
රටේ මාධ්‍යවලට දවසින් දවස විවිධ මාතෘකා නිර්මාණය වීම අද මෙන් ම එදාත් සිදු විය. එහෙත් අද එලෙස නිර්මාණය වන මාතෘකා අංශක 360ක පරාසයක විවිධ පැතිකඩ ඔස්සේ කතාවට බහට බඳුන් වන්නේ මාධ්‍යවල පවතින වපසරිය ද පුළුල් වී ඇති නිසා ය. එහෙත් මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අද කාලයේ ප්‍රස්තූත වන මාතෘකා පිළිබඳ ව විමැසීමට ලක් කිරීමේදී අප මේ යන්නේ කොහේදැයි සිතෙන වාර ගණන අපමණ ය. රටේ දවසින් දවස නිර්මාණය වන මාතෘකා පිළිබඳ ව රටේ මහජනතාවගේ ප්‍රතිචාරය, මාධ්‍යවල ප්‍රතිචාරය මෙය නම් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරය ආදිය බලන කල, ඒ මාතෘකා පදනම් කරගෙන කතාබහට ලක්වන කරුණු වෙතින් පෙන්වන්නේ සමාජය පෙළන දැවැන්ත නිස්සාර භාවයයි. මේ සඳහා හොඳම උදාහරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් ම භයානක ගණයේ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයයි.
පසුගිය සතියේ ප්‍රධාන ධාරාවේ විද්යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශය ඇසූ හෝ නැරඹු කෙනකු පාර්ලිමේන්තුවේ එදින සිදුවූයේ කුමක්දැයි බලන්නට උනන්දු වුවහොත් ඔවුන් අවබෝධ කර ගන්නා එක ම කරුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර ඇති වූ කතාබහ පමණකි. එයින් යමකුට හැඟෙන්නේ දිනකට රුපියල් ලක්ෂ 45ක් වැය කොට පවත්වන පාර්ලිමේන්තු සැසිය හුදෙක් කොකේන් පාවිච්චි කරන දේශපාලකයන් හෝ ඔවුන්ගේ දු පුතුන් ගැන පමණක් වන විවාදයක් ද යන්න ය. එක් මන්ත්‍රීවරයකු විසින් නඟන ලද ඒ වන තෙක් කථානායකවරයාට හෝ මේ චුදිත මන්ත්‍රීන් නියෝජනය කරන පක්ෂයේ නායකත්වයට නිල වශයෙන් දැනුම් නොදුන් හෝ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඒ වනවිට ඉදිරිපත් නොවී තිබූ චෝදනාවක් ගැන මේ තරම් කාලයක් වැය කිරීමත්, ජනතාවගේ දැනුම වින්දනය වෙනුවෙන් තිබෙන දවසේ හොඳ ම ගුවන් කාලයක් එවැනි නිස්සාර මාතෘකාවක් මත තාවකාලික වින්දනයක් වෙනුවෙන් කැප කිරීම පිළිබඳවත් මේ වනවිට සාමාන්‍ය ජනතාව ද ප්‍රශ්න කරන තැනට පැමිණ තිබේ.
මේ වනවිට රටේ මත්ද්‍රව්‍ය ගැන පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහිව සිදු කරන වැටලීම් වැඩි වීමත් ජනාධිපතිවරයා මේ මත් උවදුර පිටුදැකීම සම්බන්ධයෙන් දැඩි අධිෂ්ඨානයක පිහිටා කටයුතු කිරීමත් පසුබිම් කරගෙන රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ. පාරේදී හමුවූ මාධ්‍යෙව්දියකුට කියූ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ කොකේන් කතාව ද ඒ කතාබහට එක් කළ ලුණු ඇඹුලක් විය.
ඔහුගේ ඒ චෝදනාවට පදනමක් තිබෙනවා විය හැකිය. උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන් ඒ තත්ත්වයට පත්ව ඇති නම් එය වෙන ම කතා කළ යුතු මාතෘකාවකි. එහෙත් එවැනි නිල මට්ටමේ චෝදනාවක් එල්ල වී නොතිබෙන හුදෙක් දේශපාලන වින්දන සඳහා පමණක් දොඩන දෙඩවිලි මත්තේ අඩුම ගණනේ නාන ළිඳක් අසලවත් අනවශ්‍ය සංවාද විවාද ඉදිරිපත් කිරීම අප වැනි රටකට කාලය කා දැමීමකි.
අද අපට රටක් ලෙස ඉදිරියට යෑමේදී පවතින අභියෝග ගැන සේම රටේ සිදු වන විවිධ මතභේදකාරී ආන්දෝලනාමත්මක කාරණා ගැන කතා කිරීමට හරවත් දේ ඕනෑ තරම් ඇත. මේ මාතෘකා ඇතැම් විට අපේ තරුණ පරපුර සම්බන්ධයෙන් විය හැකිය. අපේ අධ්‍යාපනය ගැන විය හැකිය; ආර්ථිකය ගැන විය හැකිය; රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් සම්බන්ධයෙන් විය හැකිය. මේ මාතෘකා ඔස්සේ රටේ ජනතාවට ගෝචර වන කාලීන මාතෘකා ඕනෑ තරම් ඉස්මතු කර ගත හැකිය. මෙවැනි මාතෘකා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මතුවිය යුතුය. සමාජයේ විවිධ මට්ටමින් සංවාදයට ලක් විය යුතුය. දැනට එලෙස නිර්මාණය වන සංවාදයට මාධ්‍යවලින් ඉඩක් ලැබිය යුතුය. එසේ නැතිව කෙළවරක් නැති හරසුන් මාතෘකා රටේ නිර්මාණය කිරීමෙන් රටට ඇති වන ඵලක් නැත. එසේ වුවහොත් සිදුවන්නේ මේ රටේ උගත්, තීරණ ගැනීමට හෝ රටේ දිශානතිය වෙනස් කිරීමට බලපෑමක් කළ හැකි පරපුර මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, දේශපාලනය ආදී සියලු බලපෑම් කළ හැකි ප්‍රවාහ අතහැරීම ය. ඔවුන්ට අද තාක්ෂණය විසින් නිර්මාණය කරන ලද නව මාධ්‍ය ඇත. මේ වනවිටත් ඔවුන් මේ නව විකල්ප වෙත නැඹුරු වෙමින් ඇත්තේ සාම්ප්‍රදායික ප්‍රධාන ධාරාව පිළිබඳ ව යම් අවිශ්වාසයක් ද නිර්මාණය කර ගනිමිනි.
මේ ප්‍රවාහ අතුරින් මාධ්‍ය පිළිබඳව සැලකීමේදී ඇතැම් විට මෙවැනි පුවත් නිර්මාණය කිරීම, ඉල්ලුම සහ සැපයුම අතර සබඳතාවකැයි සිතිය හැකිය. සමස්ත මහජනතාව ඉල්ලන නිසා එවැනි දේ වෙනුවෙන් මාධ්‍යවල මෙන්ම සමාජයේ ද වැඩි ඉඩක් වෙන් වීමක් දැකිය හැකිය. මේ ඉල්ලුම වොයිස් කට් දේශපාලකයන්ට ඉල්ලමකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මයික්‍රෆෝනයක් හෝ කැමරාවක් ඉදිරියට ගොස් මේ ඉල්ලමට සරිලන කතාවක් කිරීම ය. එයින් නොනැවතී අද ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ ද ඡන්ද දායකයන්ට වින්දනය සැපයීම විනා අන් කිසිවක් නොවේ. ඔවුන් පාර්ලිමේන්තුවේ සැබෑ ජනතා අවශ්‍යතා වෙනුවෙන් කොතරම් දුරට කටයුතු කර තිබෙන්නේ ද යන්න දැන් ජනතාවට ද අවශ්‍ය නම් දැන ගත හැකිය. අපට අද අවශ්‍ය වන්නේ රටක් ලෙස ඉදිරියට යෑම ගැන සංවාදයක් ඇති වීම ය; ඒ වෙනුවෙන් සංවාද මත ගැටුම් නිර්මාණය වීම ය. එය දේශපාලන බලය අත්පත් කර ගැනීම ඉක්මවූ කාරණාවකි. මේ නොදියුණු සංස්කෘතිය වැඩි කල් නොගොස් පිපිරෙනු ඇත. එයට හේතුව රටේ බලපෑම් කළ හැකි, යම් අවබෝධයක් සහ උගත්කමක් ඇති තරුණ ප්‍රජාව සිතිවිලිවලින් මේ නොදියුණු පන්තිය අතික්‍රමණය කර තිබීම ය. මාධ්‍ය සහ රටේ නීති සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ජනතාවට වඩා ඉදිරියෙන් සිටිය යුතු පසුබිමක ඔවුන් පසුගාමී වීම අනාගතයේදී ප්‍රශ්නයක් ඇති කරවන්නක් විය හැකිය.
රටක් ලෙස අප මේ වන විට දියුණු ජාතියක් බවට පත් වන තැනට හා අපේ ණය බර අඩු කර ගන්නා තැනට අදාළ සැලසුම් පිඹුරුපත් සකසා ඇත. ඒ සඳහා නිශ්චිත වූ ගමනක් සඳහා පසුබිමක් ද දමා ඇත. ඒ අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි සැම රටක් වෙනුවෙන් එකතු වනු වෙනුවට සිල්ලර දේශපාලනික හෝ සමාජීය වින්දනයන් කෙරෙහි ලොල් වීම ජාතියේ නිශ්චිත ගමනට දැවැන්ත බාධාවක් වනු ඇත. එබැවින් අප සියල්ල කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද යන්න මනාව සිහි තබාගෙන කටයුතු කළ යුතුය. එසේ නැත හොත් සිදු වන්නේ කොකේන් පාවිච්චි නොකළ ද එවැන්නන්ගේ මට්ටමට රට ම පත් වීම ය.