
උසස් අධ්‍යපනය හමාර කර රැකියාවක නියැළීම තරුණ-තරුණියන්ගේ මූලික බලාපොරොත්තුවයි. ව්‍යවසායකත්වය හෝ වෙනත් අවස්ථා තිබුණද විශේෂයෙන් බහුතරය රජයේ විශ්වවිද්‍යාලයයකින් හිමි කරගන්නා උපාධිය සමඟ අපේක්ෂා කරන්නේ ‘සුදු කරපටි’ රැකියාවකි. මොවුන්ගෙන්ද බහුතරය සොයන්නේ ආණ්ඩුවේ රස්සාවකි. මේ නිසාම එදා-මෙදා තුර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සදාතනික සටන් පාඨය වන්නේ රජයේ රැකියාවක් ලබාගැනීමය. මේ අභියෝගයට ඕනෑම ආණ්ඩුවකට මුහුණ දෙන්නට සිදු වෙයි. මේ ආණ්ඩුවද මේ අභියෝගය හමුවේ පසුගියදා පියවර ගත්තේ උපාධිධාරීන් 16800කට රජයේ රැකියා ලබා දීමටය. මේ වන විටත් මේ උපාධිධාරීන්ගෙන් සැලකිය යුතු කොටසකට සංවර්ධන නිලධාරීන් ලෙස පත් වීම් ලැබී තිබේ. මේ අතර රජයේ විශ්වවිද්‍යාලයවලට ඇතුළත්ව උපාධිය හිමි කරගත් අය සේම බාහිර උපාධිධාරීන්ද සිටීම විශේෂත්වයකි. මේ පත්වීම් සිදු කෙරෙන අතරතුරදී ද දේශපාලනිකව උසිගැන්වුණු රැකියා නොලැබුණු උපාධිධාරීන් කොළඹ දෙවනත් කරමින් නොහික්මුණු විරෝධයක නියැළුණු බවද මහජනතාවට දැකගත හැකි විය. මේ සිදුවීම් දාම දෙකම රිය සක මෙන් සැමදා කරකැවෙන චක්‍රීය ක්‍රියාවලියකි.
එසේ වුවද ද්වේෂ සහගත දෘෂ්ටියකින් හෝ විවිධ ප්‍රතිලාභ හිමි වන ආණ්ඩුවේ රස්සාවක්ම ලබාගැනීමේ උන්නතිකාමි මානසිකත්වයෙන් එහා ගිය ලෝක ස්වභාවය ගැන අප වටහාගත යුතුය. දේශපාලන වේදිකාවේ රැකියා හිඟය පිළිබඳ විවිධ කතා කියවුණද අද මෙරට රැකියා වෙළෙඳපොළ තුළ විවිධ වෘත්තීන් සඳහා විසල් ඉඩක් විවරව තිබේ. විශේෂයෙන් පෞද්ගලික අංශයේ ඇතැම් ක්ෂේත්‍ර විශාල ශ්‍රම පිපාසාවක පෙළෙයි. විශේෂයෙන්ම ශිල්පීය නිපුණතා ප්‍රගුණ කළ තරුණ-තරුණයන් සොයාගැනීමේ පවතින දැවැන්ත ගැටලුව තුළ මේ අර්බුදය නිර්මාණය වී ඇත. මේ අතරේ තවත් පිරිසක් තමන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියා අංශවල නිරත වෙති.
අපේ තේමාව උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය වුවද පොදුවේ මෙරට සමස්ත රැකියා අර්බුදය තුළ මේ කරුණුවලින් අපට වියුක්ත විය නොහැකිය. විශ්වවිද්‍යාලයක උපාධිය යනු අද මෙරට බොහෝ රැකියාවලට මූලික සුදුසුකමක් බවට පත් වෙමින් තිබේ. එසේම මේ වන විට ඇතැම් රැකියා සඳහා මූලික උපාධිය ඉක්මවා පශ්චාද් උපාධිද ලබාගත් තරුණයන් ඉල්ලුම් කරන තත්ත්වයක් ඇත. රජයේ මුඛ්‍ය අරමුණ මෙලෙස පත්වීම් ලබන තරුණ-තරුණියන්ගෙන් උපරිම සේවාවක් ඔවුන්ගේ තරුණ කාලයේදී රටට ලබාගැනීමය. එසේ වුවද මේ නිලධාරීන්ගෙන් එවැනි උපරිම සේවාවක් ලබන තැනට ඔවුන් ස්වයංව කැප වන්නේ යැයි අපට බලාපොරොත්තු විය නොහැකිය.
ශ්‍රී ලංකා භූමියේදී අපට දැකිය හැකි පොදු දුර්වලතාවක් වන්නේ මේ උපාධිධාරීන් පොදුවේ දරන පසුගාමි ආකල්පය. ඔවුන් මුලින්ම බලාපොරොත්තු වන්නේ වැටුපකි. එය කිසි සේත් අසාධාරණ බලාපොරොත්තුවක් නොවේ. ඊළඟට ඔවුන්ට අවශ්‍ය වන්නේ ජැන්ඩියට ඇඳ-පැලඳ වාඩිගෙන සිටීමට පුටුවකි, මේසයකි. මේ අතරේ තමන් ලද රැකියාවෙන් උපරිම මෙහෙයක් ඉටු කොට රටට ඵලදායි සේවාවක් කරන්නේ කිහිප දෙනෙක් පමණි. ඔවුන්ගෙන් පිරිසකටද මේ කැප වීම අඛණ්ඩව සිදු කළ නොහැකි වන්නේ දැනට රාජ්‍ය සේවය වසාගෙන පැතිර ඇති අසුබවාදි, අකාර්යක්ෂමතාවේ වයිරස ඔවුන් විනාශ කරන නිසාය. එසේ නැති නම් ඔවුන්ට නිසි ලෙස නව ලෝකය සමඟ මුසු වීමේ තාක්ෂණික දැනුම, තොරතුරු තාක්ෂණය, භාෂා ප්‍රශ්නය හෝ නිසි ඇගයීම් ක්‍රමවේදයක් මඟින් ඔවුන්ට වෘත්තීය ප්‍රතිලාභ ලැබීමේ කාර්යක්ෂම ශක්තිමත් ක්‍රමවේදයක් නැතිකම නිසා ඔවුන් නිද්‍රාගත තත්ත්වයට පත් වීම සිදු විය හැකිය. පසුගිය කාලය තුළ පත්වීම් ලද උපාධිධාරීන් පිළිබඳ නිසි විමසීමකින් යුතුව සොයා බැලුවොත් පෙනෙන, ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථය එයයි. මේ තරුණ උපාධිධාරීන් ලද තනතුරු නාමය ‘සංවර්ධන නිලධාරි’ යන්නය. එසේ නම් සංවර්ධනය යදින ජාතියක් ලෙස සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය අතිශය වැදගත්ය. එහෙත් බලාපොරොත්තු වන මේ සංවර්ධනයට ඔවුන් කිනම් දායකත්වයක් සපයන්නේද යන්න මැනෙන පැහැදිලි වැඩසටහනක් අප සැකසිය යුතුව ඇත.
මේ අතර රටක් ලෙස අප පසු කළ යුතු ඉලක්ක ගණනාවකි. මේ ඉලක්ක හමුවේ පවතින ලොකුම අභියෝගය බොහෝ අය කියන පරිදි අය-වැයෙන් මුදල් වෙන් නොකිරීමම නොවේ. ඇතැම් විට සුදුසු ශ්‍රමිකයන් නොවීම, සුදුසු පුද්ගලයන් නොවීම වැනි අභියෝගද බොහෝ සෙයින් බලපායි. ඇතැම් විට ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික කැප කිරීම් සමස්ත ආයතනයම ගොඩ දමන තීරණාත්මක සාධක බවට පත් වෙයි. මෙවැනි පුද්ගලයන් සමූහයක් මේ තරුණ උපාධිධාරීන් අතුරින්ද බිහි වන්නේ නම් රටේ අනාගත ඉලක්ක පහසුවෙන් ළඟා කරගත හැකි වනු ඇත. විශේෂයෙන් නව උපාධිධාරීන්ට පෞද්ගලික අංශයට හා සමානව ආකල්ප සහ කුසලතා වර්ධනයක් නිසැකවම සිදු කළ යුතුය. විශේෂයෙන් ඔවුන් තුළ සුබවාදි, ධෛර්යවත් ආකල්ප සහ මනෝභාව රෝපණය කිරීමේ වැඩසටහන්වලට රජය ආයෝජනය කළ යුතුය. එසේම ඔවුන්ට නව තොරතුරු තාක්ෂණය ඇතුළු නව තාක්ෂණ ප්‍රවණතා සම්බන්ධයෙන් සහ වාත්තීය කුසලතා සම්බන්ධ ප්‍රාගුණ්‍යයක් ඇති කිරීමේ වැඩසටහන් සැකසිය යුතුය. ඔවුන් මේ ආකල්ප සහ කුසලතා මත තම රාජකාරි වගකීම්වලදී රජය හෝ රට වෙනුවෙන් දක්වන කැප වීම, කාර්යක්ෂමතාව නිසි ලෙස ඇගයීමට ලක් කළ යුතුය; නිසි කාර්ය සාධනයක් කළ යුතුය; විශේෂයෙන් උසස් වීම්, වැටුප් වර්ධක, විදේශ පුහුණු ආදිය ලබා දීමේදී ඇගයීමක් කළ යුතුය.
මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම යනු ඔවුන්ගේ මවුපියන්ට, පවුල්වලට ලැබෙන ලොකු සහනයකි. මේ සහනය වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය ඔවුන්ගේ වාර්ෂික පුහුණුවීමේ කාලයේ පමණක් වැටුප් සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 33 ඉක්මවන බව භාණ්ඩාගාර වාර්තා සඳහන් කරයි. රටේ මුදල් තිස්තුන් කෝටියක් මාසිකව වැය කොට පුහුණු කාලය හමාර කරන මේ තරුණ උපාධිධාරීන් වර්ෂයක් ඉකුත් වීමෙන් පසු ස්ථිර කිරීමේදී සලකා බැලෙන්නේ මාස තුනක වැටුප් රහිත නිවාඩු ලබාගැනීම පමණි. ඒ අනුව මේ පිරිසගෙන් අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවයේ ස්ථිර සේවකයන් ලෙස පත් වීම් ලබනු ඇත. එවිට ඔවුන් වෙනුවෙන් මාසිකව රජය වැය කරන මුදල දෙගුණයට ආසන්න වෙයි. මේ දැවැන්ත ආයෝජනයේ ප්‍රතිඵලය මුදලින් මනිනවා නම් එය ආයෝජනය මෙන් අවම වශයෙන් දස ගුණයක් විය යුතුය. එනම්: මේ උපාධිධාරීන් කණ්ඩායම අඩුම තරමින් රටට කෝටි 330ක වත් වැඩක් කළ යුතුය.