- පාස්කු ප්‍රහාරය නිසා බිස්නස් අඩුයි
- වැඩියෙන්ම විකිණෙන්නේ නත්තල් ගස්
- තොග වෙළෙන්දන් බඩු ගෙන්නුවේ පරක්කු වෙලා
ජේසු සමිඳාණන් ලොව පහළ වූ නත්තල සැමරීමට ලෝකයේම කතෝලික ජනතාව සමඟ අපේ රටේ කතෝලික ප්‍රජාවද එක්ව සිටිති. දැන් දැන් ආගම් භේදයකින් තොරව අප රටේ බෞද්ධ ජනතාවද නත්තල සැමරීමට එක් වන සෙයක් දිස් වෙයි. සහජීවනය පුබුදුවා ලන එය කාටත් සතුටු විය හැකි දසුනකි.
නත්තලේදී නත්තල් ගසට මෙන්ම නත්තල් සැරසිලිවලට ඇත්තේ ප්‍රමුඛතාවකි. වෙසක් කාලයට වෙසක් සැරසිලි මෙන්ම නත්තල් කාලයට නත්තල් සැරසිලිද අලෙවි කරන කොළඹ කොටුව මෙදා පාරද බොහෝ විසිතුරු දැයින් පිරී-ඉතිරී ගොසිනි. මෙලෙස නත්තල වෙනුවෙන් විකිණෙන මෝස්තර සැරසිලි අතර නත්තල් ගසට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. කෘත්‍රිම නත්තල් ගස් නම් දැන් මාසයක පමණ සිට විකිණීමට ඇති අන්දම දැකගන්න පිළිවන. ස්වාභාවික සයිප්‍රස් ශාක කපා ගෙනැවිත් කොළඹ මෙන්ම ප්‍රධාන නගරවලද විකිණෙනු තවත් දින කිහිපයකදී දැකිය හැකිය. මෙබඳු සැරසිලි මෙන්ම ඒ අලෙවි කරන්නන් පිළිබඳවද තොරතුරු සෙවීමේ අරමුණින් පසුගිය දිනෙක අපි අගනුවර සංචාරයක යෙදුණෙමු.
“වසර ගණනාවක් තිස්සේ මම මේ රස්සාව කරන්නේ. නත්තල් ගස් සරසන සියලු දේවල් වගේම ගවලෙන් ආදියත් ඒවාට අවශ්‍ය දේ විකුණනවා. මේ දවස්වල කඩින් කඩ පවතින වැස්ස නිසා මෙහෙට කට්ටිය එනවා අඩුයි. තවත් දවස් කිහිපයක් විතර යනකොට මීට වඩා බිස්නස් තියෙයි කියලා හිතෙනවා.”
පිටකොටුව මල්වත්ත පාරේ නත්තල් සැරසිලි විකුණමින් සිටි අමාන් පැවැසුවේ එසේය.
ගිනි ගහන මද්දහනේ අව්වේ වගක් වත් නැතිව යන එන දහසක් මිනිසුන් අතරේ ඔවුහු තම දවසේ ආදායම සොයාගන්න වෙහෙසෙති. ඇතැමෙක්ට ස්ථිර රැකියාවන් නැත. ඔවුහු වෙසක් කාලයට වෙසක් සැරසිලි, වෙසක් සුබ පැතුම්පත් ආදිය විකුණති. තවත් අයෙක් අවුරුදු කාලයට රතිඤ්ඤා විකුණති. තවත් අයෙක් අඹ වාරයට අඹ ද රඹුටං වාරයට රඹුටංද විකුණති.
“ස්ථිරයටම මේවා මේවා විකුණනවා කියලා නැහැ. අවුරුදු ගානක ඉදලා මේ මහපාරේ තමයි අපේ ජීවිත ගෙවෙන්නේ. කොහොම වුණත් නත්තල් කාලයට තමයි අපට වැඩිපුර කීයක් හරි හොයාගන්න ලැබෙන්නේ. මම නම් දකින්නේ කතොලික බෞද්ධ භේදයක් නැ. කවුරුත් ඇවිල්ලා නත්තල් ගස් ගෙනියනවා. අපේ ගෙවල්වල වුණත් පොඩි දරුවෝ කැමැතියි නත්තල් ගහක් තියෙනවා නම්. නත්තල් ගස් රුපියල් දෙසිය වගේ ගණන්වලට තියෙනවා. රුපියල් දාහට වැඩි ගසුත් විකුණනන් තියෙනවා. මම අතේ සල්ලි තිබිලා මේ වෙළෙඳාම කරනවා නෙමෙයි. තොග බඩු කඩයෙන් මම උදේට බඩු ගන්නවා. දවල් දවසේ විකුණලා හැන්දෑවට ගණන් බේරනවා. මට රුපියල් දෙ-තුන් දාහක ලාභයක් තියෙනවා.” නම-ගම කීමට අකැමැති වූ මැදිවියේ වෙළෙන්දෙක් අප හා පැවසීය.
බොහෝ දුර පළාත්වල සිටද මෙහි පැමිණියෝ බොහෝය.
“ඇත්තම කිව්වොත් අපේ කාලෙ නම් කඩෙන් ගෙනිහිල්ලා නත්තල් සැරසිලි කෙරුවේ නෑ. එත් දැන් ඉන්න අයට කාලය අඩුයි නේ... ඒ නිසයි මෙහෙම වෙළෙඳපොළක් හැදිලා තියෙන්නේ. අපි පුංචි කාලේ උණ ගහක් කපාගෙන ඇවිල්ලා ඒක සැරසුවා. දැන් නම් හැමදේම කඩෙන් ගන්න තියෙනවා. සමහර දේවල් නම් නොවටිනා ගණන්වලටයි විකුණනන්නේ.” යමින් එමින් ගමන් කතාවට එක් වූ වැඩිහිටියකු පැවැසුවේ එවැනි කතාවකි.
කලක් තිස්සේ නත්තල් සැරසිලි විකුණන වත්තල පදිංචි රොෂාන් අපට හමු වූයේ මල්වත්ත පාරේදීය.
මම හැමදාම නත්තලට නත්තල් ගස් විතරයි විකුණන්නේ. මම තොග කඩවලිනුයි නත්තල් ගස් ගන්නේ. එත් මේ පාර නත්තල් ගස් ගෙන්නන්න පරක්කු වුණා. රුපියල් දෙසීය තමයි අඩුම මිල. අඩි දෙකේ සිට අඩි දහය දක්වා උස ගස් විකුණන්න තියෙනවා. මම දවසට ගස් හතළිහක් විතර විකුණනවා. එක නත්තල් ගසකින් මට රුපියල් දෙසිය පණහක ලාභයක් තියෙනවා. මෙදා පාර නත්තල් ගස් ගෙන්වන්න පරක්කු වුණු නිසා අපට බිස්නස් පාඩුයි. අනිත් එක තමයි පසුගිය කාලේ සිදු වුණු පාස්කු ප්‍රහාරය නිසා මෙදා නත්තල සරු නැහැ. අපි කොහොමද ඒ ව්‍යසනය අමතක කරන්නේ? වෙනත් වසරවලදි වගේ නෙමෙයි මෙදා පාර ගොඩක් නත්තල් සැරසිලි පිටරටින් ගෙන්වන තොග වෙළෙන්දො බඩු ගෙන්නුවේ නැහැ. ඒ වගේම තමයි ගිය අවුරුද්දට වඩා මේ පාර නත්තලට බඩු ගන්න එන පිරිසත් අඩුයි.”
නත්තල වෙනදා තරම් සරු නැතැයි සිතෙන්නේ කතෝලික ජනතාවට තවමත් තම කඳුළු පිසදාගැන්මට හිත හදාගැනිමට නොහැකිව ඇති නිසාය. එහෙත් වෙනදා තරම් සරු නොවූවද ඒ නොදරුවන් සැනසීමට ඔවුන්ට නත්තලේ සතුට දීමට ඇතැමෙක් නත්තල් සැරසිලි කිරීමට පෙලඹි සිටී.
රේගන්ද කලක් තිස්සේ නත්තල් ගසට ඇවැසි සැරසිලි, විසිතුරු දෑ විකුණන අයෙකි.
“වෙන අවුරුදුවල වගේ නම් මේ පාර සරු නැහැ. කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව මේකයි. අපි දරු පවුල්කාරයෝ. අපි ජීවත් වෙන්නෙත් මේ ලැබෙන සොච්චමෙන්. රුපියල් සීයට-දෙසීයට තමයි මා ළඟ විසිතුරු බඩු විකුණන්න තියෙන්නේ. මිනිස්සු එනවා අඩු වුණාම අපිට කොයින්ද බිස්නස්?”
රේගන් එසේ පවසන්න වූයේ නත්තල් සීයාගේ මුහුණක් පෙන්වමිනි.
මොහොමඩ් සියාස් පදිංචිව සිටින්නේ මට්ටක්කුලියේය. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.
“මම නත්තල් කාලයට විතරයි මේ බිස්නස් එක කරන්නේ. නත්තල් සැරසිලි, නත්තල් ගස් , විවිධ විසිතුරු දෑ මම විකුණනවා. කොටුවේ සෙනඟ ඉන්නකල් අපිත් බිස්නස් කරනවා. ගිය අවුරුදුවලට වඩා දැන් අපට බිස්නස් අඩුයි. වෙනදා තරම් මෙදා පාර ගානක් හොයාගන්න බැහැ වගේ. නත්තල ළං වුණාට පස්සේ නම් මීට වඩා ගානක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා...” සියාස් පවසන්නේ හෙට දවස ගැන බලාපොරොත්තු තබමිනි.
එදාට වඩා අද සියල්ල වෙනස්ය. මේ වෙනස්කම හොඳින්ම දැන්නේ වැඩිහිටියන්ටය. වසර තිහකට වැඩි කාලයක් තිස්සේ වෙළෙඳාම් කරන මිස්නාර් කියන්නේ මෙවැනි කතාවකි.
“ඉස්සර කාලෙ නම් මිනිස්සු මේ දැන් වගේ හැම දේම කඩෙන් ගන්න අවේ නෑ. ගෙවල්වල හදාගන්නවා. ඒත් දැන් ඉතිං කාලේ වෙනස් නේ. අපි වගේ අයගෙන් බඩු ගන්න ලොකු මිනිස්සු එන්නේ නෑ. පොඩි අය තමයි අපෙන් බඩු ගන්න එන්නේ. මේ පාර බඩු ගෙන්වන්න පරක්කු වුණා. පාස්කු ප්‍රහාරය නිසා වෙළෙන්දන් හිතලා බලලා තමයි බඩු ගෙනාවේ. ලොකු ගණන්වලට තියෙන දේවල් අපෙන් ගෙනියන්නේ නෑ. රුපියල් සීයට දෙසීට තියෙන දේවල් තමයි අපෙන් අරන් යන්නේ.”
විටෙක රටේ අනෙක් දේවල් මෙන්ම නත්තලද නවීකරණය වී ඇතැයි, වෙළෙඳාමක් වී ඇතැයි අපි මැසිවිලි නඟන්නෙමු. එහෙත් මේ පදික වෙළෙඳුන් සිය පවුල් රැකගන්නේ මෙසේ ලැබෙන ආදායමෙනි. මේ වෙළෙන්දන් අතර සිටි පමොද් කීවේ මෙවැනි කතාවකි.
“මගේ තාත්තා තමයි මුලින්ම මේ බිස්නස් එක කරගෙන ගියේ. තාත්තාට උදව්වට මමත් ආවා. අවුරුදු පහළොවක් තිස්සේ මම තාත්තා එක්ක මේ බිස්නස් එක කරගෙන යනවා. අපට මේකෙන් ලොකු ආදායමක් නැහැ. ඒත් අපේ මුළු පවුලම ජීවත් වෙන්නේ මේ ලැබෙන ආදායමෙන්.”
ටීෂානි ශෂී කුමාරි
ඡායාරූප - සමන්ත වීරසිරි