
ඩී. තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යයනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල
ලෝහ පූර්ව-ඓතිහාසික අවධියේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිහරණ රටාවේ මූලික අංගයකි. සේරුවිල ලෝහ නිධියේ වූ ලෝහ ක්‍රිපූ 6 වැනි සියවස පමණ වන විට අනුරාධපුරයට රැගෙන විත් ඇති බව අනුරාධපුර ඇතුළුපුර පූර්ව-ඓතිහාසික අවධියට අයත් ජනාවාස ස්තරවලින් හමු වී ඇති ලෝහ මෙවලම් ආශ්‍රිතව සිදු කර ඇති රසායනික මූලද්‍රව්‍ය විශ්ලේෂණයට අනුව හඳුනාගෙන තිබේ. එසේම මේ කාලයට සමකාලීනව මධ්‍ය යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික ජනාවාස වන ගුරුගල්හින්න, දිවුල්වැව, වඩිගවැව, කොක්එබේ, කදිරවේලි යන ස්ථානවලින් යකඩ හෝ තඹ වාර්තා වී ඇති බව රාජා ද සිල්වා ඒ ස්ථාන ආශ්‍රිතව සිදු කර ඇති කැණීම්වලින් වාර්තා කර ඇත.
මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති අර්ජුන තන්තිලගේ ප්‍රකාශ කර ඇත්තේ රාජා ද සිල්වා මේවා තඹද ලෝකඩද යන්න නිශ්චිත ලෙස ප්‍රකාශයට පත් කර නැති බවයි. එහෙත් ගුරුගල්හින්න ආශ්‍රිතව තඹ උපකරණ ලැබී ඇති බව රාජා ද සිල්වා 1970 වර්ෂයේ වාර්තා කර ඇති බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී තිබේ. එසේම වඩිගවැව ශිලා මංජුසා සුසානයක් ආශ්‍රිතව යකඩ වාර්තා වී ඇති බව එස්කේ සිත්‍රපලම් පෙන්වා දී ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න ප්‍රකාශ කර ඇත. අර්ජුන තන්තිලගේ පෙන්වා දී ඇති ආකාරයට ගුරුගල්හින්න ආශ්‍රිතව වාර්තා වී ඇති ලෝහ මෙවලම් අතර තඹවලින් පමණක් නිර්මාණය කරන ලද ඒවා හමු වී තිබේ. එසේම කොක්එබේ, වඩිගවැව, දිවුල්වැව, යන ස්ථාන ආශ්‍රිතව යකඩ හා තඹ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මිත උපකරණ හමු වී ඇත.
තම්මැන්නාගොඩැල්ල ආශ්‍රිත සුසාන 2013 වර්ෂයේ කැණීම් කරන ලද රංජිත් දිසානායක ඒ සුසාන තුළ තැන්පත් කර තිබු රනින් නිමවා තිබූ පබළු, යකඩවලින් නිර්මිත වළළු, කරාබු, දුනු හිස් හා කෘෂි උපකරණද තඹවලින් නිර්මාණය කරනු ලැබු ඇස් අලංකරණයට භාවිත කරන අංජන කූරු හා වළලුද හමු වූ බව ප්‍රකාශ කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට සේරුවිල පිහිටි තඹ, පූර්ව-ඓතිහාසික අවධියේ ලංකාවේ අනෙකුත් ජනපද වෙත ලබා දී ඇත. විශේෂයෙන්ම මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාපිත පූර්ව-ඓතිහාසික ජනතාව අනිවාර්යයෙන්ම යාන් ඔය මධ්‍ය නිම්නයට ලෝහ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර ලෝහ මෙවලම් නිෂ්පාදනය කරන්නට ඇති බව පෙන්වා දිය හැක්කේ ඊට පසුව ඇති වන මුල් ඓතිහාසික සංස්කෘතික අවධියේදී ඒ ලෝහ සම්පත් අත්පත් කරගැනීමේ කාර්ය තීරණාත්මක වී ඇති ආකාරය කුරුණෑකල්ලු පූර්ව බ්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි නිසාය.
සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වාදෙන ආකාරයට ඒ ලිපියේ සඳහන් ‘පරුමක තබර වෙල’ යන්න මඟින් තඹ කර්මාන්තයේ නියැළි පරුමකවරුන් පිළිබඳ පැහැදිලි වන බව ප්‍රකාශ කර ඇත. පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදාහැරීම් ජාලය ඔස්සේ හඳුනාගත හැකි අතර, ලෝහ කර්මාන්තය ආශ්‍රිතව විශේෂඥ ශිල්ප කටයුතුවල නියැ පිරිස් මධ්‍ය යාන් ඔය නිම්නයේ ළුණු පෙරියපුලියන්කුලම, කැබිතිගොල්ලෑව, බ්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදි ස්ථාන ඇසුරෙන් ස්ථානගත වී සිට ඇති බව මුල් බ්‍රාහ්මී අභිලේඛන අනුවද හඳුනාගත හැකි වේ.
ඒ අතර තබකර (තඹකරු), තොපශ (බෙලෙක්කරු) ආදි ශිල්පීන් මෙන්ම යකඩ කර්මාන්තයට සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍යයක් දැක්වූ ශිල්පීන් කබර (යකඩකරු) මේ ප්‍රදේශ ආශ්‍රයෙහි ජීවත් වූ බව හඳුනාගත හැකි වීම තුළ ඔවුන් පූර්ව-ඓතිහාසික අවධියෙන් සම්භවය ලබා මුල් ඓතිහාසික අවධියේ දී දියුණුවට පත් වූ පිරිස් බව හඳුනාගත හැකි වේ.
ලෝහ සම්පත්වලට අමතරව මධ්‍ය යාන් ඔය නිම්නය පූර්ව-ඉතිහායේදී ආකර්ෂණය වීම උදෙසා මේ ප්‍රදේශ ඇසුරෙන් දැකගත හැකි ඛනිජ පාෂාණවල පිහිටීමද වැදගත් වේ. මේ භූමියේ ස්ථාපිත ඛනිජ පාෂාණ අතර තිරුවාණා වර්ගවල පිහිටීම බලපා තිබේ. දිවුල්වැව සිට උතුරු දෙසට විහිදෙන පාෂාණ වැටිය ආශ්‍රිතව පිහිටන ඛනිජ තීරුවක තිරුවාණා ඛනිජ බහුලව දක්නට ලැබේ. විශේෂයෙන්ම කොක්එබේ සුසාන භූමිය ආශ්‍රිතව 2016දී සිදු කළ කැණීම්වලදී ඒ සුසාන අභ්‍යන්තරයෙන් මෙන්ම කැණීම් පරිශ්‍රයෙන්ද දුම්පැහැ තිරුවාණා (Smokey Quartz) හා විනිවිද පෙනෙන තිරුවාණා (Clear Quartz) වර්ග වාර්තා වී ඇත. එමඟින් මේ යුගයේදී එම ඛනිජ වර්ග එම ප්‍රදේශයේ නිවැසි පූර්ව-ඓතිහාසික මිනිසුන් භාවිත කළ බව මැනවින් පැහැදිලි වේ.
යාන් ඔය නිම්නයේ පූර්ව-ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තිය හඳුනාගැනීමේදී දැනට ඒ ප්‍රදේශය ඇසුරෙන් හඳුනාගත හැකි මෙගලිතික සොහොන් සංකීර්ණ හා ඒ ආශ්‍රිතව හඳුනාගත හැකි සුසාන ආකෘතිවල සංවර්ධනය අධ්‍යයනය කිරීමෙන්ද එක්තරා ආකාරයකට පූර්ව-ඓතිහාසික ජනාවාස රටාවේ ව්‍යාප්ත වීමේ මෝස්තරය හඳුනාගැනීමට හැකි වේ. යාන් ඔය නිම්නයෙන් මේ වන විට මෙගලිතික සුසාන ස්ථාන 35කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර, ඒ අතර ආකෘති ගණනාවකට අයත් සුසාන පවතී. ඒ ආකෘති අතර ශිලා මංජුසා සුසාන (Cist Burial), ශිලා කේතුක සුසාන (Cairn Mound), ශිලා මණ්ඩල සුසාන (Cairn Circle), ශිලා මඤ්චක සුසාන (Delmenoid Cist), බරණි සුසාන (Urn Pot) පවතින බව පෙන්වාදිය හැකිය. මේ සුසාන ගොඩනඟා ඇති වාස්තු විද්‍යාව (Burial Architecture) පිළිබඳ විමර්ශනය කිරීමේදී පූර්ව-ඓතිහාසික ප්‍රජාව ඔවුන්ගේ තාක්ෂණික ක්‍රියාවලිය එක්තරා ආකායකට ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම සිදු කර ඇති බවට සාධක ඉන් හඳුනාගත හැකි වේ.
සංස්කෘතියක් ආරම්භක අවස්ථාවේ පරිණත භාවයට පත් නොවන අතර, එය සංවර්ධනය වීම සඳහා තාක්‍ෂණ ශිල්පයේ වර්ධනය සමඟ ජනරේඛනයේ ප්‍රසාරණය හා සම්පත්වලට ඇති වන ඉල්ලුම වර්ධනය විය යුතුය. ප්‍රාථමික ජන සමාජයක් සංවර්ධනය කරා ළඟා වීමේ මිණුම් දණ්ඩක් ලෙස ඒ සංස්කෘතියේ වාස්තු විද්‍යා අංගවල මෙන්ම කලා නිර්මාණ හා තාක්‍ෂණික අංශයන්ගේ සංවර්ධනයක්ද හඳුනාගත හැකි වේ.
යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනයෙන් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ළඟා වීමේදී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වාදීම සිදු කර ඇති බවය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා (Cist Burial) සුසාන ආකෘතිය වේ. එසේම මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනිර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක්‍රිපූ 790 වේ. Beta 444431 කොක්එබේ සුසාන භූමිය ආශ්‍රිතව වාර්තාවන අනෙක් සුසාන ආකෘති ලෙස ශිලා කේතුක සූසාන (Cairn Mound), ශිලා පෙළ (Stone Alignment) බරණි සුසාන (Urn Pot) පවතින බව පෙන්වාදිය හැකිය. කොක්එබේ සුසාන ආකෘතිවලින් මීළඟට පැරණි කාලනිර්ණය ලැබී ඇත්තේ ශිලා පෙළ සුසානය (Stone Alignment) සඳහාය. එහි කාලනිර්ණ ක්‍රිපූ 770 වේ. Beta 444432.
මේ ශිලා පෙළ සුසානය මීටර් 15 දිගට එක පෙළට සිටුවන ලද ශිලා පුවරු දෙපසින් සුසාන බරණි තැන්පත් කර නිර්මාණය කර තිබෙන සුසානයකි. මේ සුසානයේ 2016 වර්ෂයේදී පුරාවිද්‍යා කැණීම සිදු කරනු ලැබුවේ එහි හරියටම මැද කොටසේ මීටර් 4x2 ප්‍රමාණයේ පරිශ්‍රයකය. ඒ කැණීම් පරිශ්‍රයේ පමණක් සුසාන බරණි 25 කැණීමේදී වාර්තා විය. මේ ශිලා පෙළ සුසානය නිර්මාණය කර ඇත්තේ බොහෝ විට එක් පවුලක සුසානයක් ලෙස හෝ එසේ නැති නම් පොදු සුසානයක් ලෙස බවට උපකල්පනය කළ හැක්කේ එතරම් විශාල සුසාන බරණි ප්‍රමාණයක් එහි දක්නට ලැබෙන බැවිනි.
මේ ශිලා පෙළෙහි ආම්භය එහි දෙකෙළවරෙහි කුමන කොටසේ සිදු වූවාදැයි තවම නිශ්චය කර නැත. කෙසේ වෙතත් මේ සුසානය කොක්එබේ මෙගලිතික සුසානයේ පැරණිතම සුසානය විය හැකි බව උපකල්පනය කළ හැක්කේ එහි මැද කොටසේ කාලනිර්ණය ක්‍රිපූ 770 තරම් පැරණි වන නිසාත් එහි ආරම්භය බොහෝ විට ක්‍රිපූ 1000 හෝ ඊට පෙර කාලයට ගමන් කිරිමට වැඩි ඉඩ ප්‍රස්තා තිබෙන අතර එසේ වුව හොත් යාන් ඔය මධ්‍ය නිම්නයේ පූර්ව-ඓතිහාසික අවධිය අනුරාධපුර තරම් පැරණි විය හැකි බවද පෙන්වාදිය හැකිය.
එසේම සුසාන ආකෘතියක් ලෙස ඉතා ප්‍රාථමික ආකාරයකට නිර්මාණය කර ඇති මේ සුසානය එම සංස්කෘතියේ සංවර්ධන අවස්ථාවක නොව, සමාරම්භක අවස්ථාවක නිර්මාණය කරන ලද්දක් විය හැකි බවද පෙන්වාදිය හැකිය. කොක්එබේ සුසාන භූමිය ඇසුරෙන් සිදු කළ පර්යේෂණ කැණීම්වලින් ලැබී ඇති මීළඟ කාලනිර්ණය ක්‍රිව 5-125 Bete 444430 කාලයට අයත් වන බැවින් දළ වශයෙන් මේ සුසානය අඛණ්ඩව අවුරුදු 920ක් පමණ භාවිත වී තිබෙන බව පෙන්වාදිය හැකිය.
යාන් ඔය නිම්නයේ පූර්ව-ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය දැනට සිදු කර ඇති විමර්ශනවලදී පැහැදිලි වන්නේ එහි මධ්‍ය කොටසේ මුලින් ස්ථාපිත වූ ජන කණ්ඩායම් ක්‍රමානුකූලව සීගිරිය නිම්නය දෙසටත්, ඉන් පසු පුල්මුඩේ දෙසටත් ව්‍යාප්ත වී ඇති බවයි. එය එසේ පෙන්වාදිය හැක්කේ සීගිරියට නුදුරු කලවැල්ලා උල්පත ස්ථානයේ ඇති මෙගලිතික සුසානයේ කාලනිර්ණ ක්‍රිපූ 520-200, ලැබී තිබීම කොක්එබේ කාලනිර්ණය ක්‍රිපූ 790 - ක්‍රිව125 දළ වශයෙන් වසර 950 භාවිත වී තිබීම හා තම්මැන්නාගොඩැල්ල ක්‍රිපූ 490-ක්‍රි.ව 350, දළ වශයෙන් වසර 750ක් භාවිත වී තිබීමත්, වාහල්කඩ ක්‍රිපූ 400-200 දළ වශයෙන් වසර 200ක් භාවිත වී තිබෙන බව විද්‍යාත්මක කාලනිර්ණයෙන් සනාථ වන බැවිනි.
එසේම මධ්‍ය යාන් ඔය නිම්නයේ කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ස්ථානගතව ඇති මෙගලිතික සංස්කෘතියට අයත් සුසාන අතරින් විවිධ ආකෘතියේ සුසාන ආකෘති මේ ප්‍රදේශ ඇසුරින් ස්ථානගතව තිබේ. ඒ අතරින් මෙරට දුර්ලභ ගණයේ සුසාන ආකෘතියක් වන ශිලා කේතුක සුසාන (Cairn Mound/ Heap) කොක්එබේ, පරංගියාවාඩිය, හුරුළු නිකවැව, වලස්මුල්ල යන ස්ථානවල දක්නට ලැබේ. එසේම තවත් සුවිශේෂ සුසාන ආකෘති බවට උපකල්පනය කළ හැකි ශිලා ටැඹ (Menhir) වර්ගයේ සුසානයක් තම්මැන්නාගොඩැල්ල ආශ්‍රිතවත් ශිලා මඤ්චක සුසානයක් (Delmenoid) වර්ගයේ සුසාන විය හැකි සුසාන ගල් ඇද කටුවේ හා වාහල්කඩ තිබීම තුළින් පැහැදිලි වන්නේද මධ්‍ය යාන් ඔය නිම්නයේ පොකුරක් ආකාරයට ස්ථාපිත වූ පූර්ව-ඓතිහාසික ප්‍රජාව ක්‍රමානුකූලව ජනරේඛනයේ ප්‍රසාරණය සමඟ යාන් ඔයේ ඉහළට හා පහළට ගමන් කරමින් සිය ජනාවාස පිහිටුවා ගෙන තිබීම නිසා එම ජනාවාස ව්‍යාප්ත වීමේ රටාව මධ්‍ය යාන් ඔය නිම්නය කේන්ද්‍රගත කරගෙන සංවර්ධනය වී ඇති බවය.
විශේෂයෙන් ස්ථාවර සමාජයක් සංවර්ධනය වීමේදී බහු සම්පත් යැපුම් රටාවට යොමු වීම සමඟම ඒ සම්පත් සොයා යෑම සිදු වේ. විශේෂයෙන්ම මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථාවර වන පූර්ව-ඓතිහාසික වැසියන් එහි ඉහළ නිම්නය වෙත ප්‍රවේශ වීම සිදු වීමට ඇත්තේ සීගිරිය හා උත්තර මලය රට්ඨයේ පහළ කඳු බෑවුම තූළ වන බහුවිධ ඛනිජ පාෂණ ඇතුළු කුළුබඩු වර්ග අත්පත් කරගැනීම සඳහා විය හැකි බව උපකල්පනය කළ හැක්කේ කඳුකරයේ සම්භවය ලබන ස්වාභාවික ඛනිජ වර්ග මධ්‍ය නිම්නය තුළින් හමු වන බැවිනි.
එසේම මීට පසු කාලය වන විට සාගර සම්පත් සොයා මේ ප්‍රජාව පහළ නිම්නයට ගමන් කර ඇති බව මාත වැව සිට පුල්මුඩේ දක්වා ඇති ජනාවාස තත්ත්වයන් අනුව පෙන්වා දිය හැකිය. ඒ අනුව යාන් ඔය නිම්නයේ පූර්ව-ඓතිහාසික අවධියේ මානව ජනාවාස මධ්‍ය නිම්නය ඇසුරේන් ස්ථාපිත වී ඉන් අනතුරුව ඉහළ නිම්නය වෙතට හා ඊටත් පසුව පහළ නිම්නය වෙතට ගමන් කර ඇති බව දැනට සිදු කර තිබෙන පුරාවිද්‍යා අධ්‍යයන අනුව ලැබී ඇති කාලනීර්ණ අනුව පෙන්වාදිය හැකිය.
එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූර්ව-ඓතිහාසික අවධියේ ජනාවාසවල පැරණිතම කාලනීර්ණ අනුරාධපුර ඇතුළුනුවර ඇසුරෙන් වාර්තා වී තිබුණද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූර්ව-ඓතිහිසික අවධියේ සාර්ව මුල්බැස ගැනීම යාන් ඔය නිම්නයෙන් හඳුනාගත හැකි වීම හා කොක්එබේ සුසානයේ කාලනිර්ණය තවදුරටත් පැරණි වීමට පවතින ඉඩකඩෙහි වැඩි සම්භාවිතාව අනුව මේ සංස්කෘතිය යාන් ඔය නිම්නයේ ආරම්භ වී අනුරාධපුර දෙසට ව්‍යාප්ත වීමටද බොහෝ ඉඩ-ප්‍රස්තා පවතින බව පෙන්වාදිය හැකි අතරම ඉදිරි පුරාවිද්‍යා පර්යේෂණවලින් මේ තත්ත්වය අනාවරණය කරගැනීමට වැඩි ඉඩක් පවතින බවද පෙන්වාදිය හැකිය.