
රටේ ජනතාව වෙත මේ වන විට මැතිවරණ උණුසුම කෙමෙන් දැනෙමින් තිබේ. වෙසෙසින්ම ලබන දෙසැම්බරය වන විට පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ ඇතිව තිබෙන සහ සිදු වෙමින් පවතින දේ මේ තත්ත්වයට ආසන්නතම හේතුවයි. ජනාධිපතිවරණයට අමතරව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තවත් සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත ලැබීමට නියමිතය. මැතිවරණ කොමිසම උත්සාහ දරන්නේ යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉතා ආසන්නයේ පවත්වන්නට නොහැකි වුණත් අවම වශයෙන් ඊට පසුව ආසන්න දිනයකදී හෝ පළාත් සභා මැතිවරණය පවත්වා මැතිවරණ පැවැත්වීමේ පරම වගකීම ඉටු කිරීමටය.
ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්වීම ප්රජාතන්ත්රවාදී රටක ලක්ෂණයක් විය යුතු බවට විවාදයක් නැත. එය තම රට කරවන තැනට, පළාත හෝ ගම කරවන තැනට තම නියෝජිතයා පත් කිරීමේ මහජනතාවට පවතින උත්තරීතර බලය පාවිච්චි කිරීමේ පවතින අයිතියයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු ඒ කොමිසම මෑතක මැතිවරණ පැවත්වීමේ වගකීමට පමණක් සීමා නොවී ඉන් එහා ගොස් මේ ඡන්ද සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන්ද වෙහෙසෙන්නේ මහජනතාව සතු මේ උත්තරීතර බලය අනාගතයේදී පිරිහීමකට යා නොදී රැකගැනීමේ වැදගත්කම නිසා බව පෙනී යයි.
මැතිවරණ කොමිසමටත් දේශපාලන පක්ෂවලටත් ඉදිරියේදී එල්ල වන ලොකුම අභියෝගය වන්නේ මේ මැතිවරණ පද්ධතිය තුළ ඡන්දය ප්‍රකාශ කරන පිරිස රැකගැනීමය. එයට හේතුව රටේ මහජනතාව තුළ ඡන්දය දීමේ උනන්දුව අඩු වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වීමය. මෙයට හේතුව මැතිවරණ ක්‍රමය පිළිබඳ හෝ එය පවත්වන ආකාරය පිළිබඳ පවතින කකුස හෝ අවිශ්වාසය හෝ නොවේ. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරමින් අදාළ මහජන නියෝජිතයන් බවට පත් වන පුද්ගලයන්ගේ පසු-කාලීන හැසිරීම් සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින අවිශ්වාසයයි; කලකිරීමයි. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ මැතිවරණ සම්ප්‍රදායෙන් ඈත් වීමේ ප්රවණතාවට ලෙකුම මුල බීජය වී ඇත්තේ ඒ තත්ත්වයයි.
සැම මැතිවරණයකදීම සැලකිය යුතු තරුණ කොටසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අලුතින් සුදුසුකම් ලබති. දැනට නිශ්චිතවම පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත් වැනි විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්දය වෙනුවෙන් පෙළගැසී ඇති අලුත් ඡන්ද සංඛ්‍යාව නව ලක්ෂ හැත්තෑ හය දහසකි. එනම් ලක්ෂ 10කට ආසන්නය. එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එකතු වුණු ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි වීමකි. ජනාධිපතිවරණය හෝ වෙනත් කවර මැතිවරණයක් මේ වසරේ පැවැත්වුවද මේ ඡන්ද තීරණාත්මක වනු ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අලුතින් එකතු වන මේ ඡන්දදායකයන් ඡන්දය ඇති දාට ඡන්ද පොළට ඒදැයි යන්න පිළිබඳ ඇත්තේ එක්තරා බියකි. ඔහුට වුවමනා කරන්නේ මේ ඡන්දදායකයන් මැතිවරණයකදී සක්‍රිය ලෙස භාවිත කිරීමටය. ඔහුගේ මේ ප්රයත්නය අගය කළ යුතුය. මෙහිදී වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුත්තේ දේශපාලකයෝය.
මේ තරුණ පිරිසට ආමන්ත්‍රණය කළ හැකි, ඔවුන්ට විශ්වාස කළ හැකි දේශපාලනයක් රට තුළ තිබිය යුතුය. බොරු නොකරන, අපරාධවලට සම්බන්ධ නැති, සොර-මැරකම් නැති, ප්රජාතන්ත්රවාදය ගැන වැඩි විශ්වාසයක් දරන අලුත් මුහුණුවලට ඔවුන් ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. රටේ ඊළඟ පරම්පරාවේ හැසිරීම සම්බන්ධයෙන් විෂම තත්ත්වයක් පැවතියද දේශපාලනය සහ ප්රජාතන්ත්රවාදය විෂයයෙහි මෙන්ම සමාජීය කාරණාවලදී ඔවුන් අපේ පසුගිය පරම්පරාවන්ට වඩා සබුද්ධික ලෙස හැසිරීමේ යම් ප්රවණතාවක්ද නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්ම මේ අලුත් පරම්පරාව නූතන තාක්ෂණය නිතර භාවිත කරන, ලෝක දැනුම සමඟ බොහෝ විට අඩු-වැඩි වශයෙන් සමපාත වන පුද්ගලයෝ වෙති. ඔවුන් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හෝ දේශපාලනික ආකෘති තුළ සිරගත වන්නට සූදානමක් නැත. පසුගිය 2015 ජනාධිපතිවරණයේදීත් මේ ඡන්දවල හැසිරීම නිරීක්ෂණය කළ හොත් ඔවුන්ගෙන් වැඩි දෙනකු ප්රජාතන්ත්රීය වූ වෙනසක් වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි කර ඇති බව පෙනී යයි. එසේම පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාදාමය මැද්දේ මේ තරුණයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක්වූ විරෝධය රට තුළ සමස්තයක් ලෙස ප්‍රබල ජනමතයක් ඇති කිරීමට සැලකිය යුතු හේතුවක් විය.
මෙවැනි ප්රවණතා මැද ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී මේ ඡන්ද අතිශයින්ම තීරණාත්මකය. ඔවුන් බොහෝ විට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ සබුද්ධිකවය. ඔවුන් බොරු කියා වටේ යැවීම අපහසු වන්නේ තොරතුරු තහවුරු කරගැනීමේ යන්ත්රණවල (Fact Checking) මේ තරුණ පරපුර සක්‍රියව සිටින නිසාය. ඔවුන් විසින් තහවුරු කරගත් නිවැරදි තොරතුරු සැණෙකින් වයිරසාකාරයෙන් සමාජ ජාලා ඔස්සේ එක් එක් තරුණ කණ්ඩායම් වෙත ආකර්ෂණය කරවීමේ හැකියාවක් ඔවුන්ට ඇත. ඔවුන්ට එක් එක් අපේක්ෂකයාගේ අතීත ක්‍රියාකාරකම් සහ ඔවුන් විසින් සිදු කරන ලද ප්රජාතත්න්ර විරෝධි යම් ක්‍රියා පිළිවෙතක් වේ නම් ඒ ගැන සැණෙකින් ප්‍රතිචාර දැක්මේ හැකියාව ඇත. එබැවින් අලුතින් එකතු වන ඡන්ද හැකි තාක් මැතිවරණයකදී හිමි කරගත හැකි නම් එය රටක් ලෙස අනාගතයට පියනැඟීමේදී ඒ තුළ පවතින්නේ දැඩි වාසියකි.
සංඛ්‍යාලේඛනවලට අනුව 2015 ඡන්දය දුන් තරුණ පිරිසද ඇතුළුව ඊළඟට එන මැතිවරණයකදී ඡන්දපොළ බලාපොරොත්තු වන ඡන්ද ප්‍රමාණය ලක්ෂ විස්සකට ආසන්නය. මේ ඡන්ද ලක්ෂ 20 අතිශය තීරණාත්මකය. එබැවින් ඔවුන්ට සමීප වන, ඔවුන්ට ආමන්ත්‍රණය කරන, ඔවුන් තුළ විශ්වාසය තහවුරු කරන චරිතයකටම මැතිවරණය සුබවාදි වනු ඇත.