
බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය වර්තමාන ලෝකයේ අදහන ආගම් අතර නවීන විද්‍යාව සමඟ ගැටුමක් නැති නවීන විද්‍යාව සමඟ මිතුරු දහමක් බව අවධාරණය කළ මෑත කාලීන විද්වතකු වන්නේ ආචාර්ය ඩේවිඩ් පී බරාෂ් ය. සත්ත්ව විද්‍යාව සම්බන්ධයෙන් පසුබිමක් ඇති මේ විද්වතා විසින් ලියන ලද Buddhist Biology: ancient Eastern wisdom meets modern Western science නම් ග්‍රන්ථය බුද්ධ ධර්මයේ විදුහුරු බව මෑතකාලීන බටහිර ලෝකයට තහවුරු කිරීමේ හොඳම ලියවිල්ලක් වූ අතර මේ පොත කියැවීමෙන් පසුව බොහෝ දෙනෙක් බුදු දහම ගැන සොයන්නට විමසන්නට මෙන්ම බුදු දහම ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරන්නට ද පෙලඹුණහ.
එවැනි වූ දහමක් අවිච්ඡින්න ව අද වනතෙක් පවත්වා ගෙන ආවේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක ප්‍රජාව ය. උන්වහන්සේලා වසර දෙදහස් පන්සිය ගණනක් මුළුල්ලේ බුදුන් දෙසූ මේ විද්‍යානුකූල ධර්මය යුද ගැටුම් කෝලාහල , දුර්භික්ෂ සා ගිනි නියං මැද බොහෝ අසිරුවෙන් පවත්වාගෙන ආවේ කඩු කිනිසි ගෙන කවුරුන් හෝ කපා කොටා හෝ ගල් ගසා පසුබස්සවා නොවේ; මහා සංඝරත්නයේ පිහිටියා වූ උජුපටිපන්න එනම් සෘජු ව පිහිටීමේ, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලීමේ ගුණයත් නිසා ය; එසේම මේ මහා සංඝ රත්නය ශීලයෙන් සමාධියෙන් සහ ප්‍රඥාවෙන් යුතුව කටයුතු කළ නිසා ය. මෙකී ආර්ය මහා සංඝ රත්නය අදට ද මේ සමාජයේ වන්දනීය වෙති.
එසේ වුවද පසුගියදා මෙරට ප්‍රධාන පෙළේ සඟ රුවනක් වෙතින් මාධ්‍ය හමුවේ එළි දුටු එක්තරා ප්‍රකාශයක් ගැන අද රටේ දැඩි කතා බහක් නිර්මාණය වී ඇත. හිංසාව, පීඩාව ව්‍යංගයෙන් අනුමත කරවන ආකාරයෙන් සිදු කරන මේ කතාවේ යම් වෛරී ද්වේෂ සහගත බවක් පවතින බවට යමකුගේ සිතෙහි ඇති වන හැඟීම යටපත් කළ නොහැකිය. එහි පවතින ද්වේෂ සහගත බවත්, පසුගියදා ඉල්ලා අස්වූ නැගෙනහිර පළාතේ දේශපාලකයා කාතන්කුඩියේදී තම ජනකොටස සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයත් අතර ලොකු වෙනසක් දැකිය නොහැකි තරම් ය.
රටේ තීරණාත්මක දේශපාලන චරිත, ආගමික නායකයන් සිවිල් චරිත සේම ක්‍රිකට් හෝ සිනමා නළු නිළියන් වැනි ක්ෂේත්රයේ ඉහළ ම ගෞරවයක් ඇති පුද්ගලයන් රටක් හෝ සමාජයක් ගැන කරන කියන දෙය ඔවුන් දරන ආකල්ප සමාජයට අතිශයෙන් ම වැදගත් ය. ඔවුන්ගේ මුවින් හෝ ඇඟිලි තුඩුවලින් පිටවෙන වචනවලින් සමාජයට යම් බලපෑමක් කළ හැකිය. යම් සමාජයක උත්තුංග වූ ගෞරව බහුමානයට ලක් වන චරිතයකට හෝ සමාජයේ ජනප්‍රිය චරිතයකට ඒ සමාජය උසස් ගුණාංගවලින් යුතු කන්දකට පහසුවෙන් ගෙන යා හැකි සේම දැවැන්ත ප්‍රපාතයකට තල්ලු කිරීමට ද හැකිය.
යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තකුට ඒ වරද ඔප්පු වන්නටත් කලින් ගල් ගැසීම අනුමත කිරීමට යමකු අනුබල දෙන්නේ නම්, එය සැබැවින් ම සමාජය ප්‍රපාතයකට තල්ලු කිරීමකි. අශිෂ්ටත්වයේ තැනකට ඇදගෙන යෑමකි.
මේ රටේ දේශපාලන නායකයන් පමණක් නොව බොහෝ ප්‍රභූන්, විද්වත් වෘත්තිකයන්, විදේශීය නියෝජිතයන් අද තමන්ගේ තීරණ ගැන මුලින් ම කියන්නට අග්‍ර කොට ගන්නා ඉහළ ම පෙළේ සංඝරුවනක් තම භාෂණයේදී කෙතරම් වගවීමක් තිබිය යුතුද යන්න අවබෝධ කර ගත යුතුය.
පසුගිය දිනවල මෙරට එක්තරා දිසා විනිසුරුවකු වැඩ තහනමකට ලක් වූ සිද්ධියක් අපට මතක ය. එය ද සිදුවන්නේ පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජනතාව අතර කැලඹීමක් හට ගත හැකි ආකාරයේ ප්‍රකාශයක් තම සමාජ ජාල පිටුවක පළ කිරීම නිසා ය. විනිසුරුවකු නොවූව ද සැබැවින් ම එවැනි ගරු කටයුතු වගකීමක් දරන පුද්ගලයකුට නිදහස් වූ පමණින් ඊනියා සමාජ ජාලවල තම පුද්ගල ප්‍රතිරූපයට සහ වෘත්තියෙන් වියුක්තව එවැනි මත දැරිය හැකිද යන්න ගැටලුවකි. එයද එක්තරා ආකාරයකට සමාජය ප්‍රපාතයකට ඇද දැමීමකි. සමාජ ජාලා හරහා තම වෘත්තීයභාවය හෝ සමාජයේ තමන්ට පවතින සිවිල් බලය නොතකමින් යම් යම් ප්‍රකාශ සටහන් කරන වෘත්තිකයන් සමාජයේ ප්‍රභූ පන්තිය, තරු පැළැන්තිය නියෝජනය කරන්නන් කොතෙකුත් දැකිය හැකිය. ලංකාවේ කෙසේ වුවද අන්තර්ජාතික තලයේ ද ජනප්‍රිය චරිත වෙතින් එවැනි දේ ප්‍රකාශ වීම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙයි.
විශේෂයෙන් ම මෙවැනි කතා ඉතා අවදානම් වන්නේ, අප මේ ගෙවන පශ්චාත් ත්‍රස්ත ප්‍රහාර කාලසීමාවක නිසා ය. මේ වනවිටත් රටේ ජන කොටස් දෙකක් අතර විරසකයක් නිර්මාණය වී ඇති බව අප පිළිගත යුතුය. පසුගියදා ඉල්ලා අස්වූ ඇමැතිවරුන්ට යළිත් ඇමැතිකම් බාර ගන්නැයි අනුශාසනා කළේ ද මහා සංඝ රත්නයයි. සංඝරත්නයේ උත්තරීතර නියෝජිතයන් ජනතාව සම්බන්ධයෙන් කරන සෑම ප්‍රකාශයක් ම වගකීමක් සහිත එකක් විය යුතුය. අනෙක ඉස්සර මෙන් අද එවන් ප්‍රකාශ ‘මා එවැන්නක් කිවේ නැතැයි‘ කියා ඇඟ බේරා ගත නොහැකිය. කවුරුන් හෝ කියන කරන යමක් වගකීම් සහගත ලෙසින් ප්‍රචාරය නොකළහොත් ඒ ප්‍රචාර තත්ත්පර ගණනක් ඇතුළත වෛරස් ආකාරයෙන් ලෝකය පුරා පැතිර යයි. බෞද්ධයන් අතර පමණක් නොව සමස්ත මහා ජනතාව අතර සංඝරත්නය කෙරෙහි දැඩි ගෞරවයක් ඇත. උන්වහන්සේලාගෙන් ජාතියට ලැබෙන මඟ පෙන්වීම් කෙතරම් තීරණාත්මක ද යන්න පෙන්වූ මෑත සිදුවීමක් වන්නේ මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් මහනුවරදී සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයයි. එය එක් එක් හුදෙකලා චූදිත චීවරධාරීන් තම දේශපාලන න්‍යාය පත්‍ර අනුව දේශපාලකයන්ට එරෙහි සංඝ ආඥා නිකුත් කළාට වඩා සිය දහස් ගුණයක ප්‍රබලතාවකින් යුතු විය. වර්තමාන ලෝකයේ නවීන විද්‍යාව සමඟ අනුගත වන අකාලික වූ බුදු දහම වෙනුවෙන් ඇප කැප වන සංඝරත්නය උතුම් පින් කෙතක් එනම් අනුත්තරං පුඤ්ඤකෙත්ථං ම විය යුතුය.