‘සිළුමිණට’ අසූ නවයයි | සිළුමිණ

‘සිළුමිණට’ අසූ නවයයි

හොඳ පුවත්පතක් යනු ජාතියක් විසින් තම ජාතියටම සිදු කරනු ලබන ස්වයං කථනයක් බව ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සිටි බලවත් ලේඛකයකු වූ ආතර් මිලර්ය. ඔහු එයින් අදහස් කළේ ජාතියක හොඳ නොහොඳ අතීතය වර්තමානය සේම අනාගතය ගැනද කතා කිරීමේ හොඳම මාධ්‍යය පුවත්පත බවය. වර්තමානය වන විට පුවත්පත නව්‍ය තාක්ෂණය හමුවේ එන අභියෝග හමුවේ පවා නොසැලී සිටිනුයේ එයට සමීප වන ජාතියක් සමඟ ජීවත් වීමට පවතින හැකියාව නිසාම බව පැහැදිලිය. ආතර් මිල ර් පුවත්පතක රුව ගුණ දකින ආකාරයත්, මීට හරියටම වසර 89කට පෙර එළිදුටු සිළුමිණ තම කර්තෘ වාක්‍යයෙන් එහි අරමුණ ප්‍රකාශ කළ ආකාරයත් අතර වෙනසක් නැති බව පෙනෙන්නේ: එහි සිළුමිණ එක්වන් අධිෂ්ඨානය ලෙස ජාත්‍යුන්නතිය, ශාස්ත්‍රෝද්දීපනය, සදාචාරය, මහජන සේවය සහ මහජන අර්ථ සංරක්ෂණය යනාදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම දක්වා තිබීමෙනි.

පුවත්පතකට කළ හැකි විස්මිත සමාජ මෙහෙවරෙහි විභවය අවබෝධ කරගත් අතළොස්සක් චරිත අතර ශ්‍රේෂ්ඨතම චරිතය වන්නේ ඩී.ආර්. විජයවර්ධන චරිතයයි. එතුමන් තරම් පුවත්පත් කෙරෙහි ජානගත බැඳීමක් ඇති කරගත් අයකු එතෙක් මෙතෙක් ආසියානු කලාපයෙහි බිහිව නැති තරම්ය. අමාරුවෙන් ආරම්භ කළ බොහෝ පුවත්පත් වැසෙන, අධිරාජ්‍යවාදයේ කළු සෙවණැලි හොල්මන් කරන පසුබිමක ලේක්හවුස් ආයතනය ආරම්භ කරමින්, වැහෙන්නට ගිය පුවත්පත් මිලට ගනිමින් ඔහු කළ පුවත්පත් විප්ලවය හා සම කළ හැකි විප්ලවයක් ආසියානු කලාපය තුළද සොයාගත නොහැකි තරමේ එකකි.

ඔහු ජාතියට තිළිණ කළ දායාද අතර සිළුමිණ අදටද ජන මන පුබුදුවන දැවැන්ත ආලෝක කදම්බයකි. සිළුමිණ 89 වසරක් සමරන මේ මොහොතේ ඒ ශ්‍රෙෂ්ඨ චරිතයට සුවිසෙස් ප්‍රණාමය හිමි විය යුතුමය. විජේවර්ධනයන් විසින් පියසේන නිශ්ශංක නම් වූ එවකට සිටි සුවිශේෂ ජාති හිතෛශි කතුවරයාගේ කර්තෘත්වයෙන් 1930 මාර්තු මස 30 වැනිදා මුල් වරට පළ කරන ලද සිළුමිණ මේ සති අන්තය වන විට තම අභිමානවත් 89 වැනි වසර සම්පූර්ණ කරයි. එයින් ඉක්බිති එළඹෙනුයේ සිළුමිණ ශතකයට පිවිසෙන දශකයයි.

1930 දශකය ලෝකයේ මෙන්ම අපේ රටේද සමාජීය ප්‍රවණතා පිළිබඳ සැලකීමේදී පුවත්පතක් ආරම්භ කිරීම වූකලි කවර ආකාරයේ දුෂ්කර ක්‍රියාවක්දැයි තේරුම් ගැනීම අපහසු නැත. අද මෙන් තාක්ෂණය නොදියුණු, සාක්ෂරතාව අඩු, ප්‍රවාහන ඇතුළු යටිතල පහසුකම් සීමාව පැවති, එමෙන්ම රටේ පාලනය බලය ඉංග්‍රීසීන්ට සින්න වූ පසුබිමක දේශීය ව්‍යවසායකයකු පුවත්පත් කර්මාන්තයක් ආරම්භ කිරීම අතිශයින්ම අභියෝගාත්මක කාර්යයක් වූවාට සැකයක් නැත. මේ දැවැන්ත කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ පවුල් සාමාජිකයකු ලෙස බිහි වූ සිළුමිණ ජාතියේ උන්නතිය වෙනුවෙන් සෑම අංශයකින්ම කරන ලද ආමන්ත්‍රණය ජාතියේ හදවතට අතිශයින් සමීප විය. මේ සමීපත්වය දශක නවයක් තිස්සේ සිළුමිණ සන්නාමය මෙරට පුවත්පත් වෙළෙඳපොළ තුළ දිදුලවන්නට තරම් සවිමත් එකක් වූයේය.

යකඩින් සැදි මුද්‍රණ යන්ත්‍රයකින් එළියට එන කඩදාසි මත අකුරු සමූහයක් මුද්‍රණය වූ පමණින් හෝ වචන හෑල්ලක් මුද්‍රණය වූ පමණින් එය ජාතියට සමීප පුවත්පතක් වන්නේ නැත. රටේ ලොකු කුඩා මෙන්ම සෑම තරාතිරමකම කියවන පිරිස අත රැඳෙන ඔවුන්ට සමීප පුවත්පතක් වන්නේ එහි ලියවෙන අන්තර්ගතයේ ගුණාත්මක බව සහ පාඨකයන්ට දක්වන සමීපත්වය අනුවය. ඒ අතින් මෙරට පුවත්පත් අඹර තුළ විශිෂ්ටත්වයේ කීර්තිය ලද එකම පුවත්පත සිළුමිණ බව තහවුරු කරන හොඳම ලකුණ වන්නේ එය මෙරට ජනතාව අතරේ සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ලත් විරුදාවලිය නිසාය. මේ අසිරිමත් සරසවිය එකලු කළ විද්වත්තු බොහෝය. ඔවුන් වෙතින් එන විවිධාකාර අන්තර්ගයන් මනා ලෙස කළමනාකරණය කොට ජනතාව වෙත එය සමීප කරවන්නේ මේ පුවත්පතේ එදා මෙදා තුර කර්තෘත්තවය හෙබවූ කතුවරුන් සහ විශිෂ්ට කර්තෘ මාණ්ඩලිකයන් නිසාය. පියසේන නිශ්ශංකයන්ගෙන් පටන් ගෙන මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ, මීමන ප්‍රේමතිලක ඇතුළු මෙරට බිහි වූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදීන් රැසකගෙන් පෝෂණය ලබන්නට සිළුමිණට හැකි වූයේය. ඔවුන් සමඟ ඒකරාශි වූ විශ්වවිද්‍යාලයීය ප්‍රජාවද, කලාකරු‍වෝද, ජාති හිතෛෂීහුද සිළුමිණ එළිය දිදුලවන්නට හේතු වූහ.

සිළුමිණ අදින් ආරම්භ කරන අලුත් දශකය සමස්ත පුවත්පත් ලෝකයටම අභියෝගය කැන්දන දශකයක් වනවාට සැකයක් නැත. එහෙත් මේ අභියෝග හමුවේ නොසැලී සිටින්නට නම් කාලයත් සමඟ අප වෙනස් විය යුතුය; පවතින ප්‍රවණතාවන්ට අනුගත විය යුතුය. මේ කවර සමාජාර්ථික හෝ දේශපාලනික වෙනසක් වුවද සිළුමිණ ජනතාව වෙත සමීප කරවූ එහි ආරම්භක අධිෂ්ඨානයන් වෙත අනවරතව කාල තරණයක යෙදෙන්නට සිරි ලක පත්තර මහගෙදරින් එළිදකින සිළුමිණ ශක්තිමත්ය.

කෙසේ වුවද 1970 දශකයේදී ලේක්හවුස් ආයතනය රජයට පවරාගැනීමත් සමඟ එහි ප්‍රකාශනවලට සීමා ඉක්මවා ගිය දේශපාලන අතපෙවීමක් සිදු වූ බවද සැඟවිය හැකි රහසක් නොවේ. එවැනි තත්ත්වයක් යටතේ පවා සිළුමිණේ ජීව ගුණය රැකීමට කතුමඬුල්ල හා සිළුමිණ සමඟ ආත්මීයව බැඳුණු, එයට ආදරය කරන විද්වතුන් ඇතුළු සම්පත් දායකයන් විසින් කරන ලද කැප කිරීම් අගය කළ යුතුය. මේ සියලු දෙන අතරේ සිළුමිණ සන්නාමය මෙරට එදා මෙදා තුර බිහි වූ සියගණන් පුවත්පත් අතරේ දිදුලවන්නේ එය වටා අද දක්වා රැඳී සිටින සුවහසක් පාඨකයන් නිසාය. පුවත්පතේ ජීවය රඳවන මේ සමස්ත පාඨක ප්‍රජාවට අපගේ ශීර්ෂ ප්‍රණාමය නිබඳවම හිමි විය යුතුය.

Comments