නුවර යුගයේ විහාර චිත්‍ර මත ලියැවුණු බිතු ලේඛනවල නොකියැවුණු කතාව | සිළුමිණ

නුවර යුගයේ විහාර චිත්‍ර මත ලියැවුණු බිතු ලේඛනවල නොකියැවුණු කතාව

ශ්‍රී ලාංකේය සිතුවම් කලාවේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික හෝ වැදි චිත්‍ර ( Pre historic or vedda rock - art) සම්ප්‍රදාය දක්වා දිවයයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සිතුවම්වලින් බහුතරය, බෞද්ධ විහාරයන්හි ඇති බෞද්ධ සංදර්භය සහිත සිතුවම් වේ. ප්‍රතිමාඝරවල පමණක් නොව, ධාතු ගර්භවල හා ස්තූප වාහල්කඩවල පවා එවැනි සිතුවම් ඇඳ තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී. බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය සමඟම පැතිර ගිය ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව, කාලානුරූපව විවිධ ශෛලීන් මත පදනම් වී ඇති අතර ඒ අනුව අනුරාධපුර, පොලොන්නරු, ගම්පොළ හා මහනුවර යන යුග යටතේ එම ශෛලීන් හඳුනාගත හැකිය.

ඒ අනුව අනුරාධපුර හා පොලොන්නරු යුගවල දී යථාර්ථවාදී ත්‍රිමාන සිතුවම් සම්ප්‍රදායයන් භාවිතයේ පැවතුණු අතර ගම්පොළ, මහනුවර යුගවල දී ජනකලා මුහුණුවරක් ගත් පැතලි (ද්වීමාන) සිතුවම් සම්ප්‍රදාය ප්‍රචලිතව පැවතිණි.

අනුරාධපුර යුගයේ දී බිත්ති පුරා පැතිර යන සේ ඇඳි සිතුවම් සම්ප්‍රදාය ප්‍රචලිතව තිබූ අතර පොලොන්නරු යුගයේ දී එම සම්ප්‍රදායට අමතරව මුල් වරට තීරුවල සිතුවම් ඇඳීමේ සම්ප්‍රදායන් ද භාවිතයේ පැවතිණි. පොලොන්නරු තිවංක පිළිමගෙයි සිතුවම් අතරින් ඊට නිදසුන් හඳුනාගත හැකි ය.

ශෛලිය අතින් වෙනස් වූවත්, ගම්පොළ හා මහනුවර යුගවල දී තීරු සිතුවම් සම්ප්‍රදාය වඩාත් ප්‍රචලිත වී තිබේ. ගම්පොළ යුගයට අයත් නිදසුන් විරල වූවත්, මහනුවර යුගයට අයත් විහාරස්ථානයන්ට අනන්‍ය වූ සිතුවම් සම්ප්‍රදාය ලෙස එම තීරු සිතුවම් හැඳින්විය හැකි ය.

මහනුවර යුගයේ සිතුවම්, ඊට පෙර අවධිවලට අයත් සිතුවම් හා සැසඳීමේ දී හඳුනාගත හැකි විශේෂත්වය නම් සිතුවම් හා බැඳුණු ලේඛන සම්ප්‍රදායක් ද භාවිතයේ පැවතීම ය. ඒ අනුව එම සිතුවම් පැහැදිලි ලෙස හඳුනාගැනීම් අවස්ථාව සැදැහැවතුන්ට උදාවේ. 18 වන සියවසේ දී බෞද්ධ විහාර ඇසුරෙහි ප්‍රචලිතව පැවැති එම සම්ප්‍රදාය, ශ්‍රී ලංකාවට ආවේණික වූවක් නොව, දකුණු ඉන්දියාවේ සමකාලීනව භාවිතයේ පැවැති සම්ප්‍රදායක් බවට නිදසුන් හඳුනාගත හැකි වේ (1 රූපය). ඒ අනුව ගම්පොළ යුගයේ දී ආරම්භ වූ එම සම්ප්‍රදාය දකුණු ඉන්දීය ආභාසය මත වර්ධනය වූවක් ලෙස හඳුනාගත හැකි ය.

18 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල්වල ද එම සිතුවම් සම්ප්‍රදාය භාවිත වූ බවට දැනට ඇති එකම නිදසුන ලෙස 1798 දී ඉදි කර ඇති ගාල්ල කළුවැල්ල ශ්‍රී කදිරේෂන් කෝවිලේ සිතුවම් පෙන්වා දිය හැකිය (2 රූපය).

මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදාය, මධ්‍යම මහනුවර සම්ප්‍රදාය, ප්‍රාදේශීය මහනුවර සම්ප්‍රදාය හා දක්ෂිණ (පහතරට) වශයෙන් ප්‍රභේද තුනක් හඳුනාගත හැකි වන අතර ඉන් මධ්‍යම පළාතේ රජමහා විහාර බොහොමයක් ම මධ්‍යම මහනුවර සම්ප්‍රදායේ හෙවත් රාජ අනුග්‍රහය යටතේ බිහි වූ විහාරස්ථාන වේ. ඒ අනුව එම විහාරයන්හි සිතුවම් විෂයයෙහි ඇති ඉහත කී ලේඛන සම්ප්‍රදාය පිළිබඳ විමර්ශනය කිරීම මේ ලිපියෙහි අරමුණ වේ. සිතුවම් අඳින ලද සිත්තරුන්ගේම නිර්මාණ වන එම ”බිතු ලේඛන” අපගේ අභිලේඛන පිළිබඳ අධ්‍යයනවල දී මෙතෙක් අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

බිතු ලේඛන ප්‍රභේද

මධ්‍යම පළාතේ රජමහා විහාර ආශ්‍රිත බිතු ලේඛන ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් යටතේ හඳුනාගත හැකි ය. එනම්,

1. සිතුවම් විස්තර කිරීමේ ලේඛන හා

2. විහාර කර්මාන්තයන්ට අදාළ ලේඛන වශයෙනි.

1. සිතුවම් විස්තර කිරීමේ ලේඛන

මහනුවර යුගයට අයත් සිතුවම් වඩාත් සුලබ බිතු ලේඛන ප්‍රභේදය ලෙස මෙය හැඳින්විය හැකිය. මේ ලේඛන ද ආකෘතියට අනුව ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය.

(අ) සිතුවම ඇතුළත වූ කොටු (ආයත හෝ සමචතුරස‍්‍ර) තුළ ලිවීම.

(ආ) සිතුවම/සිතුවම් පේළියට පහළින් ලිවීම.

(ඇ) සිතුවම ඇතුළත අවකාශයක් ඇති තැනක අවිධිමත් ලෙස ලිවීම.

පූර්වෝක්ත ක්‍රම අතරින් වඩාත් සුලබව දැකගත හැකි වන්නේ මුල් ක්‍රම දෙකට අනුව රචිත ලේඛනය. තෙවන ක්‍රමයට නිදසුන් ස්ථාන කිහිපයකින් පමණක් හඳුනාගත හැකිය. දඹුල්ල රජමහා විහාරයේ මහා රාජ ලෙනෙන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිහිණියාගල රජමහා විහාරයෙන් ඊට නිදසුන් හඳුනාගත හැකි ය. එවැනි ලේඛන රචනා කර ඇත්තේ සිතුවම් ඇඳීමෙන් අනතුරුව එම ස්ථානයෙහි ඉතිරි වන ඉඩ ප්‍රමාණයට අදාළ ලෙස බව එමඟින් පැහැදිලි වේ.

සිතුවම් ඇතුළත කොටු තුළ විස්තර දැක්වීම සඳහා සිතුවම් අඳින විට අදාළ ස්ථානවල සුදු පසුබිමෙන් යුතු හිස් කොටු තබා පසුව, එම කොටු තුළ අවශ්‍ය විස්තර සටහන් කර තිබේ. ඒ අනුව ඇතැම් විට වැඩිපුර තිබූ හිස් කොටු ශේෂව තැබීමට සිදු වී ඇති බව ලේවැල්ල, ගංගාරාමයේ හා දෙගල්දොරුව සිතුවම්වලින් පෙනේ. ඇතැම් විට එක් වචනයක් පමණ ලියා, ලේඛනය සම්පුර්ණ කර නැති අවස්ථාද මහනුවර හාරිස්පත්තුව කලොටුවාව රජමහා විහාරයෙන් හඳුනාගත හැකිය (9 රූපය). එසේම කොටුවෙහි ඉඩ ප්‍රමාණය වැඩි වූ විට, අවසාන අක්‍ෂර පේළි විශාලව ලියා හිස් බව පූරණය කිරීමට ද කටයුතු කර තිබේ (10 රූපය).

ඇතැම් විට කොටුවේ අවසාන ලේඛනය සඳහා ඉඩ ප්‍රමාණවත් නොවූ විට, එය ඉන්පසු රචනා කර ඇති අවස්ථාද විරල වශයෙන් හමු වේ. ලිහිණියාගල විහාරයෙන් ඊට නිදසුන් හඳුනාගත හැකිය (11 රූපය). බොහෝ විට එම කොටුවල රාමුව කළු වර්ණයෙන් ඇඳ තිබුණ ද, කලාතුරකින් එම රාමුවට අමතරව වෙනත් වර්ණ රාමු ද යොදාගෙන තිබේ. මිණිගමුව රජමහා විහාරයෙන් ම ඊට නිදසුන් හඳුනාගත හැකිය. ලේඛනවල අක්‍ෂර පේළි නිදහස්ව ලියා ඇතත්, ඒ සඳහා රූල් ගැසූ අවස්ථාවන් ද මිණිගමුව රජමහා විහාරයෙන් ම හඳුනාගත හැකිය (12 රූපය).

ඓතිහාසික කථා වස්තු, සූවිසි විවරණය හෝ බුද්ධ චරිතයේ අවස්ථා විස්තර කෙරෙන පූර්වෝක්ත ලේඛන හැරුණු විට සිතුවමට නැඟූ රාජ රූප, දේව රූප, විහාර කර්මාන්තයට මුල් වූ භික්ෂුන් වහන්සේගේ රූප හෝ වෙනත් විශේෂිත කලා නිර්මාණ නම් කිරීමේ ලේඛන සම්ප්‍රදායක් ද භාවිතයේ පැවැති බව හඳුනාගත හැකි ය. නිදසුන් ලෙස මහනුවර දළදා මාලිගාවේ, අදාළ රූපවලට පහළින් යොදා ඇති පහත ලේඛන දැක්විය හැකි ය.

කිර්‍තශ්‍රීමහරජතුමා

ශක්‍රදිව්‍යරාජයා

මහාබ‍්‍රහ්මරාජයා

විමලදහම් රජතුමා

චතුර්නරිපල්ලැක්කිය

2 විහාර කර්මාන්තයන්ට අදාළ ලේඛන

විහාර කර්මාන්තයට අදාළ ඓතිහාසික තොරතුරු සනාථ කර ගැනීමෙහිලා වැදගත් ලේඛන ප්‍රභේදයන් ලෙස එම ලේඛන හැඳින්විය හැකි ය. සූරියගොඩ රජමහා විහාරයේ සිතුවම් තීර අතරෙහි සඳහන් කර ඇති ”බුඬ වර්ෂයෙන් යෙන් දෙදාසැ තුන්සිය තෙසාණු වර්‍ෂයෙ--- යන්න (බු.ව 2393/ක්‍රි.ව 1850), 18 වන සියවසට අයත් එම සිතුවම් ප්‍රකෘතිමත් කළ වර්ෂයක් විය හැකිය. 18 වන සියවසට අයත් කැකිරාව මහඇලගමුව රජමහා විහාරයෙන් ද ක්‍රි.ව. 1858 දී එහි ප්‍රකෘතිමත් කිරීමට අදාළ ලේඛනයක් (13, 14 රූප)දැකිය හැකිය.

මහනුවර යුගයට අයත් රජමහා විහාරවල පසුකාලීන විහාර කර්මාන්ත පිළිබඳ තොරතුරු ඇතුළත් එම ලේඛන බොහොමයක්ම 19 වන සියවසේ දෙවන භාගයෙන් පසු කාලයට අයත් වන අතර ඒවා ශිලා ලේඛන සම්ප්‍රදායෙහිම විකාශනයක් ලෙස හැඳින්විය හැකි ය.

දඹුලු විහාරයෙන්ද එවැනි ලේඛන කීපයක් ම හඳුනාගත හැකි ය.

අක්‍ෂර ශෛලිය හා භාෂා සම්ප්‍රදාය

එම ලේඛනවල අක්‍ෂර ලියා ඇත්තේ සිතුවම්වල පිටරේඛා අදින ලද තෙලිතුඩෙනි. ඒ අනුව චිත්‍ර තිරවල පළලෙහි වෙනස්කම් අනුව සිතුවම්වල පිට රේඛාවෙහි ද වෙනස්කම් පවතින්නාක් මෙන්ම අක්‍ෂරවල රේඛා ද එකිනෙකට වෙනස් වේ. ඉතා පටු සිතුවම් තීර ඇති ලේවැල ගංගාරාමයේ සිතුවම්වල දැකිය හැකි ලේඛන පෑනකින් ලියා ඇති ආකාරයේ කුඩා අක්‍ෂරවලින් සමන්විත ය.

සිතුවම් තීර පළලින් වැඩි වන විට අක්‍ෂර ප්‍රමාණයෙන් විශාල වේ. කලු පැහැයෙන් යුතු එම අක්‍ෂර පුස්කොළ ලේඛන සම්ප්‍රදායේ එන අක්‍ෂරවලට බොහෝසෙයින් සමානත්වයක් ගනී. එහෙත් විහාර කර්මන්ත පිළිබඳ ලේඛන 19 වන සියවසේ දෙවන භාගයට හා ඊට පසු කාලයට අයත් වන බැවින් ඒවායේ අක්‍ෂර මුද්‍රණ අක්‍ෂර රටාවකට හුරු මුහුණුවරක් ගෙන තිබේ.

දඹුලු විහාරයේ, දේවරාජ විහාරයේ, මහාරාජ විහාරයේ හා දෙවන අලුත් විහාරයේ ලේඛන ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ඒ සෑම ලේඛනයක්ම පද බෙදීමකින් තොරව එක දිගට රචිත ස්වභාවයක් ගනී.

(අ). අක්‍ෂර වින්‍යාසය

සිත්තරුන් විසින් රචිත එම ලේඛනවල නිවැරදි අක්‍ෂර වින්‍යාසයෙන් තොර හා අවියත් වදන් රැසක්ම දැකගත හැකි ය. ඇතැම් විට එක ම ලේඛනය වුව එකම වචනය එකිනෙකට වෙනස් අයුරින් ලියා ඇති අවස්ථා ද දැකිය හැකිය.

ලිහිණියාගල රජමහා විහාරය

ශ්‍රැක්‍රයාවිශිංපරශතු රුක ශොල්ලා....

බුදුශමයෙහි....

ශමංතකුට පර්‍වත ....

තාපශ....

මිණිගමුව රජමහා විහාරය

ජොතිපාලනංබ‍්‍රාඃමන...

දීඵංකර...

කලොටුවාව රජමහා විහාරය

පිඋමතුරා නං...

දඹුලු විහාරය

තොසිත භවනය

සොප්න...

මුරුන්දෙණිය රජමහා විහාරය

බේාසතානො...

(ආ) අක්‍ෂර අතපසු වීම්

එම ලේඛනවල අතපසු වූ අක්‍ෂර එම ස්ථානයෙහිම පහළින් හෝ ඉහළින් පසුව ලියා තැබූ අවස්ථා දැකිය හැකි ය. මුරුන්දෙණිය රජමහා විහාරයේ සූවිසි විවරණයට අදාළ එක් ලේඛනයක එලෙස අක්‍ෂරයක් අතපසු වූ ස්ථානයක ඉහළින්, “+“ ලකුණක් යොදා ඊට පහළින් අදාළ අක්‍ෂරය ලියා තිබේ. කැකිරාව මහඇළගමුව රජමහා විහාරයෙහි ද සූවිසි විවරණයට අදාළ ලේඛනවල එවැනි අතපසු වීම් රැසක් ම හඳුනාගත හැකි ය. ඇතැම් විට අතපසු වූ අක්‍ෂර පහළින් කුඩාවට ලියා ඇති අතර සමහර තැනක එලෙස ලිවීම ද අතපසු වී ඇති බව පෙනේ

සමෝධානය

මධ්‍යම පළාතේ රජමහා විහාරයන්හි බිතු සිතුවම් සම්බන්ධයෙන් විවිධ තේමා ඔස්සේ අධ්‍යයන ගණනාවක් ම සිදු වී ඇතත්, එම සිතුවම් ආශ්‍රිත ලේඛන සම්ප්‍රදාය පිළිබඳ සිදු කරන ලද එම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ තවත් අභිලේඛන ප්‍රභේදයන් පිළිබඳ විමර්ශනයකි.

එම ලේඛන අනුසාරයෙන්, තත්කාලීන අක්‍ෂර සම්ප්‍රදාය, භාෂා ව්‍යවහාරය පමණක් නොව විහාර කර්මාන්තයන්ට අදාළ ඓතිහාසික තොරතුරු සනාථ කර ගැනීමෙහිලා ද ලැබෙන්නේ ඉමහත් පිටිවහලකි.

Comments