මේ මොහොතේ අපේ වගකීම කුමක්ද? | සිළුමිණ

මේ මොහොතේ අපේ වගකීම කුමක්ද?

සමස්ත ලෝකයේම දැවැන්ත අවධානයක් යොමු කරවමින් අප රිදවූ පාස්කු ඉරිදාවේ ප්‍රහාර මාලාවෙන් අප ගෙවන්නේ මේ දෙවන සතියයි. මෙයින් විපතට පත් වූවන්ගේ ගතට සිතට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට හෝ එයින් උපන් දැඩි වේදනාව පහව යන්නට තරම් කාලයක් ගත නොවූවද, ජාතියක් ලෙස මේ අවිනිශ්චිත තත්ත්වයෙන් යම් හෝ අස්වැසිල්ලක් ලබන්නට තරම් කරුණු කිහිපයක් පසුගිය දෙසතිය තුළ අපට අසන්නට දකින්නට ලැබිණි.

ඒ අතුරින් ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි කරුණක් වන්නේ මෙරට ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද අතිවිශිෂ්ට වූ කාර්යභාරයයි. මෙරට බුද්ධි අංශවල දුර්වලකම හෝ ආරක්ෂක අංශවල ධෛර්යය හෝ පිළිබඳ විවිධ විවේචන එල්ල කෙරුණද, ගත වූ දෙසතිය තුළ යුද්ධ හමුදාව සහ පොලීසිය ප්‍රහාරය පසුපස සිටි අන්තවාදි ත්‍රස්තවාදීන් සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගත්තා පමණක් නොව, ඔවුන්ගේ සංවිධානාත්මක ජාලයට සම්බන්ධ විශාල පිරිසක් අවි-ආයුධ සහ විවිධ උපකරණ සමඟ අත්අඩංගුවට ගැනීමටද සමත් විය. එමෙන්ම අන්තවාදීන් හට අනුග්‍රහය දක්වන ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, දේශපාලකයන්ගේ හෙංචයියන් ඇතුළු විශාල පිරිසක් හඳුනාගැනීමටද ඔවුන්ට හැකි විය. එක් අතකින් මේ ත්‍රස්තවාදීන් මර්දනයට අවශ්‍ය කටයුතු කරන අතරේ අනෙක් අතින් ජනතාවගේ ආරක්ෂාව තර කිරීමටත්, ප්‍රහාර හේතුවෙන් විනාශ වූ දේවස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට සහ විපතට පත් ජනතාවට සහන සැලසීමටත් ආරක්ෂක අංශ කළ කැප කිරීම සමස්ත ජනතාවගේම ප්‍රණාමයට පාත්‍ර විය යුතුය. එමෙන්ම ඔවුන්ට අවැසි සියලු සහයෝගය අප කවුරුත් ඉවසීමෙන් යුතුව ලබා දිය යුතුය. මේ ප්‍රහාර වළක්වාගැනීම හෝ එහි බරපතළකම අවම කරගැනීම පිළිබඳ සැලකීමේදී රජය සතුව පවතින වගකීම සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ කතාබහට ලක් වූ කරුණු බොහෝය. එනයින් මින් ඉදිරියට වත් දේශපාලන අරමුණුවලින් බැහැරව නිසි රාජ්‍යතාන්ත්‍රික භාවයකින් යුතුව රට හැසිරවිය යුතු බවට පොදුවේ පක්ෂ විපක්ෂ සෑම දේශපාලකයකුටම මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පාඩමක් කියා දුන්නේය.

ඒ අනුව අපට ඉදිරියේදී කෙටිකාලීනව සහ දිගුකාලීනව ජය ගත යුතු අභියෝග රැසක් තිබේ. එහිදී අප අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අපට පවතින අනාගත අභියෝග නිසි ලෙස හඳුනාගැනීමයි. පසුගිය කාලයේ අපට රටක් ලෙස ජය ගත යුතුව පැවැති ලොකුම අභියෝගය වූයේ ආර්ථිකයයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය මාෆියාවෙන් සහ පාතාලයෙන් රට මුදාගැනීමේද සාර්ථක මෙහෙයුමක් දියත්ව තිබිණි. ආර්ථික අභියෝගයේදී අපි ලෝකයට සාපේක්ෂව කෙමෙන් ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටියෙමු. නිදසුනක් ලෙස: දැඩි ලෙස බාල්දු වෙමින් පැවති රුපියල පසුගිය කාලය තුළ ලෝකයේ සෙසු මුදල් ඒකකවලට සාපෙක්ෂව වේගවත් අගය වැඩි වීමකට ලක් වෙමින් තිබිණි. එයට අමතරව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ තරමක දෘඪ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආනයන වියදම් අඩු වී, අපනයන ආදායම් වැඩි වී මෙරට ගෙවුම්ශේෂය ශක්තිමත් වන තැනකට ආර්ථිකය ගමන් කරමින් තිබිණි. අනෙක් අතට මෙරට සංචාරක කර්මාන්තය එහි නියැළෙන්නන්ට ඉතා සුබවාදි ලෙස වර්ධනය වෙමින් තිබිණි.

අපට දැන් මේ සියලු අභියෝගවලට වඩා මුලට යළිත් ත්‍රස්තවාදය දමාගන්නට සිදුව තිබේ. එතෙක් මෙතෙක් අප අත් නොවිඳි ගෝලීය ත්‍රස්තවාදයේ එක් ප්‍රබල අත්තක් අපේ මවුබිම මතට පාත් වී ඇත. ආගමික උමතුව තුළ එන අන්තවාදයෙන් උපන් මේ ත්‍රස්තවාදය අද ලෝකයටම පවතින පොදු අභියෝගයකි. ඔවුන් පුනරුත්ථාපනය කිරීමෙන් පාලනය කිරීම පහසු නැත. ඒ ඔවුන් සංකීර්ණ ක්‍රියාදාමයක් මඟින් කලක් තිස්සේ ආගම්වාදයේ උන්මත්තකයන් බවට පත් වූ පිරිසක් වන හෙයිනි. කොතරම් ආරක්ෂාකාරි පියවර අනුගමනය කළද, ඔවුහු බෝම්බ පුපුරවාගෙන මැරෙන්නට නොහැකි නම් කඩුවක් මන්නයක් ගෙන කපා කොටා දැමීම, ජනාකීර්ණ තැනකට වාහනයක් පදවාගෙන යෑම වැනි ම්ලේච්ඡ ක්‍රියාවකින් හෝ තම ලේ පිපාසාව සංසිඳුවාගන්නා පිරිසකි. ඔවුන් මෙවැනි දේ ආරක්ෂාව අධික බටහිර රටවලදී පවා සිදු කරනු දැකිය හැකිය. ඒ අනුව බලන කල ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම සහ අලුතින් මේ අන්තවාදි කල්ලිවලට පිරිස් එක් වීම වැළැක්වීම අපට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගයයි.

ත්‍රස්තවාදය දක්වා යන අන්තවාදි කල්ලි නිර්මාණය වන්නේ මුස්ලිම් ප්‍රජාව තුළිනි. එය වත්මන් ලෝකයේම දැකිය හැකි ප්‍රවණතාවයි. එහෙත් මේ වන විට මෙරට මුස්ලිම් සමාජයේ බහුතරය මේ අන්තවාදය ප්‍රතික්ෂේප කර සිටිති. මේ වන විට අන්තවාදීන් පිළිබඳ බොහෝ තොරතුරු සපයන්නේද ඒ මුස්ලිම් ප්‍රජාවයි. එක් අතකින්: අප මේ බිමේ කලක් තිස්සේ ජීවත් වන මේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය රැකගත යුතුය. අනෙක් අතින්: ඔවුන් අන්තවාදය දක්වා තල්ලු වීමට ඇති ඉඩකඩ වැළැක්විය යුතුය. මේ සඳහා ආගමික නායකයන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍යය. එසේම මෙවැනි මොහොතක කිසිදු වර්ගවාදි අදහසක් ජන සමාජය තුළ රෝපණය වීම වැළැක්වීමට පියවර ගත යුතුය. එවැනි අදහස් සමාජය තුළ රෝපණය කරන ප්‍රබල මාධ්‍යයක් වන්නේ සමාජ මාධ්‍ය ජාලාය. එහි පවතින නිදහස මේ වන විටත් ඇතැමුන් විසින් අවභාවිත කරනු ලබන අකාරයක් දැකිය හැකිය.

අප කවුරුත් අවසානයේ සාක්ෂාත් කරගත යුතු යථාර්ථයක් තිබේ. එනම්: මෙරට සැම ජන කොටසකටම ආරක්ෂිතව ජීවත් වීමට ඇති අයිතියයි. සැම ජන කොටසකම පවතින අනන්‍යතාව රැකෙන අයුරින්, මේ රටේ සැම ජනතාවකගේම උරුමය රැකෙන අයුරින් කටයුතු කටයුතු කිරීම අප සැම දෙනාගේම වගකීමකි. මේ සහජීවනය වනසන ඕනෑම අන්තවාදියකු හෝ ආක්‍රමණිකයකු හෝ පිටුදැකීමට අප කවුරුත් වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමයි.

Comments