
අපේ පාඩම් කාමරය වුණේ අලුත්වැඩියා කළ කුකුළු කොටුවක්
සුනිල් සාන්තයන්ගේ එකම දියණිය ගැන සොයුරා කියන කතාව...
තාත්තෙ තාත්තේ මම සින්දුවක් හැදුවා” දෙවසරක් පමණ වූ කුඩා දියණිය දිවගෙන විත් පියාගේ උකුළට පැන කීවාය.
“ආ කියන්න බලන්න”, කී පියාට ඇසුණේ, කිසිදා අසා නැති අන්දමේ ගීයකි.
“පොඩ්ඩක් ඉන්න දුව” කී පියා හනිකට ගොස් ඒ දිනවල ගෙදර තිබූ කුඩා පටිගත කරන යන්ත්‍රය ලැහැස්තිකර, “ආ දැන් කියන්න” කීය. ‘හැල්ෆොහීට හැල්ෆොහීට’ යනුවෙන් පටන්ගත් අමුතුම බසකින්, පියාගේ ඔඩොක්කුවේ හිඳ, ගැයූ ගීය කලා සාන්ත කළ මුල්ම පටිගත කිරීමය. එම ගීය, කුඩා දරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ, මත් වෙනස් කිරීම් හා අනුප්රාසය අඩංගු, තරමක් සංකීර්ණ නිපැයුමකි. එම ගීයේ පද මාලාවද අමුතු, අප කිසිවකු අසා නැති වචනවලින් සමන්විත විය. එය අප නොදන්නා බසක් ද විය හැකියි.
“නංගි පාසලේ දී හා ගෙදරදී නිතර ගී ගැයුවත්, එවන් ගීයක් ඉන් පසුව කවදාවත් ගැයුවේ නැහැ. අම්මා කීවා මා ඉපදුණු පසු තාත්තා දුවෙක් බලාපොරොත්තුවෙන් ලංකා කියන ගැහැනු නමත් ලැහැස්ති කරගෙන සිටි බව. නමුත් එම බලාපොරොත්තුව ඉටු වුණේ තව දරුවන් දෙදෙනෙකුට පසුවයි. නංගි උපන් දවස මට යන්තම් මතකයි. තාත්ත ඉතා සතුටින් සිටියා. තාත්තා පුතුන් තිදෙනා ද සමඟ ගුවන් විදුලියටද ගොඩවුණා මිතුරන් හමුවන්න. ගුවන් විදුලියේ මැදිරියක අප නවතා සම්බන්ධීකරන මැදිරියට ගොස් අපට අත වනා කතා කළසැටි තවම මතකයි. අප තිදෙනා මැදිරියේ මයික්‍රෆෝනයකට ගීයක් ගයන අන්දමට තාත්තා පින්තුරයක්ද ගත්තා.
කලා, තාත්තා සේම පැහැපත්, කුඩා කල ඇයට කැරලි කොණ්ඩයක් තිබුණා. නෑදෑ හිතවතුන් හා අසල්වැසියන්ද කලාට ඉතා ආදරය කළා. තාත්තා නිතර කලාගේ පින්තුර ගත් අතර, තාත්තාගේ කරදර පිරි දිවියට කලා ලොකු සතුටක් ගෙන ආවා. කුඩා නංගි පන් මල්ලක් හිසේ දමාගෙන ඒ යට සැඟවී කැවුම් කෑ සැටි මතක් කර අම්මා නිතර හිනා වුණා.
දරුවන් සිව් දෙනාගෙන් ලලිත කලා අංශයට කුඩා කල සිටම වඩාත්ම යොමු වුයේ නංගියි. වයස අවුරුදු හතරේදී විතර කලා ගේ ම නැටුම් විලාසිතාවකට ඈ නිවසේ නිතර රංගනය කළා. ඒ නැටුම් තාත්තා හා අම්මා ඉතා අගය කළා පමණක් නොව, මුදල් අමාරුකම් තිබුණත් කලා උනන්දු කරන්නට රතුපාට දිලිසෙන ඇඳුමක් තාත්තා ගෙනත් දුන් රෙද්දෙන් අම්මා මහලා දුන්නා. එම අවදියේම තාත්තාගේ පුංචි අම්මා, අප කුලියට පදිංචිව සිටි ගෙයින් යන්නැයි කියා තාත්තාට නඩු පැවරුවා. මෙවන් කරදර මැද නැටුමට කලාට තුබූ උනන්දුවත් නැතිව ගියා.
තාත්තා කලාට වෙසෙසි ආදරයක් දැක්වුවා. පිරිමි දරුවන්ට තද නීති රීති තිබුණත් කලාට ලොකු නිදහසක් තිබුණා. කලාත් ඒ වගේම තාත්තාට හැම විටම ඉමහත් ළැදියාවකින් සිටියා. අලුත් වැඩියා කළ පරණ කුකුළු කොටුවක් අපගේ පාඩම් කාමරය විය. එහි මා පාඩම් කරන මේසය තිබුණේ තාත්තා ගේ හාන්සි පුටුව ළඟ.
නංගි පොත් පත් කියවීමට ලොකු ආසාවක් දැක්වුවා පමණක් නොව නංගිට ඉතා වේගයෙන් කියවීමේ හැකියාවක් ද තිබුණා. ගෙදර තාත්තා ගේ පොඩි පුස්තකාලයක් වගේ පොත් එකතුවක් තිබුණා. ඒ පොත් තාත්තා ලබා ගත්තේ ගෙදර තිබුණු තාත්තාගේ නොවිකුණූ සිංදු පොත්, මුදල් වෙනුවට තාත්ත අඳුරන පොත් සාප්පුවකට දීමෙනුයි. අප තාත්තාගෙන් පොතක් ඉල්ලාගෙන, කියවා හමාර වුණාම ආපසු දී තවත් පොතක් ඉල්ලා ගත්තා. කලා අප සියල්ලන්ටම වඩා ඉක්මනට පොත් ආපසු දුන් නිසා අපට ලොකු සැකයක් ඇතිවුණා කලා එම පොත් සම්පුර්ණයෙන් කියෙව්වාද කියා. මෙය බේරුම් කරන්නට, වරක් කලා කියවා අවසානයි කියූ පොතක අඩංගු දේ ගැන තාත්තා ප්‍රශ්න කිහිපයක් ඇසුවා. කලා ඒ සියලු ප්‍රශ්නවලට නොපැකිළව නිවැරදි පිළිතුරු දුන්නා.
පසු කලෙක තාත්තා කලාට ගිටාර් වාදනය ඉගැන්නුවා. ඒත් කලා ගේ ගිටාරය වැයුමට තිබූ උනන්දුව ටික කලකින් නැති ව ගියා.
තාත්තා හා අම්මා සතුන්ට ඉතා කරුණාවන්තයි. ගැමියන් අතරමංවූ අනාථ සතුන් නිතර අප නිවෙසට ගෙනැවිත් බාරදුන්නා. අසරණ සතුනට සාත්තු සප්පායම්, වෙද හෙදකම් කර, සුවපත් ව සවිමත් වූ පසු නිදහස් කිරීමෙන් තාත්තා විශාල සතුටක් ලැබුවා. ලේනුන්, ගිරවුන්, මයිනන්, සේරු කුරුල්ලෙක්, අඹ කොට්ටෝරු පැටවුන්, කෑරලෙක් මේ අතර වුවා මට මතකයි. තාත්තාට උදව් කරමින් ළඟින් ඇසුරු කළ කලාට තාත්තාගේ ගතිගුණ හොඳින් පිහිටා තිබුණා.
උසස් පෙළ විභාගය සමත් වූ පසු නංගි පශු වෛද්‍යවරියක වීමට තීරණය කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවූවා. කලා ඉතා ළෙන්ගතුව ඇසුරු කළ සොයුරු ජගත් සාන්ත අබිරහස් ලෙස අකල් මරණයකට ගොදුරු වීම සහ ඉන් සති හයකට පසු තාත්තා නැති වීම තුරුණු කලාගේ දිවියට හා මනසට බලවත් පහරක් වුවා.
1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයෙන් උපාධිය ලබා ගත් කලා, පසුව සතුන් වත්තේ හා පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍යවරියක හැටියට වැඩ කළා. කලා රචනය කළ, 1996 දී මුල් වරට එළි දැක්වූ, සතුන් වත්තෙන් අප ගෙවත්තට නමැති පොත් හා පුවත් පත්වලට ලියු ලිපි මගින් ඇය වන පරිසරය හා වන සතුන් රැක ගැනීමේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළා. ඇය ලියූ එක් කතාවක, කලා ලෙච්චමී නමැති ඇතින්නගේ අවසන් සමයේ ඈට වෙද හෙද කම් කළ සැටි ගැන සංවේගාත්මක සටහනක් කළා. කුඩා කල සතුන් වත්තට තාත්තා අප රැගෙන ගිය දිනවල සිටම කලාට ලෙච්චමී මතක තිබුණු බව එහි සඳහන්. සතුන් වත්තේ සිටින අලින් ගේ කකුල්වලට යකඩ දම්වැල් දමා බැඳ තැබීම පිළිබඳ කලා ගේ තදබල විරුද්ධත්වයක් තිබුණා.”
සත්ව අයිතිවාසිකම් හා පරිසරය සුරැකීම සඳහා ඈ මුළු හදින්ම මහත් වෙහසක් දැරුවාය. තාත්තා මෙන්ම ආයුර්වේද වෙදකම් ගැන මහත් විශ්වාසයක් දැරූ ඇය බෙහෙත් පැළෑටි හුවමාරු කර ගත් අන්දම පට්ටානේ හිමි නිතර සිහිපත් කරයි. තාත්තා සේම, ඇය කෑදර කපටි අයට මහත් අකමැත්තක් දැක්වූ අතර, එවැන්නන් ගෙන් ඈත්ව සිටියාය. තාත්තා සේම ඈ මුදලට වාල්ව ප්‍රතිපත්ති පාවා නොදුන්නාය. තාත්තා සේම ඈ නොබියව තම මතය පළකර, තමා හරියයි සිතූ දෙය සඳහා කැපවී, ඉන් පාඩුවක් වී නම්, ඒ නිහඩව විඳගත්තාය.
“ඈ මිනිස් අලි ගැටුම පිළිබඳව වෙසෙසි උනන්දුවක් දැක්වුවා. බීබීසී ආයතනය 2012 දී කලා සමග සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. මා හා මා දියණිය සමඟ කලා නිතර සත්ව කරුණාව හා පරිසරය සුරැකීම ගැන කතා කළා. ලංකාවේ පරිසරය දුෂණය පමණක් නොව සත්ව කරුණාව ගැනද ජනතාව දැනුම්වත් කිරීමට උත්සාහ කළා. කාන්තාවකට විඳින්නට වන අමතර දුෂ්කරතා ද මැඩගෙන කලා යමක් කිරීමට උත්සාහ කළා. පින්නවල ස්ථිර පශු වෛද්‍ය තනතුරට කලා පත් නොකිරීමට හේතුව ලෙස, ‘ඒක ගැහැනු කෙනකුට කරන්න පුළුවන් රස්සාවක් නෙමේ’ කියා ඊට වගකිව යුතු තනතුරේ එවකට සිටි තැනැත්තා අම්මාට කී බව අම්මා මට පැවසුවා. එම තනතුර අහෝසි කළ පසු, එම තනතුරට හැම අයුරකින්ම හොඳම සුදුස්සා හා එවන් වගකීම් ඒ වනවිටත් උසුලමින් සිටි පශු වෛද්‍ය කලා සාන්ත, රජයේ සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඇගේ දෛවය සිය පියාට වූ දෙය සිහි කරවන්නක් වුණා.
සීගිරි ගී සංගීත තැටිය (CD) කලා තනිවම නිෂ්පාදනය කළා. තාත්තා ගේ සංගීත දිවියේ විවිධ වකවානු නියෝජනය වන අන්දමට ගී තෝරාගැන්ම, කලාත්මක කවරයක් නිර්මාණය කිරීම, සිංගප්පූරුවට ගොස් තැටි නිමවා ගෙනඒම, ඊට අදාළ කටයුතු සමහරකි. සැමවිටම “අයියා”, “අයියේ” යනුවෙන් නංගී මා ඇමතුවා. ඒ හඬ ඈ ගැයූ අයියා නංගී සංවාදයක් වන “බෝවිටියා දන් පලුකන් වාරේ මේ නොවැ පොඩි නංගෝ” ගීයෙහි එලෙසම සදා පවතිනු ඇති. සුනිල් සාන්ත සමරු උත්සව වල වේදිකාවේ හා රුපවාහිනී වැඩසටහන්වල ඇය ටී එම් ජයරත්න වැනි පසිඳූ ගායකයන් ද සමග ගී ගැයූ අතර, ඒ පටිගත කිරීම් වලදී සිදුවූ විනෝදාත්මක සිදුවීම් නිතර මතක් කළේ සතුටින්.
සුනිල් සාන්ත සබැඳි පළමුවැනි වෙබ් අඩවිය ( sunilsantha .com ) කලා විසින් ඇරඹූ අවදියේ ඇතුළු විය යුතු දේ හා එහි පෙනුම ගැන මගේ අදහස් හා උපදෙස් නිතර ලබා ගත් අතර ලංකාවේ සිටි මගේ මිතුරන් ලවා ඊට කාර්මික අංශයෙන් නංගීට උදව් ලබා දුන්නා.
කලා තම ජීවිතය අනුන්ට උදව් කිරීමට කැප කළ දයානුකම්පිත තැනැත්තියක්. වසර කීපයකට පෙර වන තුරු සවස් වරුවේ තම නිවෙසට ගෙනා සුරතල් සතුන්ට බෙහෙත් කළේ ඉතා සුළු මුදලක් අයකරමිනි. එක්තරා පොහොසත් අයෙකුගේ සතෙකුට වෙදකම් කිරීමට ගිය බවත්, ඔවුන් වංචා සගහත ලෙස සුපිරි ධනවතුන් බවට පත් වූ අය බව දැනගත් පසු, එවැන්නන්ට සේවය කිරීමට අකමැති නිසා, වෙනත් පශු වෛද්‍යවරයකු වෙත යොමු කළ බවක් කලා වරක් මට කිව්වා. තාත්තා මෙන්ම, මුදලට වහල් වී හෘදය සාක්ෂිය පාවා නොදීම ඇගේ සිරිතක්.
මව් මියගිය පසු සරල තනි දිවියක් ගෙවූ ඇගේ නිවසේ වටිනා යමක් නොවූ නමුත්, නිතර කඩා වැදුණු සොරුන්, කුස්සියේ වූ ගෑස් ටැංකිය වැනි දේ ගෙන ගියා. කලා මේ සොරුන් කව්දැයි අනුමානයෙන් දැන සිටි නිසා තමන් ඔවුන්ට මෙතරම් උදව් කරද්දීත් ඇයට මෙසේ කරන්නේ ඇයිදැයි ඔවුන්ගෙන් විමසුවා.
දිනපතා, ගේ ළඟ පන්සලේ අනාථ බල්ලන්ට කෑම දීම කලාගේ සිරිතක්. නංගී අප දැකීමට ආ දිනවල ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සතුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයකට ස්වේච්ඡාවෙන් උදව් කළා. අම්මා ජීවතුන් අතර සිටියදී ඈ සමඟ හරකුන්ට අභයදානයදීමේ පිංකම් කළා සේම නිවෙස අසල හරස් පාරේ නවතා ඇති කරත්තවල බැඳි හරකුන්ට කෑම දුන්නා. සමහරු, අසනීපවූ හා ඔවුන්ට අනවශ්‍ය යැයි සිතන සුරතල් සතුන් ඇගේ දොරකඩ දමා ගියා. කලා මඟතොට දී දුටු අඩපණ වූ, තුවාල වූ, අත්හැර දැමු සතුන් ගෙදර ගෙනවිත් සාත්තු සප්පායම් කළා.
අපේ අම්මා මියගියේ ඇගේ ඔඩොක්කුවේ. නංගී මට දුරකතනයෙන් “අයියේ, අම්මා අපිව දාලා ගියා” කියා කී සැටි තවම මතකයි. 2015 ජුනි මස මා ලංකාවට පැමිණ නංගි සමඟ නැවතී සිටියදී අම්මා මට සැලකූ ලෙසම මට සලකන බව කී ඈ, මා කෑම කන විට ළඟ හිඳගෙන මගේ පිඟාන පිරවූවා. නමුත්, ඒ වන විටත් ඈ අසනීපයෙන් සිටි බව මා දැන සිටියේ නෑ. නංගී 2016 දෙසැම්බර් රෝහල්ගතවී සිටින විට මා, ඈ සමඟ නැවතී සිටි අවදියේ අසනීපය ගැන දැන සිටියා ද කියා විමසුවා. “ඔව් ලම්ප් එකක් තිබුණා” යි ඇය කීවා. ඇයි මට නොකීවේ යැයි ඇසූ විට කීවේ “ඔයාට තියෙන ප්‍රශ්නවලට තව එකතු කරන්න මට හිතුණේ නැහැ” කියායි. තමුන්ට පෙර අනුන් ගැන සිතීම නංගී ගේ ස්වභාවය වූවා.
අම්මා නැතිවූ පසු තාත්තා ගේ කෘතීන් ගැන තීරණ ගැනීමේදී නංගී ගේ අනුමැතිය නොගැනීම ගැන ඈ දුක් වුවා. ඈ ජාතික රුපවාහිනී සංස්ථාවට එවන් කරුණක් ගැන ලිපියක් ලිව්වා. නංගී මෙවන් අසාධාරණයන් ගැන මට හා අන් අයට කීවා සේම ලිපි ලියුවා. නමුත් ඒ ගැන තවදුරටත් නොසැලී, නොතැවී කලකිරීමෙන් වුව උපේක්ෂාවෙන් තම සරල දිවිය තවදුරටත් ගෙවුවා. අවාසනාවකට මෙන් මෙය තාත්තා ගේ දිවියේ වූ අත්දැකීම්වලට සමාන විය.
ජයවර්ධනපුර රෝහලේ සිටියදී නංගී සමඟ ගතකළ අවසාන දින තිහේ මා ඇගෙන් නිතරම ‘ඇයි කලින් මීට වෙදකමක් කරගත්තේ නැත්තේ’ කියා ඇසුවා. ඇය කිව්වේ ‘මට සල්ලි ප්‍රශ්න තිබුණා’ කියායි.
CD හා DVD පට ලෙස අලෙවි කළ තාත්තගේ කෘති වලින් ඈ ට ලැබිය යුතු කතෘභාග ලැබුණේ නෑ. 2015 ජුනි මාසයේ දී ගුවන් විදුලි සංස්ථාවේ වගකිවයුත්තන් හමුවී සංස්ථාව අලෙවි කරන කෘතිවල කතෘභාග නංගී ට ගෙවන ලෙස මා ඉල්ලා සිටියා. ඔවුන් ඊට එකඟ වූ නමුත් එය සිදුවූයේ නැහැ. පෞද්ගලික රූපවාහිනී සමාගම් හෝ අන් ගුවන් විදුලි සමාගම් ද එම කෘතීන් ප්‍රචාරය කළවිට එවැනි ගෙවීමක් කළේ නැහැ.”
මස් මාළු අනුභව නොකළ, මුළු හදවතින්ම බෞද්ධයෙකු වූ කලා සාන්ත අ ඉතා සරල ජීවිතයක් ගෙව්වාය. ඈ මාල, වළලු, මුදු හෝ කරාබු නොපැළඳීය. ඒ ඇයගේ පියා හා මව සේ ම විය. තාත්තා සේම නංගි ද අනුනට හිංසා පීඩා නොකළාය.
පියා සේම, ඈ ද, ඈ දැන හදුනා ගත්තවුන් ගේ හා ඉදිරියට දැන හඳුනාගන්නා පරම්පරාවල හදවතේ ජීවත් වනු ඇත.
ඇයට අමා මහ නිවන් සුව ලැබේවා!
සුනිල් සාන්ත