
මහ පොළොව නිමෙමින් ඇති සවස් යාමයේ වෙල්එළියේ තණ කමින් සිටින හරකුන් දක්කාගෙන ඒමට ගෙයින් පල්ලම් බසින මට ඈත පාළු ගඟ අයිනේ ඇවිද යන පෙම්වතුන් ජෝඩුවක් පෙනෙයි. දුටු හැටියේ ම ඔවුන් කවුරුන්දැයි මට හඳුනා ගත හැකි ය. ඒ සරත් අයියාත්, ලීලක්කාත් ය. ඉදිරියේ දී විවාහ වීමට නියමිත මේ ජෝඩුව ගැන ගම්වැසි කිසිවෙක් අහිතක් නොසිතූහ. ගඟ අයිනේ තණ කමින් සිටින හරකුන් මෙන් ම වන වදුලේ ගී ගයන කුරුලු කිරිල්ලියෝ ද මේ අහිංසක ආදරය දැන හඳුනාගෙන සිටියහ.
ඉඳහිට හෝ ගමේ පවුලක අඹුසැමි ආරාවුලක් පැන නැගුණහොත් වැඩිහිටියන් ඔවුන්ට උපදෙස් දෙන්නේ මේ ජෝඩුව උපමාවට ගෙන ය.
“අර සරතුයි, ලිලයි දිහෑ බලලවත් හැදියල්ල! බලපල්ල උං කොච්චර අගේට ඉන්නවද කියල!”
මා හරකුන් දක්කාගෙන එන විට බිං කරුවල වැටෙමින් තිබිණ. හරකුන් මේච්චල් කර ගනීමට අවධානය යොමුකර තිබූ හෙයින් මා පසු පස ආ උන් කෙරෙහි හැඟමක් මා සිතෙහි නොවී ය.
“නැන්දෙ” යි කියාගෙන අපේ මිදුලට ආ ජෝඩුව ගං ඉවුරෙන් නෙළාගත් ගඩා ගෙඩි අහුරක් අම්මාට දී වතුර වීදුරුවක් ඉල්ලාගෙන බිව්වෝ ය.
ලීලක්කා ගේ අම්මා ළා අඳුරින් මතු වූයේ මෙවිට ය. “මං බයවෙලා ඔය දෙන්නව හොයාගෙන යන ගමං කටඅඬ ඇහිල මෙහාට ගොඩ උණේ. දැං මදෑ ඇවිද්ද යං! සරත් පුතාලෑ අම්මත් බයවෙලා ඇති, පුතත් යං!”
ලීලක්කලෑ අම්මා අපේ අම්මාගෙන් සමුගෙන ආපසු හැරුණේ ජෝඩුව ඉස්සර කරගෙන ය.
මේ දෙන්නා ගේ සරණ බන්ධනය සරත් අයියා ගේ නැගණිය සුදුසු අයකු සොයා විවාහ කර දෙන තුරු දිගින් දිගට ම ඇදෙමින් පැවතියේ ය. වසර කිහිපයකට පසු සුදුස්සකු හමු වී ඇය විවාහ කොට දුන් පසු ද මොවුන් ගේ කසාදය නොකෙරුණේ ඊට පෙර ස්ථිර රැකියාවක් සොයාගත යුතු යැයි සරත් අයියා තිර ලෙස කියා සිටි නිසා ය. ඉනුත් වසරකට දෙකකට පමණ පසු සරත් අයියා රැකියාවක් ලැබ ඈතක ගියේ ය. සරත් අයියා ගෙදර නැතත් ලීලක්කා ඔහු ගේ ගෙදර යෑම නතර කළේ නැත. ඇයට ඔහු ගේ ගෙදර තමා ගේ ගෙදර මෙන් ම විය. ඇය අනාගත නැන්දණිය සමඟ ඉවුම් පිහුම් කළා ය. අතුපතු ගෑවා ය. අස්පස් කළා ය. සරත් අයියා ගේ පියා මිය ගොස් සිටියේ ය. ගෙදර පිරිමියෙකුට සිටියේ සරත් අයියා ගේ මලයා, විමල් පමණි. සිය වයසේ ම පසු වූ ඔහුට ලීලක්කා කට පුරා “අයියේ” යි කීවා ය. ඔහු ද ඇයට සැලකුවේ සහෝදරියකට මෙනි.
සරත් අයියා මුල දී සතිපතා ම ලියුම් එව්වේ ය. ඉන් පසු දෙසතියකට වරක් ලියුමක් එව්වේ ය. ටික කලකින් එය මසකට එකක් සේ ද, දෙතුන් මසකට එකක් සේ ද හීනවී යන කල අනාගත නැන්දණියත්, ලේලියත් පිටුපා යන ලියුම්කරු දෙස බලා සිටියේ දුක්බර ව ය.
කලකට පසු දිනක් මහ රෑක ගෙදර ආ සරත් අයියා පාන්දර ම පිට ව ගියේ සිය මව අත මුදලක් සමඟ ලිපියක් ද රඳවමිනි.
“අම්මෙ, ජීවිතේ අපි හිතං ඉන්නවට වඩා වෙනස්. මට ලීලට වැඩිය ලස්සන ගෑනු ළමයෙක් හම්බ වුණා. එයා මාත් එක්ක වැඩ කරන යාළුවගෙ නංගි. අනේ අම්මෙ මට සමාවෙන්ඩ...”
ලිපිය දෙස බලාගෙන සිටි සරත් ගේ මව සියොළඟ පණ නැති ව බිම ඇද වැටුණා ය. මව ඔසවා තබා සිහිගැන්වූ විමල් ලියුම කියවා පරල වූයේ ය. මේ ප්‍රශ්නය නිසා ගෙදර උදේ බත ඉඳුණේ ද නැත. විමල් වැඩපොළට ගියේ ද නැත. ටිකකිං හිනා වීගෙන ගෙට ගොඩවූයේ ලීලා ය. ඇගේ අතේ ගෙදරින් හදාගෙන ආ ආහරක් ද විය. යහනේ වැතිර සිටි නැන්දණිය දුටු ඇගේ හිනාව මැකී ගියේ ය. විමල් බිම බලා ගත්තේ ය.
“ඇයි මේ?” ලීලා දිගින් දිගට ම ප්‍රශ්න කළා ය. ඉවසිය නොහැකි තැන විමල් ලිපිය ඇයට දිගු කළේ ය. එය කියැවූ හැටියේ ලිලා ද සිහිසුන් වූවා ය. ටිකකින් සිහිය ආව ද නැවත ද සිහිය නැති විය. කිහිප වරක් එසේ වීමෙන් පසු ඇය හොඳ සිහිය ලැබුවා ය. සියලු පැතුම් සුන් වූ අනාගත නැන්දණියත්, ලේලියත් එකිනෙකා වැළඳගෙන හඬන්නට පටන් ගත්හ. මෙය දරා උහුලා ගත නොහැකී වූ විමල් මෙසේ ගුගුළේ ය.
“ඔය ඇඬිල්ල නවත්ත ගන්ඩ! මගෙ අයිය කරපු වැරැද්දෙ වන්දිය මේ මල්ලි ගෙවනව!”
ආරංචිය ගමේ ඉගිල්ලුණේ ය. අහස පොළොව නූහුලන අපරාධය කළ සරත්ට මුළු ගම ම ශාප කළහ. ඔවුන් විමල් දෙස බැලුවේ දෙවියන් දෙස බලන්නාක් මෙනි.
සරත් ගේ මව ද, විමල් ද, ලීලා ද ඔහු මුළු හිතින් අමතක කර දැමූහ. සරත් ද ඉන්පසු ගමේ නාවේ ය.
වැඩිකල් නොගොස් ම ලීලා ගේත්, විමල් ගේත් විවාහය ගම්මුන් ගේ දායකත්වයෙන් චාම් අයුරින් සිදුවිය.
බොහෝ කලක් ගත විය. වියපත් ව සිටි මවට සරත්ගෙන් ලිපියත් ලැබිණ. රැකියාව නැතිවූ බැවින් තමා මහත් සේ දුකට පත් ව ඇති බවත්, දරුවන් නැති තමාත් බිරියත් ජීවත් වීමට හිඟා නොකා හිඟා කන බවත් එමඟින් දන්වා සිට සරත් උන්හිටි තැන් ද අහිමි ව ඇති බැවින් ගෙපැලක් අටවා ගැනීමට ඉඩම් කොටහක් ලබා දෙන මෙන් ආයාචනා කර සිටියේ ය.
වියපත් මෑණියන් ගේ හිත උණු විය. සරත් ගේ ඉඩම් කොටස ඔහුට ලැබිණ. විමල් ද හිතේ තරහ මකා දමා සරත් ගේ ගෙය හැදීමට උර දුන්නේ ය. නැන්දණියගේත් තම සැමියාගේත් මිනිස්කම හමුවේ සිය දරදඬුකම හික්මවා ගත් ලීලා ද සිය දරු දෙදෙනා සමඟ සරත්ලා ගේ වැඩටපළට උදව් දුන්නා ය.
එසේ අතීතය මුළුමනින් ම යට වී ගියේ ය.
ගඟෙන් නාගෙන රෙදි ද හෝදාගෙන ගෙදර එන ලීලාට ඉඳහිට දවාලක නෑමට ගඟට යන සරතුත්, බිරියත් හදිගැසෙයි.
“ආ නංගි, ඔක්කොම වතුර නෑවද? අපිට ටිකක් ඉතුරු කෙරුවෙ නැද්ද?” එබඳු විටෙක් සරත් ලීලාට විහිළුවක් කරයි.
“අපොයි ඔය ඕනතරං තියෙන්නෙ! දෙන්න ඇති තරං නාගන්න එකයි ඇත්තෙ!” ලීලා ද හීනියට රිදිල්ලක් කරයි.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල, සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.