පිය දිවිය එළිය කළ කලා සාන්ත | Page 4 | සිළුමිණ

පිය දිවිය එළිය කළ කලා සාන්ත

අපේ පාඩම් කාම­රය වුණේ අලු­ත්වැ­ඩියා කළ කුකුළු කොටු­වක්
සුනිල් සාන්තයන්ගේ එකම දියණිය ගැන සොයුරා කියන කතාව...

තාත්තෙ තාත්තේ මම සින්දු­වක් හැදුවා” දෙව­ස­රක් පමණ වූ කුඩා දිය­ණිය දිව­ගෙන විත් පියාගේ උකු­ළට පැන කීවාය.

“ආ කියන්න බලන්න”, කී පියාට ඇසුණේ, කිසිදා අසා නැති අන්දමේ ගීයකි.

“පොඩ්ඩක් ඉන්න දුව” කී පියා හනි­කට ගොස් ඒ දින­වල ගෙදර තිබූ කුඩා පටි­ගත කරන යන්ත්‍රය ලැහැ­ස්ති­කර, “ආ දැන් කියන්න” කීය. ‘හැල්ෆො­හීට හැල්ෆො­හීට’ යනු­වෙන් පට­න්ගත් අමු­තුම බස­කින්, පියාගේ ඔඩො­ක්කුවේ හිඳ, ගැයූ ගීය කලා සාන්ත කළ මුල්ම පටි­ගත කිරී­මය. එම ගීය, කුඩා දරු­වෙ­කු­ගෙන් බලා­පො­රොත්තු විය නොහැකි අන්දමේ, මත් වෙනස් කිරීම් හා අනු­ප්‍රා­සය අඩංගු, තර­මක් සංකීර්ණ නිපැ­යු­මකි. එම ගීයේ පද මාලා­වද අමුතු, අප කිසි­වකු අසා නැති වච­න­ව­ලින් සම­න්විත විය. එය අප නොදන්නා බසක් ද විය හැකියි.

“නංගි පාසලේ දී හා ගෙද­රදී නිතර ගී ගැයු­වත්, එවන් ගීයක් ඉන් පසුව කව­දා­වත් ගැයුවේ නැහැ. අම්මා කීවා මා ඉප­දුණු පසු තාත්තා දුවෙක් බලා­පො­රො­ත්තු­වෙන් ලංකා කියන ගැහැනු නමත් ලැහැස්ති කර­ගෙන සිටි බව. නමුත් එම බලා­පො­රො­ත්තුව ඉටු වුණේ තව දරු­වන් දෙදෙ­නෙ­කුට පසු­වයි. නංගි උපන් දවස මට යන්තම් මත­කයි. තාත්ත ඉතා සතු­ටින් සිටියා. තාත්තා පුතුන් තිදෙනා ද සමඟ ගුවන් විදු­ලි­ය­ටද ගොඩ­වුණා මිතු­රන් හමු­වන්න. ගුවන් විදු­ලියේ මැදි­රි­යක අප නවතා සම්බ­න්ධී­ක­රන මැදි­රි­යට ගොස් අපට අත වනා කතා කළ­සැටි තවම මත­කයි. අප තිදෙනා මැදි­රියේ මයි­ක්‍ර­ෆෝ­න­ය­කට ගීයක් ගයන අන්ද­මට තාත්තා පින්තු­ර­යක්ද ගත්තා.

කලා, තාත්තා සේම පැහැ­පත්, කුඩා කල ඇයට කැරලි කොණ්ඩ­යක් තිබුණා. නෑදෑ හිත­ව­තුන් හා අස­ල්වැ­සි­යන්ද කලාට ඉතා ආද­රය කළා. තාත්තා නිතර කලාගේ පින්තුර ගත් අතර, තාත්තාගේ කර­දර පිරි දිවි­යට කලා ලොකු සතු­ටක් ගෙන ආවා. කුඩා නංගි පන් මල්ලක් හිසේ දමා­ගෙන ඒ යට සැඟවී කැවුම් කෑ සැටි මතක් කර අම්මා නිතර හිනා වුණා.

දරු­වන් සිව් දෙනා­ගෙන් ලලිත කලා අංශ­යට කුඩා කල සිටම වඩාත්ම යොමු වුයේ නංගියි. වයස අවු­රුදු හත­රේදී විතර කලා ගේ ම නැටුම් විලා­සි­තා­ව­කට ඈ නිවසේ නිතර රංග­නය කළා. ඒ නැටුම් තාත්තා හා අම්මා ඉතා අගය කළා පම­ණක් නොව, මුදල් අමා­රු­කම් තිබු­ණත් කලා උනන්දු කර­න්නට රතු­පාට දිලි­සෙන ඇඳු­මක් තාත්තා ගෙනත් දුන් රෙද්දෙන් අම්මා මහලා දුන්නා. එම අව­දි­යේම තාත්තාගේ පුංචි අම්මා, අප කුලි­යට පදිං­චිව සිටි ගෙයින් යන්නැයි කියා තාත්තාට නඩු පැව­රුවා. මෙවන් කර­දර මැද නැටු­මට කලාට තුබූ උන­න්දු­වත් නැතිව ගියා.

තාත්තා කලාට වෙසෙසි ආද­ර­යක් දැක්වුවා. පිරිමි දරු­වන්ට තද නීති රීති තිබු­ණත් කලාට ලොකු නිද­හ­සක් තිබුණා. කලාත් ඒ වගේම තාත්තාට හැම විටම ඉම­හත් ළැදි­යා­ව­කින් සිටියා. අලුත් වැඩියා කළ පරණ කුකුළු කොටු­වක් අපගේ පාඩම් කාම­රය විය. එහි මා පාඩම් කරන මේසය තිබුණේ තාත්තා ගේ හාන්සි පුටුව ළඟ.

නංගි පොත් පත් කිය­වී­මට ලොකු ආසා­වක් දැක්වුවා පම­ණක් නොව නංගිට ඉතා වේග­යෙන් කිය­වීමේ හැකි­යා­වක් ද තිබුණා. ගෙදර තාත්තා ගේ පොඩි පුස්ත­කා­ල­යක් වගේ පොත් එක­තු­වක් තිබුණා. ඒ පොත් තාත්තා ලබා ගත්තේ ගෙදර තිබුණු තාත්තාගේ නොවි­කුණූ සිංදු පොත්, මුදල් වෙනු­වට තාත්ත අඳු­රන පොත් සාප්පු­ව­කට දීමෙ­නුයි. අප තාත්තා­ගෙන් පොතක් ඉල්ලා­ගෙන, කියවා හමාර වුණාම ආපසු දී තවත් පොතක් ඉල්ලා ගත්තා. කලා අප සිය­ල්ල­න්ටම වඩා ඉක්ම­නට පොත් ආපසු දුන් නිසා අපට ලොකු සැක­යක් ඇති­වුණා කලා එම පොත් සම්පු­ර්ණ­යෙන් කියෙ­ව්වාද කියා. මෙය බේරුම් කර­න්නට, වරක් කලා කියවා අව­සා­නයි කියූ පොතක අඩංගු දේ ගැන තාත්තා ප්‍රශ්න කිහි­ප­යක් ඇසුවා. කලා ඒ සියලු ප්‍රශ්න­ව­ලට නොපැ­කි­ළව නිවැ­රදි පිළි­තුරු දුන්නා.

පසු කලෙක තාත්තා කලාට ගිටාර් වාද­නය ඉගැ­න්නුවා. ඒත් කලා ගේ ගිටා­රය වැයු­මට තිබූ උන­න්දුව ටික කල­කින් නැති ව ගියා.

තාත්තා හා අම්මා සතුන්ට ඉතා කරු­ණා­ව­න්තයි. ගැමි­යන් අත­ර­මංවූ අනාථ සතුන් නිතර අප නිවෙ­සට ගෙනැ­විත් බාර­දුන්නා. අස­රණ සතු­නට සාත්තු සප්පා­යම්, වෙද හෙද­කම් කර, සුව­පත් ව සවි­මත් වූ පසු නිද­හස් කිරී­මෙන් තාත්තා විශාල සතු­ටක් ලැබුවා. ලේනුන්, ගිර­වුන්, මයි­නන්, සේරු කුරු­ල්ලෙක්, අඹ කොට්ටෝරු පැට­වුන්, කෑර­ලෙක් මේ අතර වුවා මට මත­කයි. තාත්තාට උදව් කර­මින් ළඟින් ඇසුරු කළ කලාට තාත්තාගේ ගති­ගුණ හොඳින් පිහිටා තිබුණා.

උසස් පෙළ විභා­ගය සමත් වූ පසු නංගි පශු වෛද්‍ය­ව­රි­යක වීමට තීර­ණය කර පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළු­වූවා. කලා ඉතා ළෙන්ග­තුව ඇසුරු කළ සොයුරු ජගත් සාන්ත අබි­ර­හස් ලෙස අකල් මර­ණ­ය­කට ගොදුරු වීම සහ ඉන් සති හය­කට පසු තාත්තා නැති වීම තුරුණු කලාගේ දිවි­යට හා මන­සට බල­වත් පහ­රක් වුවා.

1985 දී පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨ­යෙන් උපා­ධිය ලබා ගත් කලා, පසුව සතුන් වත්තේ හා පින්න­වල අලි අනා­ථා­ගා­රයේ පශු වෛද්‍ය­ව­රි­යක හැටි­යට වැඩ කළා. කලා රච­නය කළ, 1996 දී මුල් වරට එළි දැක්වූ, සතුන් වත්තෙන් අප ගෙව­ත්තට නමැති පොත් හා පුවත් පත්ව­ලට ලියු ලිපි මගින් ඇය වන පරි­ස­රය හා වන සතුන් රැක ගැනීමේ වැද­ග­ත්කම ගැන ජන­තාව දැනු­වත් කිරී­මට උත්සාහ කළා. ඇය ලියූ එක් කතා­වක, කලා ලෙච්චමී නමැති ඇති­න්නගේ අව­සන් සමයේ ඈට වෙද හෙද කම් කළ සැටි ගැන සංවේ­ගා­ත්මක සට­හ­නක් කළා. කුඩා කල සතුන් වත්තට තාත්තා අප රැගෙන ගිය දින­වල සිටම කලාට ලෙච්චමී මතක තිබුණු බව එහි සඳ­හන්. සතුන් වත්තේ සිටින අලින් ගේ කකු­ල්ව­ලට යකඩ දම්වැල් දමා බැඳ තැබීම පිළි­බඳ කලා ගේ තද­බල විරු­ද්ධ­ත්ව­යක් තිබුණා.”

සත්ව අයි­ති­වා­සි­කම් හා පරි­ස­රය සුරැ­කීම සඳහා ඈ මුළු හදින්ම මහත් වෙහ­සක් දැරු­වාය. තාත්තා මෙන්ම ආයු­ර්වේද වෙද­කම් ගැන මහත් විශ්වා­ස­යක් දැරූ ඇය බෙහෙත් පැළෑටි හුව­මාරු කර ගත් අන්දම පට්ටානේ හිමි නිතර සිහි­පත් කරයි. තාත්තා සේම, ඇය කෑදර කපටි අයට මහත් අක­මැ­ත්තක් දැක්වූ අතර, එවැ­න්නන් ගෙන් ඈත්ව සිටි­යාය. තාත්තා සේම ඈ මුද­ලට වාල්ව ප්‍රති­පත්ති පාවා නොදු­න්නාය. තාත්තා සේම ඈ නොබි­යව තම මතය පළ­කර, තමා හරි­යයි සිතූ දෙය සඳහා කැපවී, ඉන් පාඩු­වක් වී නම්, ඒ නිහ­ඩව විඳ­ග­ත්තාය.

“ඈ මිනිස් අලි ගැටුම පිළි­බ­ඳව වෙසෙසි උන­න්දු­වක් දැක්වුවා. බීබීසී ආය­ත­නය 2012 දී කලා සමග සම්මුඛ සාකච්ඡා පැවැ­ත්තුවා. මා හා මා දිය­ණිය සමඟ කලා නිතර සත්ව කරු­ණාව හා පරි­ස­රය සුරැ­කීම ගැන කතා කළා. ලංකාවේ පරි­ස­රය දුෂ­ණය පම­ණක් නොව සත්ව කරු­ණාව ගැනද ජන­තාව දැනු­ම්වත් කිරී­මට උත්සාහ කළා. කාන්තා­ව­කට විඳි­න්නට වන අම­තර දුෂ්ක­රතා ද මැඩ­ගෙන කලා යමක් කිරී­මට උත්සාහ කළා. පින්න­වල ස්ථිර පශු වෛද්‍ය තන­තු­රට කලා පත් නොකි­රී­මට හේතුව ලෙස, ‘ඒක ගැහැනු කෙන­කුට ක‍රන්න පුළු­වන් රස්සා­වක් නෙමේ’ කියා ඊට වග­කිව යුතු තන­තුරේ එව­කට සිටි තැනැත්තා අම්මාට කී බව අම්මා මට පැව­සුවා. එම තන­තුර අහෝසි කළ පසු, එම තන­තු­රට හැම අයු­ර­කින්ම හොඳම සුදුස්සා හා එවන් වග­කීම් ඒ වන­වි­ටත් උසු­ල­මින් සිටි පශු වෛද්‍ය කලා සාන්ත, රජයේ සේව­යෙන් ඉල්ලා අස්වී­මට තීර­ණය කළා. ඇගේ දෛවය සිය පියාට වූ දෙය සිහි කර­ව­න්නක් වුණා.

සීගිරි ගී සංගීත තැටිය (CD) කලා තනි­වම නිෂ්පා­ද­නය කළා. තාත්තා ගේ සංගීත දිවියේ විවිධ වක­වානු නියෝ­ජ­නය වන අන්ද­මට ගී තෝරා­ගැන්ම, කලා­ත්මක කව­ර­යක් නිර්මා­ණය කිරීම, සිංග­ප්පූ­රු­වට ගොස් තැටි නිමවා ගෙන­ඒම, ඊට අදාළ කට­යුතු සම­හ­රකි. සැම­වි­ටම “අයියා”, “අයියේ” යනු­වෙන් නංගී මා ඇම­තුවා. ඒ හඬ ඈ ගැයූ අයියා නංගී සංවා­ද­යක් වන “බෝවි­ටියා දන් පලු­කන් වාරේ මේ නොවැ පොඩි නංගෝ” ගීයෙහි එලෙ­සම සදා පව­තිනු ඇති. සුනිල් සාන්ත සමරු උත්සව වල වේදි­කාවේ හා රුප­වා­හිනී වැඩ­ස­ට­හ­න්වල ඇය ටී එම් ජය­රත්න වැනි පසිඳූ ගාය­ක­යන් ද සමග ගී ගැයූ අතර, ඒ පටි­ගත කිරීම් වලදී සිදුවූ විනෝ­දා­ත්මක සිදු­වීම් නිතර මතක් කළේ සතු­ටින්.

සුනිල් සාන්ත සබැඳි පළ­මු­වැනි වෙබ් අඩ­විය ( sunilsantha .com ) කලා විසින් ඇරඹූ අව­දියේ ඇතුළු විය යුතු දේ හා එහි පෙනුම ගැන මගේ අද­හස් හා උප­දෙස් නිතර ලබා ගත් අතර ලංකාවේ සිටි මගේ මිතු­රන් ලවා ඊට කාර්මික අංශ­යෙන් නංගීට උදව් ලබා දුන්නා.

කලා තම ජීවි­තය අනුන්ට උදව් කිරී­මට කැප කළ දයා­නු­ක­ම්පිත තැනැ­ත්ති­යක්. වසර කීප­ය­කට පෙර වන තුරු සවස් වරුවේ තම නිවෙ­සට ගෙනා සුර­තල් සතුන්ට බෙහෙත් කළේ ඉතා සුළු මුද­ලක් අය­ක­ර­මිනි. එක්තරා පොහො­සත් අයෙ­කුගේ සතෙ­කුට වෙද­කම් කිරී­මට ගිය බවත්, ඔවුන් වංචා සග­හත ලෙස සුපිරි ධන­ව­තුන් බවට පත් වූ අය බව දැන­ගත් පසු, එවැ­න්නන්ට සේවය කිරී­මට අක­මැති නිසා, වෙනත් පශු වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කළ බවක් කලා වරක් මට කිව්වා. තාත්තා මෙන්ම, මුද­ලට වහල් වී හෘදය සාක්ෂිය පාවා නොදීම ඇගේ සිරි­තක්.

මව් මිය­ගිය පසු සරල තනි දිවි­යක් ගෙවූ ඇගේ නිවසේ වටිනා යමක් නොවූ නමුත්, නිතර කඩා වැදුණු සොරුන්, කුස්සියේ වූ ගෑස් ටැංකිය වැනි දේ ගෙන ගියා. කලා මේ සොරුන් කව්දැයි අනු­මා­න­යෙන් දැන සිටි නිසා තමන් ඔවුන්ට මෙත­රම් උදව් කර­ද්දීත් ඇයට මෙසේ කරන්නේ ඇයි­දැයි ඔවු­න්ගෙන් විම­සුවා.

දින­පතා, ගේ ළඟ පන්සලේ අනාථ බල්ලන්ට කෑම දීම කලාගේ සිරි­තක්. නංගී අප දැකී­මට ආ දින­වල ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නග­රයේ සතුන් රැක­බලා ගැනීමේ මධ්‍ය­ස්ථා­න­ය­කට ස්වේච්ඡා­වෙන් උදව් කළා. අම්මා ජීව­තුන් අතර සිටි­යදී ඈ සමඟ හර­කුන්ට අභ­ය­දා­න­ය­දීමේ පිංකම් කළා සේම නිවෙස අසල හරස් පාරේ නවතා ඇති කර­ත්ත­වල බැඳි හර­කුන්ට කෑම දුන්නා. සම­හරු, අස­නී­පවූ හා ඔවුන්ට අන­වශ්‍ය යැයි සිතන සුර­තල් සතුන් ඇගේ දොර­කඩ දමා ගියා. කලා මඟ­තොට දී දුටු අඩ­පණ වූ, තුවාල වූ, අත්හැර දැමු සතුන් ගෙදර ගෙන­විත් සාත්තු සප්පා­යම් කළා.

අපේ අම්මා මිය­ගියේ ඇගේ ඔඩො­ක්කුවේ. නංගී මට දුර­ක­ත­න­යෙන් “අයියේ, අම්මා අපිව දාලා ගියා” කියා කී සැටි තවම මත­කයි. 2015 ජුනි මස මා ලංකා­වට පැමිණ නංගි සමඟ නැවතී සිටි­යදී අම්මා මට සැලකූ ලෙසම මට සල­කන බව කී ඈ, මා කෑම කන විට ළඟ හිඳ­ගෙන මගේ පිඟාන පිර­වූවා. නමුත්, ඒ වන විටත් ඈ අස­නී­ප­යෙන් සිටි බව මා දැන සිටියේ නෑ. නංගී 2016 දෙසැ­ම්බර් රෝහ­ල්ග­තවී සිටින විට මා, ඈ සමඟ නැවතී සිටි අව­දියේ අස­නී­පය ගැන දැන සිටියා ද කියා විම­සුවා. “ඔව් ලම්ප් එකක් තිබුණා” යි ඇය කීවා. ඇයි මට නොකීවේ යැයි ඇසූ විට කීවේ “ඔයාට තියෙන ප්‍රශ්න­ව­ලට තව එකතු කරන්න මට හිතුණේ නැහැ” කියායි. තමුන්ට පෙර අනුන් ගැන සිතීම නංගී ගේ ස්වභා­වය වූවා.

අම්මා නැතිවූ පසු තාත්තා ගේ කෘතීන් ගැන තීරණ ගැනී­මේදී නංගී ගේ අනු­මැ­තිය නොගැ­නීම ගැන ඈ දුක් වුවා. ඈ ජාතික රුප­වා­හිනී සංස්ථා­වට එවන් කරු­ණක් ගැන ලිපි­යක් ලිව්වා. නංගී මෙවන් අසා­ධා­ර­ණ­යන් ගැන මට හා අන් අයට කීවා සේම ලිපි ලියුවා. නමුත් ඒ ගැන තව­දු­ර­ටත් නොසැලී, නොතැවී කල­කි­රී­මෙන් වුව උපේ­ක්ෂා­වෙන් තම සරල දිවිය තව­දු­ර­ටත් ගෙවුවා. අවා­ස­නා­ව­කට මෙන් මෙය තාත්තා ගේ දිවියේ වූ අත්දැ­කී­ම්ව­ලට සමාන විය.

ජය­ව­ර්ධ­න­පුර රෝහලේ සිටි­යදී නංගී සමඟ ගත­කළ අව­සාන දින තිහේ මා ඇගෙන් නිත­රම ‘ඇයි කලින් මීට වෙද­ක­මක් කර­ගත්තේ නැත්තේ’ කියා ඇසුවා. ඇය කිව්වේ ‘මට සල්ලි ප්‍රශ්න තිබුණා’ කියායි.

CD හා DVD පට ලෙස අලෙවි කළ තාත්තගේ කෘති වලින් ඈ ට ලැබිය යුතු කතෘ­භාග ලැබුණේ නෑ. 2015 ජුනි මාසයේ දී ගුවන් විදුලි සංස්ථාවේ වග­කි­ව­යු­ත්තන් හමුවී සංස්ථාව අලෙවි කරන කෘති­වල කතෘ­භාග නංගී ට ගෙවන ලෙස මා ඉල්ලා සිටියා. ඔවුන් ඊට එකඟ වූ නමුත් එය සිදු­වූයේ නැහැ. පෞද්ග­ලික රූප­වා­හිනී සමා­ගම් හෝ අන් ගුවන් විදුලි සමා­ගම් ද එම කෘතීන් ප්‍රචා­රය කළ­විට එවැනි ගෙවී­මක් කළේ නැහැ.”

මස් මාළු අනු­භව නොකළ, මුළු හද­ව­තින්ම බෞද්ධ­යෙකු වූ කලා සාන්ත අ ඉතා සරල ජීවි­ත­යක් ගෙව්වාය. ඈ මාල, වළලු, මුදු හෝ කරාබු නොපැ­ළ­ඳීය. ඒ ඇයගේ පියා හා මව සේ ම විය. තාත්තා සේම නංගි ද අනු­නට හිංසා පීඩා නොක­ළාය.

පියා සේම, ඈ ද, ඈ දැන හදුනා ගත්ත­වුන් ගේ හා ඉදි­රි­යට දැන හඳු­නා­ගන්නා පර­ම්ප­රා­වල හද­වතේ ජීවත් වනු ඇත.

ඇයට අමා මහ නිවන් සුව ලැබේවා!

සුනිල් සාන්ත

Comments