- අනාගත බලාපොරොත්තුව සත්ත්ව විද්‍යාඥයකු වීම
- මේ වන විටත් සතුන් ගැන පර්යේෂණ කෘති තුනක් ලියලා
- සතුන්ගේ පින්තූර එකතු කරන්න ගත්තේ වයස අවුරුදු 3දී
ඔහු නමින් ඉසුරු අරුණෝද නාකන්දල. ඉසුරුගේ වයස අවුරුදු 8යි. දැනට කොළඹ ආනන්ද විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු හරි අපුරු පොඩිත්තෙකි. ගහට කොළට සතා සීපාවාට පරිසරයට ආදරය කරන ඔහු පරිසරය පිළිබඳ ගවේෂණය කිරීමට අධ්‍යයනය කිරීමට සමතෙකි.
බහ තෝරන වයසේ සිට පරිසරයට ඇලුම් කළ ඉසුරු මුලින්ම අධ්‍යාපනය ලබන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයෙනි.
කුඩා වයසේ සිට පරිසරයට ඇලුම් කළ ඉසුරුගේ ගමන් මඟ ඇරඹෙන්නේ සතුන්ගේ පින්තූර එකතු කිරීමත් සමඟය. පුංචි වයසේදී අම්මා හා තාත්තා විසින් එකතු කර දෙන ලද සතුන්ගේ පින්තූර බැලීමත් ඒවා එකතු කිරිමත් පොත්වල ඇලවීමත් නිසා සතුන් කෙරෙහි ඔහු තුළ ආශාවක් ඇතිවේ.
ඉසුරුගේ මව සමන්ති නිශ්ශංක වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියකි. පියා වන හර්ෂ උදය කුමාර නාකන්දල ව්‍යාපාර කළමනාකරණය හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි.
“අපි කොයිතරම් කාර්ය බහුල වුණත් පුතා ගැන අවධානය යොමු කෙරුවා. අපිට ඕන වුණා ඔහු තුළ පරිසරය සත්තු ගැන ඇල්මක් ඇති කරන්න. මුලින් අපි ඔහුව ඒ සඳහා යොමු කළත් පසුව පුතා වයසින් වැඩෙනවාත් එක්කම එයත් සත්තුන්ගේ පින්තූර හොයන්න පුරුදු වුණා. මේ වෙනකොට පුතාගේ පින්තූර පොත්වල සතුන් වර්ග තුන්දසකගේ පින්තූර සහ පක්ෂීන් වර්ග සියයකගේ පිහාටු තිබෙනවා.
අපේ පුතාගේ ජීවිතේ වෙනස් කළ සුවිශේෂී සිදුවීමක් වූණේ සත්ත්ව උද්‍යානය නැරඹීම සඳහා ගිය අවස්ථාව. සත්තු ගැන විස්තර කරද්දි පුතාට ඒ විස්තරය ප්‍රමාණවත් වුණේ නැහැ. මොකද ඒ කියන විස්තර පුතා දැනගෙන හිටියා. එයාට ඕන වුණේ ඊටත් වඩා තොරතුරු දැන ගැනීමට. ඉන් පස්සේ දවසක අප පුතා සමඟ හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ගියා. හොරගොල්ල වනෝද්‍යානය තියෙන්නේ අප නිවසට ආසන්නව. නිතර අප එහි යනවා එනවා. පුතා මේ පරිසරයට හරි කැමතියි. ඔහු ඒ පරිසරයේ සිටින සත්තු විශේෂ හා ශාක විශේෂ ගැන අවධානය යොමු කළා. ඒ ගැන අපි තොරතුරු කියා දුන්නා. දන්නා කියන අයගෙන් පුතාට දැනුම ලබා දුන්නා. අන්තර්ජාලය ඔස්සෙත් පුතා තොරතුරු සොයා ගත්තා. මෙහි ප්‍රතිඵලය වුණේ “හොරගොල්ල ජාතික වනෝද්‍යානය හා එහිදී අපට හමු වන සතුන්ගේ අසිරිය” නම් පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම. මේ පොත සදහා 2018 අගෝස්තු 30 වන දින ලොව ලාබාලතම පර්යේෂණ ග්රන්ථ කර්තෘ හිමිවුණා. මෙම “World Youngest Research Environmentalist” සම්මානය ලබා දෙනු ලබන්නේ ඇමරිකානු google ආයතනයේ මුලිකත්වයෙන්. ”(මීට පෙර මෙම සම්මානයට හිමිකම් කීවේ ඇමරිකානු ජාතික වයස අවුරුදු නවයක දැරියකි.) ඉසුරු පුතුගේ පියා පවසන්නේ සතුටෙනි.
පුංචි ඉසුරුගේ දෙවන පොත .“මිහිතලය හිමිකරුවෝ” කෘතියයි.
ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථය ඉසුරු සතු පරිසර හිතවාදී බව මනාව පෙන්නුම් කරයි. “හොරගොල්ල ජාතික වනෝද්‍යානය හා එහි දී හමුවන සතුන්ගේ අසිරිය නම් පර්යේෂණ ග්‍රන්ථය පරිච්ඡේද හයකින් සමන්විතය. පක්ෂීන්, මසුන්, සිවුපාවුන්, උරගයන්, කෘමි සතුන් හා සමනලුන් මෙන්ම ශාක විශේෂ වැල් විශේෂ පිළිබඳ තොරතුරු ද ඊට ඇතුළත්ය. පර්යේෂණ ග්‍රන්ථය රචනා කිරීම සඳහා ඉසුරුට වසර දෙකක කාලයක් ගතවී ඇත. ඉකුත් ඔක්තෝබර් 20 දින නෙලුම් පොකුණ රඟහලේදී පරිසරය වෙනුවෙන් කරන ලද විශේෂ පර්යේෂණ හා කළමනාකරණය උදෙසා ලබා දෙන විශේෂ ජනාධිපති සම්මානය “Next-A Blue Green Era” ඉසුරුට ලැබිණි.
මේ වන විට “විසිතුරු මසුන්" නමින් තවත් කෘතියක් රචනා කොට ඇත. “මම හරිම කැමතියි පරිසරයට. මගෙ අම්මගෙන් තාත්තගෙන් මට හොඳ සහායක් ලැබෙනවා. පොත් ලිව්වට පරිසරය ගැන තොරතුරු හෙව්වට මම එය මගේ ඉගෙනීමට බාධාවක් කර ගන්නේ නැහැ. මම මේ දවස් වල
“ඩයිනෝසරයන්ගේ ලෝකය” නමින් තවත් පරීක්ෂණ පොතක් ලියමින් සිටිනවා. ඒ පොත 2020 ජනවාරි මස වන විට එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. මගේ පාසලේ ගුරුවරුන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. කවුරුත් මාව අගය කරනවා. එය මට ලොකු සතුටක්.”
සතුන්ට ඇලුම් කරන ඒ පිළිබඳ පර්යේෂණ කරන පුංචි ඉසුරුගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි අසන්නටද අමතක නොකෙළෙමි. ඔහුගෙන් අපට ලැබුණේ ඒ වයසේ දරුවෙකුගෙන් කිසිසේත් බලාපොරොත්තු නොවිය හැකි පිළිතුරකි.
“මගේ අනාගත බලාපොරොත්තුව සත්ත්ව විද්‍යාඥයකු වීමයි. ජාන තාක්ෂණය භාවිතා කරමින් මෙතෙක් ලෝකයේ ජීවත් නොවෙන සතෙක් නිර්මාණය කරන එක තමා මගේ මූලික අරමුණ. අලුත් සත්ත්වයා මිනිසාට උපකාර ලබාගත හැකි මිනිසාගේ වැඩ පහසු කළ හැකි සත්ත්වයෙක් විදිහට හදන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මගේ පොත් විකිණිමෙන් ලැබෙන සියලුම මුදල් දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන නංගිලා මල්ලිලා සඳහා ලබා දීමට කටයුතු කරනවා.” ඉසුරු පවසන්නේ බොහෝ වුවමනාවෙනි.
මේ වන විට ඉසුරු අරුණෝද නාකන්දල නමින් ගිණුමක්ද විවෘත කොට තිබේ.
සාවිත්‍රී විජේවර්ධන