පාපැදියෙන් ලෝකය දිනුවත් ජීවිතේ පදින්න වාරුවක් නැති අනුරාධපුරයේ අයියා - නඟෝ | සිළුමිණ

පාපැදියෙන් ලෝකය දිනුවත් ජීවිතේ පදින්න වාරුවක් නැති අනුරාධපුරයේ අයියා - නඟෝ

- අම්මා පාපැදියක් අරන් දුන්නේ ආප්ප පුච්චලා එකතු කරපු සල්ලිවලින් 
- ශ්‍රියාලතා පාසල් බෑග් මැසීමේ ස්වයං රැකියාවක
- අදටත් අපට කන්න බොන්න දෙන්නේ අම්මා
- පාපැදි ශූරයකු ලෙස පරිණත දැනුම ඇති  සුමිත්ගේ දවස ගෙවෙන්නේ බැංකු හන්දියේ පාර අයිනේ

රුපියල් විසිපන්දාහේ බාල වර්ගයේ රේසින් පාපැදි පදිමින් මැලේසියාවේ පැවැති පර්ල් 2000 තරගයේ මිලියන ගණන් වටිනා හොඳම වර්ගයේ පාපැදි පසු කරමින් ජය ලබන්නට එදා සමත්කම් දැක්වූ ශ්‍රියාලතාට තිබූ එකම හයිය තම මවය.

පුංචි තේ කඩයක ආප්ප හදමින් රුපියලෙන් රුපියල එකතු කර රුපියල් විසිපන්දාහකට ඇයට අරන් දුන් පාපැදියෙන් ලොව දිනීමට ශ්‍රියාලතාට හැකි විය.

වසර විස්සක් තිස්සේ දෙස් විදෙස් පාපැදි තරගවලින් රටට කීර්තියක් ගෙනදුන් පාපැදි ශූරිය වන යූ.ඩී. ශ්‍රියාලතා සහ යූ.ඩී. සුමිත් අයියා නඟෝ දෙදෙනා අද වන විට ක්‍රීඩාවෙන් සමුගෙන තම තමන්ගේ දරුපවුල් රැකීමට තවමත් ජීවන මඟක් සොයති.

කොතරම් දුරක් පා පැදිය පැද්ද ද වෙහෙස නොවූ ශ්‍රියාලතා කලක් තිස්සේ රැකියාවක් සොයා වෙහෙස වූවාය. ඒ විඩාව නිවෙන මොහොතක ඇය අතීත ජයග්‍රහණ මෙසේ සිහි කළා ය.

‘‘දෙදාස් හතරේ දී මැලේසියාවේ පර්ල් ටූ තවුසන්” පදින්න ගිහින් පස්වැනියා වුණා. මම මුල සිටම පළමු වැනි බන්ච් එකේ ගියේ. අන්තිම තත්පර දෙකතුනේ දී පළමු වැනියාට යද්දී මැලේසියාවේ ක්‍රීඩිකාවක් මගේ ඇඟට කැපුවා. එයා එහෙම කළේ ඒ රටේ අනෙක් ක්‍රීඩිකාවට ඉස්සරහට යන්න. ඒ වෙලාවේ මම බේරෙන්න ඉඩ දුන් නිසා පහට තේරුණා.

හැබැයි ලෝකේ හොඳම බයිසිකල් එයාලා පැද්දේ. මගේ එක බාලම එක. අවුරුදු හතක් මැලේසියා කරගය පැද්දා. මෙඩ්ල් ගොඩක් ගත්තා. ලංකාවේ තරගවලින් බයිසිකලුත් දිනුවා. මුදලුත් ලැබුණා. ඒ සල්ලි සතයක් වත් අම්මා ගත්තේ නෑ. බැංකු පොතේ දාලා ඒවා අපේ තරග වැඩට යෙදෙව්වා. අදත් අපට කන්න බොන්න අම්මා සල්ලි දෙනවා.” ඇගේ වේදනාව එය ය.

දිවයිනේ සුප්‍රකට පාපැදි ක්‍රිඩා සමාජයක් වූ අනුරාධපුර රංජිත් අනුර ක්‍රිඩා සමාජයේ සිටි පාපැදි ශූරයෙකු වූ යූ.ඩී.චමින්ද වික්‍රමසිංහගේ බාල සොයුරා වූ සුමිත් 1994 දී ද නැඟණිය ශ්‍රියාලතා 1997 දී ද පාපැදි තරගවලට පිවිසුණහ. අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධියේ දකුණු දොරටුව ආසන්නයේ කුඩා වෙළඳසලක් සහිත නිවසක පදිංචි මේ පවුලේ පිරිස පාපැදි ක්‍රිඩාව වෙනුවෙන් විශාල කැප කිරීමක් කළහ. සුමිත්ගේ වැඩිමහල් සොයුරු චමින්ද හදිසි අභාවයකට ලක් වුවත් අයියා නඟෝ දෙදෙනා පසුබට නොවී “රංජිත් අනුර” ක්‍රිඩා සමාජයෙන් ඉදිරිපත් වී දිවයින පුරා පැවැති සෑම තරගයක් පාහේම නියෝජනය කරමින් ජයග්‍රහණ අත්කරගත්හ.

බොහෝ විට එකම තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව අයියා විසින් දිනා ගනිද්දී කාන්තා තරගයේ ශූරිය බවට නැඟණිය පත් වන අයුරු අදටත් බොහෝ දෙනාගේ මතකයේ ඇත.

1997 සිට 2004 දක්වා අනුරාධපුරයේ පැවැති සෑම පාපැදි තරගයකින්ම ප්‍රථම ස්ථානය දිනාගත්තේ සුමිත් ය. සුප්‍රකට ‘‘සිංගර් - රජරට සවාරිය” තරගාවලියේ ශූරතාවය සිව් වතාවක් ද උතුරු මැද පළාත් ක්‍රීඩා තරගවලදි එකදිගට ශූරතාව තුන්වතාවක් ද සුමිත් දිනාගත්තේ ය. 1995 සිට සිංගර් සවාරිය, බවර් පාපැදි තරගාවලිය සහ සියලුම පාසල් අංශයේ තරගවලදී ප්‍රථම ස්ථානය දිනු මේ දෙදෙනා 1997 ජාතික මහා ක්‍රිඩා උලෙළේ ශූරයා සහ ශූරිය බවට පත් වූහ. 2006 සිට ජාතික මහා ක්‍රිඩා උලෙළ හතක ශ්‍රියාලතා ශූරිය වූවාය.

2000 වසරේ දී ද ජාතික මහා ක්‍රිඩා උලෙළේදී නැවත ශූරයා හා ශූරිය වී 2004 දි ද එලෙසම ජය ගත්හ. ශ්‍රීයාලතා 1997 සිට එක දිගට ඇය සහභාගීවූ සෑම තරගයකින්ම පළමු තැන දිනාගත් බව වාර්තා වේ. බවර් ආයතනය සංවිධානය කරන තරගයෙන් ද ඇය 1997 සිට පස්වතාවක්ම ශූරිය වූවා ය.

1996 දී ලංකා සවාරිය, සිරස ආයතනයේ තුන් ප්‍රයාම හා ශ්‍රී ස්වර්ණ වසන්තය යන තරතරගවල ශූරයා සුමිත් ය. ඔහු 1996 සාෆ් තරගාවලින් 6 වන ස්ථානය දිනාගත්තේ ය.

ශ්‍රියාලතා 2006 සාෆ් තරගාවල දී රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනුවා ය. ඒ කාලය මැනීම ඉසව්වත්, මාර්ගයේ ධාවන ඉසව්වත් යන දෙකටම ය. 2016 සාෆ් තරගාවලියේ දී ඇය රිදී පදක්කම මෙරටට ලබා දුන්නා ය. 2016 දී ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ශ්‍රියාලතාය. මැලේසියාවේ පැවැති තරගාවලි 7කට, ඉන්දියාවේ තරගාවලි 2කට, දොහා-කටාර් තරගාවලියකට හා සිංගප්පූරුවේ තරගාවලියකට ද ගොස් පදක්කම් රැසක් ශ්‍රීයාලතා මව් බිමට ලබාදී තිබේ. 2016 ඉන්දියාවේ පැවැති කාලය මැනීමේ පාපැදි තරගාවලියේ රිදී පදක්කම ඇය හිමිකරගත්තා ය. දේශීය වශයෙන් පැවැති තරග සියගණනකට එක්ව ඇය ජයග්‍රහණ ලැබුවා ය.

මේ දස්කම් ඇය ලැබුවේ ක්‍රීඩකයන්ට විශේෂිත ආහාරපාන ව්‍යායාම හෝ සැප පහසුකම් කිසිවක් ලබමින් නොවේ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනපති සමයේ කෙටි කලක් ඇයට මාසිකව රුපියල් පන්දාහක දීමනාවක් ලැබිණි. එවක ක්‍රීඩා ඇමති එස්.බී.දිසානායක මහතාට ඇය පිළිබඳ දන්වා රේසිං පාපැදියක් ලබා දීමට ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා කටයුතු කර තිබිණි. 2006 දී උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇයට ලබාදුන් රේසිං පාපැදිය ආපසු ලබාදීමට සිදුවිය. 2012 දී ඇයට නැවත පාපැදියක් ලැබුණේ හිටපු මහ ඇමති බර්ටි දිසානායක මහතාගෙනි.

2006 දී ශ්‍රීයාලතාට රජයෙන් නිවසක් පරිත්‍යාග කෙරිණි. එවකට මහවැලි විෂය භාර අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් තඹුත්තේගම නගරයෙන් ලැබුණු එම නිවස 2018 දී ගුවන්හමුදාව විසින් ප්‍රතිශංස්කරණය කරදෙනු ලැබීය. දැන් ශ්‍රියාලතා පසුවන්නේ 40 වැනි වියේ ය. සුමිත් ඊට වඩා සිව් වසරක් වියපත් ය. සුමිත්ගේ ජීවිකාව ත්‍රිරෝද රථයක් පැදවීම ය. ඔහුගේ වටිනා තරුණ කාලය හා පාපැදි ශූරයෙකු ලෙස ලබා ඇති පරිණත දැනුම අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ මහ මඟ අයිනේ ගෙවෙයි.

ශ්‍රීයාලතා පාසල් බෑග් මැසීමේ ස්වයං රැකියාවක් ආරම්භ කර ඇත්තේ රජයෙන් ඇයට ක්‍රීඩා නිලධාරි තනතුරක් ලැබෙන තුරු ය. ගත වූ කාලය පුරාම ඇයට සාධාරණය ඉටු කිරීමට උතුරුමැද පළාත් සභාවේ බලධාරින් හෝ මධ්‍යම රජයේ නිලධාරින් අවධානය යොමු කර නැති බව ඇය කියයි. මේ අතර ඇගේ මවද අද අසරණ වී සිටී. ශ්‍රී මහා බෝධී මාවත පුරාවිද්‍යා සංරක්ෂණයන්ට ලක් කළ පසු අහිමි වූ ඇගේ වෙළඳසල් භූමිය වෙනුවට ඇයට තාමත් ඇය කැමති තැනක සුදුසු ඉඩමක් ලබාදීමට අනුරාධපුර නගර බලධාරීන් කටයුතු කර නැත.

‘‘2017 අවුරුද්දේ උතුරුමැද පළාත් සභාවෙන් පැවැත්වූ ක්‍රීඩා නිලධාරීන් බඳවාගැනීමේ තරග විභාගයට මමත් ලිව්වා. ඉහළ ලකුණුත් තිබෙනවා. නමුත් තාම බඳවාගත්තේ නෑ. දැන් ඒක අවලංගු වෙලාත් ඇති. මගේ මහත්තයා කුලියට වාහනයක් එළවලා හොයාගන්න සුළු ආදායමින් අමාරුවෙන් ජීවත්වෙනවා. බෑග් මැසීමත් සාර්ථක වුණේ නෑ. දරුවාගේ අධ්‍යාපන කටයුතු කරගන්නේ ඉතාම අමාරුවෙන්. පන්ති යවන්නත් සල්ලි නෑ. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ අයියාගේත් මගෙත් දැනුමෙන් රටට ප්‍රයෝජයක් ගන්න, රටට සේවය කරන්න අපට අවස්ථාවක් දෙන්න කියලා.” යැයි ශ්‍රියාලතා පවසන්නීය.

‘‘අපි පාපැදි පදින එක නතර කළාට පස්සේ දැන් එම ක්‍රීඩාවත් නැති ගානයි. අපි එක්ක ඇවිත් පුරුදු වෙලා තරගවලට ගිය අනෙක් නංගිලා මල්ලිලාත් දැන් තරගවලට යන්නේ නෑ. තරගත් නෑ. අපිට වෙච්චි දේ දැක්කාම කෙනෙක් අලුතෙන් තරගවලට නොයෙන එක සාධාරණයි. මෙම ක්‍රීඩාවට අලුත් අය පුහුණු කරලා ජාතික සහ ජාත්‍යන්තර තරගවලට යවන්න අපෙන් වැඩක් ගන්න කියලා‘‘ යැයි සුමිත් කීවේ ය.

සුමිත් පදිංචි අනුරාධපුර ඉසුරුමුණිය පාරේ මල්වතුඔය අසබඩ මිහිඳුපුර නිවසේ ඇති සිය ගණනක් කුසලාන හා සම්මාන දුර්වර්ණවෙමින් තිබේ. 2012 ගංවතුරට ඔහුගේ සහතික සිය ගණනක් මල්වතුඔයට ගසාගෙන ගියේ ය.

පා පැදි ශූරයන් වෙමින් යුගයක් බැබළවූ මේ අයියා නඟෝ දෙදෙනාට දැන්වත් කාගේ හෝ අවධානය යොමු විය යුතුය. ඔවුන් රටට ගෙනා කිර්තිය වෙනුවෙන් යම් ඇගයිමක් ලැබීය යුතුම කාලය ද මෙය වේ.

සරත් මනුල වික්‍රම
ඡායාරූප - අනුරාධපුර විශේෂ

Comments