
අප මේ ගත කරන්නේ තුන්හෙළයම ප්‍රීතියෙන් ඇලළී ගිය සති අන්තයකි; සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සාමයත් සහජීවනයත් ප්‍රායෝගිකව පිළිබිඹු කරන, සිත් පිරුණු සති අන්තයකි. මේ අලුත් අවුරුද්ද සමඟ බැඳුණු අපගේ සංස්කෘතික ලක්ෂණවල කාලීනව යම් විචල්‍යතා සිදුව ඇතත් සමස්තයක් ලෙස ගත් කල අදටද ඒ ඒ කාලයට අදාළ පරිණාමික ලක්ෂණද සමඟ අපේ සංස්කෘතික හර පද්ධතියේ පවුරු පදනම් පිළිබඳ ලෝකයේ ඇස් ඇරවන දින කිහිපයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.
සූර්යයාගේ සංක්‍රාන්තිය මත පදනම්ව ගොඩනැඟී ඇති මේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යය පුරා දිගහැරෙන පොදු පදනම වන්නේ අප සෑම අතින්ම අලුත් වීමකි; අවුරුදු නොනගතයෙන් ලැබෙන විවේකි බව පදනම් කරගෙන යළි තවත් වසරක් සඳහා කෙරෙන නව්‍යකරණයකි. වෙසෙසින්ම අපේ නිවෙසත්, එකිනෙකාගේ ජීවිතත් සමඟ බැඳුණු මේ අසිරිමත් මංගල්‍යයේ හර පද්ධතිය තුළ අප සිතිවිලිවලින්, ක්‍රියාපිළිවෙළින්, කායික සහ මානසික සෞඛ්‍යයෙන් අලුත් බවක් ඇති කරලීම මෙහි මූලික පදනම වෙයි. එහෙත් අපේ සමාජ විද්‍යාඥයෝ සහ ඇතැම් විද්වත්හු ඊට එහා ගිය අතිශය සංකීර්ණ, එමෙන්ම පරිපූර්ණ අරුතක් සහිත වාර්ෂික මංගල්‍යයක් ලෙස මේ අලුත් අවුරුද්ද දකිති.
ඒ කෙසේ වෙතත් අප මේ එළඹුණු අලුත් අවුරුදු සමයේ සුබවාදිව සිහියට නඟාගත යුතු, රටක් ජාතියක් ලෙස අපට කාලීනව වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ සිහි එළවාගැනීම වැදගත් බව හැඟෙයි.
අලුත් අවුරුදු සමයේ කවුරු-කවුරුත් එකට එක් වී විනෝද වීම පොදු ලකුණකි. අවුරුදු කාලයට පමණක් එළියට එන ගැමි ක්‍රීඩා, අවුරුදු උත්සව ඇතුළු විනෝදාස්වාද ඉසවු අද එදාට වඩා වෙනස් වේශයකට පරිමණාමය වී ඇත. මේ විනෝදාස්වාදය මත්තේ අද මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට තමන්ගේ අයවැයෙන් කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන අවශ්‍ය නම් අපට ලබන මාසයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. බොහෝ විට අපට දැකිය හැකි ඉතා අසුබ ලකුණක් වන්නේ අවුරුදු දිනට පෙර දා බොහෝ මත්පැන්හල්වල ඉතා ගිජු ලෙස, තිරිසනුන් පොකුරක් සේ, ලෝකයේ අන්තිම මධු විත තොලගාන්නට මෙන් පොරකන මිනිසුන් දැකීමය. අලුත් අවුරුද්දේ අපේ ජීවිතවල, අපේ දරුවන්ගේ සහ සමස්ත පවුල්වල සතුට සාමය මෙන්ම සිතේ සැනසිල්ල නැති කරන පළමු අමුද්‍රව්‍යය වී ඇත්තේ මත්ද්‍රව්‍යය. පවුල් ආරවුල්, නෑ-හිත-මිතුරන් අතර ගැටුම්, රිය අනතුරු ආදිය ඔස්සේ මේ මත්ද්‍රව්‍ය අලුත් අවුරුද්දේ සතුට වාෂ්ප කර-දමන්නේ නිමේෂයකිනි. කෙසේ වුවද මේ වන විට අපේ රටේ ක්‍රියාත්මක වන නීති විරෝධි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන දැවැන්ත සටන හමුවේ මේ මත්ද්‍රව්‍ය ගැන අලුතින් හිතන පසුබිමක් නිර්මාණය වී ඇත. අලුත් අවුරුද්දේ සමාජය වනසන මේ මත් උවදුර මැඬීමට සහ මත්වතුර නිසා ඇති වන එවැනි අප්‍රසන්න සමාජ අත්දැකීම් තුරන් කිරීමට අප අලුතින් සිතිය යුතුව ඇත.
අද ලෝකය වේගයෙන් ගමන් කරයි. විශේෂයෙන් ලෝකය ලබන තාක්ෂණික දියුණුව අද අප එකිනෙකා ඉතා සමීප කරවා ඇත. විශේෂයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය අද එකම පවුලකට ගොනු කරන තැනකට පැමිණ තිබේ. මේ නිසා ඉතා පහසුවෙන්, දුරස්ව සිටින තම නෑ-හිත-මිතුරන් අලුත් අවුරුද්දේදී තාක්ෂණය මඟින් එදාට වඩා සමීප කරගැනීමේ අවකාශය අපට ලැබී ඇත. ඊට අමතරව රටක් ලෙස අප අද සාමය, සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනදාට වඩා භුක්ති විඳින රටක් බවට පත්ව තිබේ. රටේ අධිකරණය ස්වාධීන වී ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු වී ඇත. රාජ්‍ය පාලනයේ මේ ගුණාංගවල තිබිය යුතු වටිනාකම් හඳුනන උගත් තරුණ පරපුරක් රටේ බිහි වෙමින් ඇත. මේ උගත් තරුණ පරපුරට තම අනාගතය නිර්මාණය කිරීමට අවැසි මූලික යටිතල පහසුකම් කෙමෙන් වර්ධනය වෙමින් ඇත. විශේෂයෙන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය වැඩසටහන් මඟින් තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීම ඇරඹී ඇත. ඔවුන්ට තම මාවත හෙළි කරගැනීම සඳහා අවැසි වෙනත් යටිතල පහසුකම්ද නිර්මාණය වෙමින් ඇත. එමෙන්ම පසුගියදා අගමැතිවරයා අනාවරණය කළේ අලුත් අවුරුද්දෙන් පසු සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය පොලී අනුපාතිකයන් අඩු කිරීමට පියවර ගන්නා බවය. මේ අතරේ නගර සංවර්ධන ව්‍යාපෘති සැහැල්ලු දුම්රිය සේවා, තාක්ෂණ නගර වැනි අලුත් ලෝකයකට අවශ්‍ය යටිතල පහසුකම්ද සංවර්ධනය කිරීමේ ශීඝ්‍ර වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇත. අනෙක් අතට ශ්‍රී ලංකාව පිහිටි භූගෝලීය පසුබිම තුළ අපට ආර්ථික වශයෙන් පුළුල් අවස්ථා රැසක් ඉදිරි වසර කිහිපය තුළ නිර්මාණය වන පසුබිමක් පිළිබඳ ලෝක ආර්ථික විශේෂඥයන් විසින් පුරෝකථනය කරනු ලැබ ඇත.
මේ අනුව බලන කල අප මේ ලැබූ අලුත් අවුරුද්ද අරුත් ගැන්විය යුත්තේ කෙසේද? නිසැකවම අපේ පෞද්ගලික ජීවිතත්, රටේ අනාගතයත් අප අද ලබා ඇති අලුත් අවස්ථා මඟින් අලුත් තැනකට රැගෙන යෑමය; දේශපාලන, ජාති, ආගම් භේද ඇතුළු පටු ආකල්පවලින් දුරස් වූ ජාතියක් ලෙස රටට උදා වී ඇති සහ උදා වන්නට යන යන අලුත් අවස්ථා දෙස අලුතින් බැලීමය. අද ජපානය, ඇමෙරිකාව, රුසියාව වැනි රටවල් දියුණු තත්ත්වයට පත් වී ඇත්තේ ඔවුන් ජාතියක් ලෙස ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නිසි ලෙස සුරකිමින් ඔවුන්ගේ බිමට ගැළපෙන ආකාරයට කටයුතු කළ නිසාය. එහෙත් අප රටක් ලෙස අපේ බිමට ගැළපෙන අයුරින් අපේ අනන්‍යතා, අපේ වටිනාකම්, හරපද්ධති සහ දැනුම් පද්ධති සුරකිමින් මඟ දැන යන මාවතකට වැටී ඇද්ද යන්න පිළිබඳ අප මේ ලබන විවේකි මොහොතේ කල්පනා කළ යුතුව ඇත. එවැනි සංකල්පනාවක් සමඟ අලුත් අවුරුද්දකට පා තබමින්, අපේ පෞද්ගලික ජීවිතවල සහ රටේ යහපත් අනාගතයට ජාතියක් ලෙස තවත් වසරක් කැප වීම මේ රටේ සෑම පුරවැසියකුගේම වගකීම බව අපි විශ්වාස කරමු. එවැනි කැප වීමක් මඟින් උසස් ජීවිතයක් සමඟ සෞභාග්‍ය සම්පන්න වසරක් හිමි කරගැනීමට පාඨක ඔබටත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් දිරිය ලැබේවාය යන්න සිළුමිණ අලුත් අවුරුදු පැතුමයි.