම් ආදායම තර කරගැනීමය. ලෝකයේම මාධ්‍යයේ ආධිපත්‍යය දරන කොම්පැනිකාරයන් තම මාධ්‍ය ඔස්සේ කරන්නේ මේ ටිකය. මෙයින් බැහැරව මධ්‍යස්ථ ලෙස කටයුතු කරන ආයතන ලෝකයේම ඇත්තේ සුළු ගණනකි.
කෙසේ වෙතත් මේ ලෙස ඇත්ත සැඟවීම පාලනය කරන ප්රවණතාද, දියුණු මාධ්‍ය ලෝකය තුළ නිර්මාණය වෙමින් ඇත. එවැනි මාධ්‍ය ආයතන තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන තොරතුරුවල සත්‍යභාවය වෙනුවෙන්, වගකීම් සහිත භාවය වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් ඒ සඳහා අනුගමනය කරන පිළිවෙතක් වන්නේ නිවැරදි කරුණු පරීක්ෂා කිරීමේ (Fact Checking) යන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමය. මේ වෙනුවෙන් විශේෂඥයන් පුහුණු කිරීම, මේ ගැන සොයන විශේෂ කතුවරුන් පුහුණු කිරීම දියුණු රටවල දැන් සිදු වෙමින් පවතී. එහි මූලික අරමුණු සමාජ මාධ්‍ය ජාල ඇතුළු අන්තර්ජාලය ඔස්සේ බොරුව ප්‍රචාරය වීම වළකා-ලීමය. අප වැනි රටවලට මේ කාලයේ වඩාත් මෙවැනි නව්‍ය දේ අවශ්‍ය වන්නේ මාධ්‍ය කරවන ඇත්ත හංගන්නන්ගෙන් ජනතාව බේරාගැනීමය. ඒ සඳහා අඩුම තරමින් රජයට තමන්ට එරෙහිව යන බොරුව පරාජය කිරීම සහ ඇත්ත විකාශය කිරීමට අවැසි ශක්තිමත් යන්ත්‍රණයක් සකස් කළ යුතුය යන්න අපේ විශ්වාසයයි. එසේ නැති වුව හොත් සිදු වන්නේ නිදහස් සාධාරණ ප්රජාතන්ත්රවාදය සුරැකි රටක් වෙනුවෙන් යන රජයකට මේ වංචනික මාධ්‍ය මුදලාලිලාගේ ගින්නෙන් දැවී අළු වන්නටය.